කුරුඳු පොලු හමුදාව සිරිකොත ආවේ පාඨලීට පිටිය හදන්න

විපක්ෂයේ කාර්ය භාරය ගැන එජාපයට උපදෙස් දෙන්න කුරුඳු පොලු හමුදාවට පුලුවන්ද..? පාක්ෂිකයින්ට කුරුඳු පොලුවලින් පහර දුන්නා සිරිකොතට ගල් ගසා තාප්පය පෙරළුවා එජාප ආණ්ඩුව විපක්ෂයට තල්ලු කළා අවසානයේ සජිත් එක්ක…
විපක්ෂයේ කාර්ය භාරය ගැන එජාපයට උපදෙස් දෙන්න කුරුඳු පොලු හමුදාවට පුලුවන්ද..?
පාක්ෂිකයින්ට කුරුඳු පොලුවලින් පහර දුන්නා
සිරිකොතට ගල් ගසා තාප්පය පෙරළුවා
එජාප ආණ්ඩුව විපක්ෂයට තල්ලු කළා
අවසානයේ සජිත් එක්ක එකතු වෙලා එජාපය දෙකඩ කළා
ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියෝ චෝදනා කරති

(සුජිත් මංගල ද සිල්වා)
හිටපු ආණ්ඩුකාරවරුන් වන මෛත්‍රී ගුණරත්න, රජිත කීර්ති තෙන්නකෝන් සහ අසාද් සාලි ද, ජ්‍යෙෂ්ඨ නිතිඥයින් වන ශිරාල් ලක්තිලක සහ ගුණරත්න වන්නිනායක ද යන මහත්වරුන් සඳුදා (20) හදිසියේම "සිරිකොත" ට පැමිණ එකසත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රධාන නායකයින් සමග සාකච්ඡා ආරම්භ කළේ ඉදිරි ජනාධිපතිවරණයේ දී පාඨලී චම්පික රණවක මහතා පොදු අපේක්ෂකයා ලෙස කරළියට ගෙන එන්න අවශ්‍ය දේශපාලන පිටිය සකස් කිරීමේ න්‍යාය පත්‍රයට අනුව බව ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියෝ පිරිසක් "lankanewsweek" සමග පැවසූහ.
කාලයක් මුළුල්ලේ සජිත් ප්‍රේමදාස මහතාගේ අග්‍ර පුරෝහිතයින් සහ න්‍යායචාර්යවරුන් වශයෙන් කටයුතු කරමින් එක්සත් ජාතික පාක්ෂිකයින්ට කුරුඳු පොලුවලින් ද පහර දී, "සිරිකොතට" ගල් ගසා එහි තාප්පය ද පෙරළා දැමූ මෛත්‍රී ගුණරත්න, රජිත කීර්ති තෙන්නකෝන්, අසාද් සාලි, නිතිඥයින් ශිරාල් ලක්තිලක සහ නීතීඥ ගුණරත්න වන්නිනායක යන මහත්වරුන් මේ වන විට සිටින්නේ පාඨලී චම්පික රණවක මහතා සමගය.
දැන්වීම
ඒ සජිත් ප්‍රේමදාස මහතා සමග සිටිමින් ඔහු වෙනුවට පාඨලී චම්පික රණවක මහතා ඔසවා තැබීමට මෙම කණ්ඩායම කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියා කිරීම සජිත් ප්‍රේමදාස මහතාට හෙළිදරව් වීමත් සමග ඔහු මේ කණ්ඩායම පළවා හැරී නිසා වන අතර මේ කණ්ඩායමේ මෙම "Double Game" එක සාක්කි-සාධක ඇතිව මුලින්ම හෙළිදරව් කර සිටියේ "lanakanewsweek" කණ්ඩායමය.
සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව කුරුඳු පොලුවලින් පාක්ෂිකයින්ට පහර දී, "සිරිකොතට" ගල් ගසා විනාශ කර අවසානයේ දී පක්ෂය ද දෙකඩ කර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විපක්ෂයට තල්ලු කළ මේ කණ්ඩායම හදිසියේම "සිරිකොතට" පැමිණ එක්සත් ජාතික පක්ෂ නායකයින්ට විපක්ෂයේ කාර්ය භාරය ගැන ඉගැන්වීම විහුළු සහගත යැයි ද එම තරුණ තරුණියෝ පෙන්වා දුන්හ.
සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන මෙම කණ්ඩායම එදා එක්සත් ජාතික පක්ෂය විනාශ කරද්දී, ඊට එරෙහිව පක්ෂය රැක ගැනීමට ක්‍රියා කළ නවීන් දිසානායක, රවී කරුණානායක, දයා ගමගේ, ලක්ෂ්මන් විජේමාන්න සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් ප්‍රධාන කණ්ඩායම නොසලකා හැර ඔවුන් පක්ෂයේ මුල්ලකට තල්ලු කර මේ කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකයින්ට පිස්සු දැයි ද ජාතික යොවුන් පෙරමුණේ එම තරුණ තරුණියෝ ප්‍රශ්න කළහ.
එක්සත් ජාතික පක්ෂ නායකයින් කළ යුතුව තිබුණේ හැමදාම සැඟ වුණු දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් කුමන්ත්‍රණය කරන මෙවැනි කිසිදු ජන පදනමක් නොමැති කණ්ඩායම් සමග සාකච්ඡා කිරීම නොව බිම්මට්ටමේ යථාර්ථය තේරුම් ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ඍජුවම සහ මුහුණට මුහුණ විවෘත්තව සාකච්ඡා කිරීම බව ද ඔවුහූ පෙන්වා දුන්හ.
ඊට අමතරව ප්‍රධාන වශයෙන් නවීන් දිසානායක, රවී කරුණානායක, දයා ගමගේ, ලක්ෂ්මන් විජේමාන්න සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් ප්‍රධාන කණ්ඩායම සමග සාකච්ඡා කර ඔවුන්ට සාධාරණය ඉටු කරමින් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සමගිය තහවුරු කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකයින් මුලින්ම ක්‍රියා කළ යුතුව තිබෙන බව ද ඔවුහූ කියා සිටියහ.
දේශපාලනයේ දී සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැති නිසා අවසාන වශයෙන් මෛත්‍රී ගුණරත්න, රජිත කීර්ති තෙන්නකෝන්, අසාද් සාලි, නිතිඥයින් ශිරාල් ලක්තිලක සහ නීතීඥ ගුණරත්න වන්නිනායක යන මහත්වරුන් සමග ද සාකච්ඡා කර ඔවුන් ද එක්සත් ජාතික පක්ෂයට යළි සම්බන්ධ කර ගැනීමේ වරදක් නොමැති බව ද ජාතික යොවුන් පෙරමුණේ එම තරුණ තරුණියන් වැඩි දුරටත් පෙන්වා දුන්හ.


