කූට ලේඛනවලින් මලික් සමරවික්‍රම කැබිනට්ටුවත් නොමග යවලා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4

සිංගප්පූරු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමෙන් රට පාවා දී ලා..! (සුමුදු පෙරේරා) වංචනික ලේඛන යොදා ගෙන, කැබිනට් මණ්ඩලය නොමග යවමින් මලික් සමරවික‍්‍රම ඇමතිවරයා සිංගප්පූරුව සමග පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව හොර…
සිංගප්පූරු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමෙන් රට පාවා දී ලා..!
(සුමුදු පෙරේරා)
වංචනික ලේඛන යොදා ගෙන, කැබිනට් මණ්ඩලය නොමග යවමින් මලික් සමරවික‍්‍රම ඇමතිවරයා සිංගප්පූරුව සමග පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව හොර රහසේ අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුමින් සිංගප්පූරු වෘත්තීයවේදීන්ට පමණක් නොව සිංගප්පූරුවේ ලියාපදිංචි ඉන්දීය, චීන, මැලේසියානු වෘත්තීයමය සේවාවන් සපයන ආයතනවල වෘත්තීයවේදීන්ට ද ශ‍්‍රී ලංකාවේ රැකියා වෙළඳ පොළ විවෘත කර දී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හෙළි කළේය.
ඔහු මේ බව හෙළි කර සිටියේ ජාතික නිදහස් පෙරමුණේ මුලස්ථානයේදී අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද කීය.
‘‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය අස්සේ, මේ රටේ පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් වස්තූන් මංකොල්ල කෑම් පිළිබඳ සාකච්ඡා මැද්දේ, මිය ගිය කොටි නායකයින්ගේ නම්වලින් මංමාවත් නම් කිරීමට යාපනය මහ නගර සභාව ගත්තු තීරණ පිළිබඳ කතා මැද්දේ මේ රටේ ආර්ථිකයට සහ වෘත්තීයවේදීන්ට ඉතාමත් තීරණාත්මක ලෙස බල පාන ගිවිසුමකට මේ ආණ්ඩුව නීති විරෝධි ලෙස සිංගප්පූරුව සමග අත්සන් තබා තිබෙනවා.
‘කැබිනට් අනුමැතිය ලැබුණු බවට වංචනික ලියකියවිලි හදලා’
ශ‍්‍රී ලංකාව විසින් සිංගප්පූරුවට අපනයන කරන භාණ්ඩවලට විශේෂ බදු පැනවීමක් සිදු කර නැති නිසා ඒ රට සමග විශේෂ වෙළඳ ගිවිසුමකට යාමට තදබල උවමනාවක් මතුව තිබුණේ නැහැ. එහෙත් පසුගිය කාලයේ එම ගිවිසුමෙන් බලපෑමක් සිදු වන වෘත්තීයවේදීන්ගේ සංවිධාන හෝ කර්මාන්තකරුවන් දැනුවත් නොකර, ඔවුන්ට හොර රහසේ මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය නොමග යවමින් නීති විරෝධී ලෙස මෙම කටයුත්ත සිදු කර තිබෙනවා. මෙහිදී කැබිනට් මණ්ඩලයෙන් නොලැබුණු අනුමැතියක් - ලැබුණු බවට වංචනික ලියකියවිලි සකස් කර ගනිමින් මේ ශී‍්‍ර ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තබා ඇත්තේ 2018 ජනවාරි 23 වැනිදායි.
‘කැබිනට් මණ්ඩල ලේකම්වරයාගේ ලිපිය’
මේ ගිවිසුම පිළිබඳ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ 2018 ජනවාරි 09 වැනිදායි. ජනවාරි 16 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳ සාකච්ඡා කර තිබුණත් අනුමැතිය ලැබී නැහැ.
ඒ නිසා තමයි මේ පිළිබඳ වැඩිදුර කරුණු විමසමින් කැබිනට් මණ්ඩල ලේකම්වරයා අදාළ පාර්ශ්ව වෙත ජනවාරි 17 වැනිදා ලිපියක් යවන්නේ. මෙම කැබිනට් පත‍්‍රිකාවට ජනවාරි 16 වැනිදා අනුමැතිය ලැබුණා නම් කැබිනට් මණ්ඩල ලේකම්වරයා මෙවැනි ලිපියක් යැවීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. නමුත් 16 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමේ වාර්තාවෙහි වංචනික ලෙස සටහන් කරනවා “සිංගප්පූරුව සමග නිදහස් වෙළඳ ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ” කියා.
‘එට්කා වෙන පාරකින් ගෙනවිත්’
මේ ගිවිසුමෙන් ඇත්තෙන්ම සිදු වෙන්නේ කුමක්ද? කැබිනට් මණ්ඩලයටත් කොළේ වහලා මෙවැනි ගිවිසුමක් අත්සන් කළේ ඇයි? ඔබ දන්නවා මේ ආණ්ඩුව පසුගිය කාලය පුරා ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ කළා.
දේශපාලන පක්‍ෂ, වෘත්තීයවේදීන්ගේ සංවිධාන ඇතුළු දේශ පේ‍්‍රමී බලවේග ඊට එරෙහිව දැවැන්ත විරෝධතාවක් ගොඩනැගුවා. ඒ නිසා එට්කා ගිවිසුම අත්සන් කිරීම දිනෙන් දින කල් ගියා. ආණ්ඩුව වෙන පාරකින් ඇවිත් මේ රටේ වෘත්තීයවේදීන්ගේ අයිතින් පාවා දීම තමයි මෙහිදී සිදු කර ඇත්තේ.
මේ ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට සිංගප්පූරුවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා බදු පැනවීම නතර කිරීම හෝ බදු පැනවීම අවම කිරීම සිදු කර තිබෙනවා. අනෙක් පැත්තෙන් සිංගප්පූරු ජාතික වෘත්තීයවේදීන්ට පමණක් නොවෙයි, සිංගප්පූරුවේ ලියාපදිංචි වී සිටින චීන, මැලේසියා හා ඉන්දියානු වෘත්තීයමය සේවා සපයන ආයතනවලටත් ශ‍්‍රී ලංකාව තුළ සේවය සැපයීමේ ඉඩ ලැබෙනවා. නීතිවේදීන්, පරිගණක ඉංජිනේරුවන් ඇතුළු සිංගප්පූරුව හරහා එන සියලූ වෘත්තීයවේදීන්ට මෙරට රැකියා වෙළඳපොළ විවෘත වෙනවා. අවසානයේදී මේ නිදහස් වෙළඳ ගිවිසුම හරහා සිංගප්පූරු, මැලේසියා, චීන හා ඉන්දියානු වෘත්තීයවේදීන්ට ශ‍්‍රී ලංකාව තුළ සිය සේවා සපයන්න නීත්‍යනුකූලව ඉඩකඩ හැදෙනවා. එමගින් මේ රටේ වෘත්තීයවේදින්ගේ රැකියා අවස්ථාවන් උදුරා ගන්නවා.
‘මේ රටේ වෘත්තීයවේදීන්ව පිළිකන්නට දාලා’
ඒ විතරක් නොවෙයි ශ‍්‍රී ලංකාවේ වෘත්තීයවේදීන්ගේ වටිනාකම පහළට වැටෙනවා. අඩු මුදලට, ගුණාත්මක බවින් අඩු වෘත්තීයමය සේවාවන් සපයන්න සිංගප්පූරුව හරහා ඉන්දීය වෘත්තීයමය සේවාවන් සපයන ආයතන පැමිණෙන කොට ඒ දෙය සිදු වෙනවා. මේ රටේ වෘත්තීයවේදීන් පිළිකන්නට දාපු, ඔවුන් නොතකා හැරපු, ඔවුන්ගේ රැකියා අවස්ථාවන් කොල්ලකන්න ගිවිසුමක් ගහපු පළමු අවස්ථාව මෙයයි.
දැන් එට්කා ගිවිසුම උවමනා නැහැ. ඉන්දීය වෘත්තීයවේදීන්ට සිංගප්පූරුවේ වෘත්තීයමය සේවාවන් සපයන ආයතනයක ලියාපදිංචි වී ශ‍්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළට ඇතුළුවීමේ ඉඩකඩ මලික් සමරවික‍්‍රම දැන් හදලා දීලා තිබෙනවා. ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන ලිඛිතව දැනුම් දී තිබෙනවා, පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව 2018 මැයි මස 01 වැනිදා සිට මෙම ගිවිසුම බලාත්මක වන බව.
මේ ගිවිසුම අනුව සිංගප්පූරුවෙන් ආනයනය කරන භාණ්ඩවලට ගහන බදු මුදල් අහිමි වන අතරේ සිංගප්පූරු ජාතික වෘත්තීයවේදීන්ට පමණක් නොවෙයි, සිංගප්පූරුවේ ලියාපදිංචි මැලේසියා, චීන, ඉන්දීය සියලූ වෘත්තිකයන්ට මේ රටේ රැකියා වෙළඳපොළ විවෘත වෙනවා.
මේ ගිවිසුම අනුව රැකියා සඳහා සිංගප්පූරුවට යාමට හැක්කේ ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ට පමණයි. නමුත් සිංගප්පුරුවේ පුරවැසියන්ට සහ නිත්‍ය නේවාසිකයන්ට ශ‍්‍රී ලංකාවේ රැකියා සඳහා එන්න පුළුවන්. මේකේ අරමුණ නිත්‍ය නේවාසිකයන්ට ශ‍්‍රී ලංකාවේ රැකියා අවස්ථා හිමි කර දීම.
අපි ආණ්ඩුවෙන් බල කර ඉල්ලා සිටිනවා ‘පාර්ලිමේන්තුවේ අනාගත අනුමැතියට යටත්ව, වංචනික ලේඛන යොදා ගෙන අත්සන් තබන ලද මේ ගිවිසුම වහාම අවලංගු කරන්න’ කියා. ඒ වගේම මෙරට වෘත්තීයවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා මීට එරෙහිව පෙරට එන්න කියා.’’
මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ, නියෝජ්‍ය ලේකම් මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය නිමල් පියතිස්ස යන මහත්වරු ද එක්ව සිටියහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
