අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

කිරුළු නොපළන් කුමාරයා මව්බිමට සම්ප්‍රාප්ත වීම

කිරුළු නොපළන් කුමාරයා මව්බිමට සම්ප්‍රාප්ත වීම

2011-12 වර්ෂය වන විට පාපන්දු ලෝකයම එක් තරුණ ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු කර තිබුණා. මොහු මීළඟ පාපන්දු තරුව වන බවට කිසිවෙකුත් විවාද කළේ නෑ. 5 වරක් ලෝක පාපන්දු කිරුළ දිනූ පාපන්දුව ජීවිතයම…

2011-12 වර්ෂය වන විට පාපන්දු ලෝකයම එක් තරුණ ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු කර තිබුණා. මොහු මීළඟ පාපන්දු තරුව වන බවට කිසිවෙකුත් විවාද කළේ නෑ. 5 වරක් ලෝක පාපන්දු කිරුළ දිනූ පාපන්දුව ජීවිතයම කරගත් රටක් වූ බ්‍රසීලයෙන් බිහිවන මේ තරුණ ක්‍රීඩකයා නමින් නේමාර්. ඔහු ඒ වන විට බ්‍රසීලයේ සැන්ටොස් පාපන්දු කණ්ඩායම නියෝජනය කළා.

පිටියට පැමිණි විට පාපන්දුව සහ ඔහුගේ පාදය අස්වභාවික මැජික් ගම් එකකින් ඇලවී තිබෙනවාදැයි සැක සිතෙන තරමටම නේමාර් පන්දුව පාලනය කිරීමට සමත් වුණා. ආරක්ෂක ක්‍රීඩකයන් මගහැර ගමන් කිරීම ඔහුට කිසිඳු අපහසුවක් වූයේ නෑ.

1992 පෙබරවාරි මස 05 වනදා උපත ලද ඔහු නුදුරු අනාගතයේම ඒ වන විටත් පාපන්දු ලොවේ රජ කරමින් සිටි ලියොනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යුගලයට දැඩි තර්ජනයක් එල්ල කරන බවටත් අනාවැකි පළ වුණා. 2011 වර්ෂයේ සැන්ටොස් සමගින් දකුණු අමරිකානු පාපන්දු ශූරතාවය දිනාගත් නේමාර් දිනෙන් දිනෙම දිදුලමින් සිටියා. 2014 පාපන්දු ලෝක කුසලානයේ දී සමස්ථ බ්‍රසීලයේම බර පවා පැටවෙන්නේ 22 හැවිරිදි නේමාර් ගේ කර මතට.

දැන්වීම

ඒ වන විටත් 2011 දී World Soccer සඟරාව විසින් දක්ෂතම නැගී එන ක්‍රීඩකයා ලෙසින් ඔහුව නම් කර අවසන්. 2013 දී ලෝක කුසලානයට පෙර පැවැත්වෙන කන්ෆඩරේෂන් පාපන්දු කුසලානය බ්‍රසීලය ජය ගනිද්දී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ද නේමාර් දිනා ගත්තා. 2014 වර්ෂය අවසන් වද්දී නේමාර් ජාතික කණ්ඩායම සමගින් තරග 60 කින් ගෝල 42 ක් ලබාගෙන තිබුණා. සැන්ටොස් සමගින් තරග 225 කදී ගෝල 136 ක් ලැබූ නේමාර් ගේ මීළඟ නවාතැන්පොළ වූයේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයයි.

2013 දී බාසිලෝනා සමගින් එක්වන නේමාර්, ලියොනල් මෙසී සහ ලුයිස් සුආරෙස් සමගින් එක් වී වෙනම පාපන්දු ගමනක් ආරම්භ කළා. MSN ලෙසින් හැඳින්වූ මොවුන් තිදෙනා යුරෝපීය පාපන්දුවට දැඩි තර්ජනයක් එල්ල කළා. 2013 සිට 2017 කාලය දක්වා බාසිලෝනා සමගින් ක්‍රීඩා කළ නේමාර් තරග 186 කදී ගෝල 105 ක් ලබා ගත්තා. තවමත් විශිෂ්ටයෙක් වීමට නේමාර් ගමන් කරන ගමන සම්බන්ධයෙන් කිසිවෙකුටත් ප්‍රශ්නයක් තිබුණේ නෑ. මේ කාලයේ දී නේමාර් බාසිලෝනා සමගින් ශූරතා 8 ක් ජයග්‍රහණය කළා. එමෙන්ම බ්‍රසීල පාපන්දුවේ විශාල හිස්තැනක් වූ ඔලිම්පික් රන් පදක්කමක් ජයග්‍රහණය වෙනුවෙන් ද කණ්ඩායම රැගෙන ගියා.

සියල්ල ආරම්භ වන්නේ 2017 දී නේමාර් බාසිලෝනා කණ්ඩායමෙන් නික්ම යාමට තීරණය කිරීමෙන් අනතුරුවයි. ඒ වන විටත් සුපිරිම රිද්මයකින් ක්‍රීඩා කළ ඔහුගේ නික්ම යාම පාපන්දු ලෝකය පමණක් නොව සමස්ථ ක්‍රීඩා ලෝකයම දෙදරුම් කෑ සිදුවීමක් බවට පත් වුණා. "මම බාසිලෝනා වලින් නික්ම යන්න කලින් මෙසී ට කතා කළා. ඔහු මගේ තීරණයට ගරු කළා. ප්‍රශ්නයක් කිව්වේ නෑ. ඒත් මෙසී මට කිව්වා", "ඔබට බැලොන් ඩොර් සම්මානය ජයග්‍රහණය කරන්න අවශ්‍යයි නම් බාසිලෝනා වලදී එක පුළුවන්. ඔබ පැරිස් ගියොත් ඔබට එය ජයග්‍රහණය කරන්න වෙන්නෙ නෑ. මට පුළුවන් ලෝකේ හොඳම ක්‍රීඩකයා වෙන්න ඔබට උදවු කරන්න"

නමුත් තමන්ගේ හොඳම මිත්‍රයාගේ උපදෙස නේමාර් පිළිගන්නේ නෑ. යුරෝ මිලියන 200 ක වාර්තාගත මුදලකට ඔහු ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම බලා ගමන් කළා. එය අදටත් පාපන්දු ක්‍රීඩකයෙක් හුවමාරු වීමේදී ගෙවූ වැඩිම මුදල වනවා. එතැන් පටන් නේමාර් ගේ පාපන්දු දිවිය සුන්දර මාර්ගයක ගමන් කළේ නෑ. ඔහු පැරිසියේ දී ගෝල ලබා ගත්තා. සාර්ථක වුණා. නමුත් පැරිස් සෙන්ට් ජර්මෙයින් වැනි පාපන්දු ක්‍රීඩා සමාජයක් තුළ නේමාර් ට තමන්ගේ උපරිමය ලබා දීමේ හැකියාව ලැබුණේ නෑ.

මීළඟට ඔහු දිගින් දිගටම ආබාධ වලට ලක් වීම ආරම්භ වුණා. එක් ආබාධයක් සුව වීමට පෙර ඔහු තවත් ආබාධයකට ගොදුරු වුණා. නිමක් නැති සාද, මූල්‍ය කළමණාකරණය නොමැති වීම, කෙළවරක් නැති පෙම්වතියන් සහ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න ඔහුව තවත් ක්‍රීඩාවෙන් ඈත් කළා. අවසානයේ නේමාර් පැරිසියෙන් නික්ම සෞදි අරාබි පාපන්දු ක්‍රීඩා සමාජයක් වූ අල් හිලාල් සමගින් ගිවිසුම් ගත වුණා. කෙළවරක් නැති ආබාධ නිසා නේමාර් වසර 2 ක් පුරා අල් හිලාල් වෙනුවෙන් ක්‍රීඩා කළේ තරග 7 ක් පමණයි.

ලියොනල් මෙසී ට සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ට තර්ජනයක් ලබාදිය හැකි එකම ක්‍රීඩකයා ලෙසින් ලේබල් වුණ යොවුන් නේමාර් අවසානයේ යුරෝපයෙන් නික්ම යන්නේ හිස් අතින්. ඔහු වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට හිමි බැලොන් ඩොර් සම්මානය හෝ ෆිෆා හොඳම ක්‍රීඩකයා සම්මානය කෙදිනකවත් ජය ගත්තේ නෑ. හොඳම ගෝල රැස් කරන්නාට ලැබෙන යුරෝපීය රන් පාවහනත් නේමාර් ට සිහිනයක්ම වුණා. බ්‍රසීලයෙන් බිහි වූ අති විශිෂ්ටයන් වන පේලේ, ගරීන්චා, රොනාල්ඩෝ, රොනාල්ඩිනෝ, රොමාරියෝ මේ සෑම ක්‍රීඩකයෙක්ම පාහේ පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කළා. එයද නේමාර්ට තවම සිහිනයක් පමණයි.

බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ලාභියා වැනි වාර්තා කිහිපයක් හැරෙන්නට බලාපොරොත්තු වූ කිසිවක් නේමාර් ගේ ජීව දත්ත පත්‍රිකාවේ ඇතුළත් වන්නේ නෑ.

අල් හිලාල් පාපන්දු ක්‍රීඩා සමාජය නේමාර් සමග ඇති කොන්ත්‍රාතුව වහාම අවලංගු කිරීමට පසුගියදා කටයුතු කළා. අවසානයේ නේමාර් නැවත තමන්ගේ ආරම්භක ස්ථානය වූ සැන්ටොස් ක්‍රීඩා සමාජයට පැමිණෙන බවට දන්වා තිබෙනවා. මේ වන විටත් 33 වන වියට ළංවෙමින් සිටින නේමාර් ක්‍රීඩා කරන අන්දමත් සමගින් ඔහුගේ ක්‍රීඩා දිවිය තව කොපමණ කලක් දුර ගමන් කරයිද යන්න අවිනිශ්චිතයි. නමුත් ස්ථිරවම ඔහු ලොව සුපිරි සහ තරගකාරී පාපන්දුවෙන් දැන් ඉවත් වී තිබෙනවා.

බ්‍රසීලය බිහි කළ කුමාරයා ඔටුණු පැළඳීමකින් තොරවම අවසානයට ළං වන නිසා "කිසිදිනෙක කිරුළු නොපළන් කුමාරයා" යන අන්වර්ථ නාමය පාපන්දු පිටියේ නේමාර් වෙනුවෙන් භාවිතා වනවා. ඔබ කෙතරම් දක්ෂයෙක් වුවත් විනය, මූල්‍ය පරිපාලනය, පෞද්ගලික ජීවිතය සමබර කර ගැනීමට හැකියාවක් නොමැතිනම් ගමන් කරන්නේ කොහෙටද යන්න නේමාර් හොඳම උදාහරණයක්.

(I Sports)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
කිරුළු නොපළන් කුමාරයා මව්බිමට සම්ප්‍රාප්ත වීම | Lanka Newsweek