අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

කබ්රාල්ට මහ බැංකුව භාරදීම නරියාට කුකුල්ලු භාරදීමක්..!

කබ්රාල්ට මහ බැංකුව භාරදීම නරියාට කුකුල්ලු භාරදීමක්..!

බැඳුම්කර වංචාවටත් වඩා බරපතළ දේ ඉදිරියේදී සිදු විය හැකියි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපති ධුරයට පත්වීමත් සමගම විශාල වශයෙන් මුදල් අච්චු ගසමින් රටේ ආර්ථිකය බිඳ වැට්ටවීමට කටයුතු කරන අතරම තවත්…

බැඳුම්කර වංචාවටත් වඩා බරපතළ දේ ඉදිරියේදී සිදු විය හැකියි

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපති ධුරයට පත්වීමත් සමගම විශාල වශයෙන් මුදල් අච්චු ගසමින් රටේ ආර්ථිකය බිඳ වැට්ටවීමට කටයුතු කරන අතරම තවත් පසෙකින් මුදල් මණ්ඩලයේ නීතිගරුක නිලධාරීන් ඉවත් කරමින් ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර ගනිමින් සිටින බවට අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ චෝදනා කර සිටියාය.

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මෙලෙස චෝදනා කර සිටියේ සිකුරාදා (17) බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී වන අතර එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද අදහස් දැක්වූවාය.

මහා භාණ්ඩාගාරයට පසුගියදා නව අධිපතිවරයෙක් පත්වුණා. අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මෙම පත්වීම නීති විරෝධී සහ සදාචාර විරෝධී වූවක් වුණත් ඔහු මහ බැංකුවේ වැඩ භාරගත්තේ මේ රටේ බරපතළ අර්ථික අර්බුදයක් පවතින අවස්ථාවකයි.

දැන්වීම

එවැනි අවස්ථාවක ආර්ථිකය බේරා ගැනීම සඳහා සහ ජනතාවට සහන දීම සඳහා බව කියමිනුයි පත්වූයේ.  ඔහු එම වැඩය ආරම්භ කරන ආකාරය දෙස අප බලාගෙන හිටියා. වැඩ භාර ගත්තාට පසුව ඔහුගේ එක අතක් මුදල් මුද්‍රණය කරන මැෂින් එක පාලනය කිරීම සඳහා වෙන් වුණා. අනෙක් අත පාවිච්චි කරනු ලැබුවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිලධාරීන් පාලනය කිරීම සඳහායි. 

පසුගිය සැප්තැම්බර් 15වැනිදා වන විට මේ ආණ්ඩුව රුපියල් ටි්‍රලියන 1.5ක මුහුණත වටිනාකමක් ඇති මුදල් නෝට්ටු අච්චු ගැසීමට කටයුතු කර තිබූ බව අපි දැක්කා. ඔහු වැඩභාර ගත් දිනයේ අලුතින් රුපියල් මිලියන 13,000ක් අච්චු ගැසීමට කටයුතු කළා. ආර්ථික අර්බුදයට ආණ්ඩුව දිගටම පාවිච්චි කරපු උත්තරය නැවතත් පාවිචිචි කරනු ලැබුවා.

මුදල් අච්චු ගැසීම නිසා දිගින් දිගටම රටේ බඩු මිල ඉහළ ගිය බව, උද්ධමනය වැඩි වූ බව අපි දැක්කා. නව අධිපති කබ්රාල් මහතාත් සිදු කළේ උද්ධමනය වැඩි වන ක්‍රියාමාර්ගයමයි. ඔහු එක අතක් පාවිච්චි කරමින් සිදු කළ මුදල් මුද්‍රණය අසාර්ථකයි. 

අනෙක් අතින් නිලධාරීන්ට කරන ලද බලපෑමත් ගැටලුකාරී තත්වයක් නිර්මාණය කර තිබෙනවා. මුදල් මණ්ඩලයේ හිටපු ලේකම් දවුලගල මහත්මිය තනතුරින් පහ කිරීමට කබ්රාල් මහතා කටයුතු කර තිබෙනවා. බැඳුම්කර වංචාව පිළිබඳව පරීක්ෂණ සිදුවෙද්දී එහි සටහන්වල නිවැරදිභාවය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් පිරිසක් හිටියා.

විශේෂයෙන් මුදල් මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් ජනතාවගේ මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා කැපවුණා. මහ බැංකුවේ දූෂණ අක්‍රමිකතා පිළිබඳව කළ වෝහාරික විගණන වාර්තා නිසා අර්ජුන මහේන්ද්‍රන්ට සහ අජිත් නිවාඞ් කබ්රාල්ට චෝදනා එල්ල වී තිබුණා. එම වාර්තාවේ ඇතුළත් කරුණු ඉවත් කරන්න ආණ්ඩුව විශාල උත්සාහයක් ගත්තත් නිලධාරීන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැහැ. ඒ වගේම ඔවුන් එම තොරතුරු නීතිපති දක්වාම රැගෙන යාමට කටයුතු කළා. 

මේ නිසා කබ්රාල් මහතා වැඩ භාර ගත් ගමන්ම මේ නිලධාරීන් තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කරන්නේ ඇයිද යන්න පැහැදිලියි. කබ්රාල් මහතාට භාණ්ඩාගාරය භාර දීම නරියාට කකුල්ලු භාරදීමක් වගේ වෙන්නේ මේ නිසයි. හොරුන්ට රිංගා යාමට නොහැකි වන සේ තිබූ බාධාවන් ඉවත් කර ගැනීමට ආණ්ඩුව ඍජුව මැදිහත් වෙමින් සිටිනවා.

මුදල් මණ්ඩලය තුළට හොරුන් රිංගා යාමට නොහැකි වන බාධා තිබුණා. දැන් මේ නිලධාරීන් ඉවත් කිරීමෙන් ආණ්ඩුව කර ගන්නට හදන්නේ ඒවා ඉවත් කර ගැනීමයි. කබ්රාල් මහතා නීතිය ඉදිරියේ තමන්ට ප්‍රශ්නකාරී විය හැකි දේවල් ඉවත් කරගැනීමට හදනවා. 

ජනතාවට සහන දිය හැකි මාර්ග සොයනවා වෙනුවට ඔහු තමන්ගේ ඇඳුම් උනා දමා සිදුකරමින් සිටින්නේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක්. ඒ වගේම ජනතාවගේ මුදල් තබා ඇති භාණ්ඩාගාරයේ ආරක්ෂාව මේ ලෙස බිඳ දැමීම නිසා එවැනි පියවර ගැනීමට ඉදිරියේදී නිලධාරීන් බිය විය හැකියි. මහ බැංකු බැඳුම්කර සිදුවීමටත් වඩා බරපතළ දේ ඉදිරියේදී සිදු විය හැකියි. 

මහ බැංකුවේ ප්‍රධාන වගකීම් දෙකක් තිබෙනවා. එකක් උද්ධමනය පාලනය කිරීම. අනෙක් කරුණ මිල ස්ථායීකරණය කිරීම. පසුගිය කාලයේ මේ ක්‍රියාමාර්ග දෙකම ආණ්ඩුවට කර ගැනීමට නොහැකි වුණා. එහි පීඩනය පැටවුණේ ජනතාව මතයි. ලෝකයේ ආර්ථික විද්‍යාඥයින්ගේ පොදු පිළිගැනීම වන්නේ උද්ධමනය 7%ට වඩා වැඩි වුවහොත් එට විශාල ආර්ථික අර්බුදයකට යන බවයි.

දැන් අපේ රටේ උද්ධමනය පවතින්නේ 6.8% මට්ටමේයි. ආණ්ඩුව අපේ රට ඒ තැනට අපේ රට වට්ටමින් තිබෙනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති තත්වයක් තුළ අධික ලෙස මුදල් මුද්‍රණය කිරීමෙන් සිදුවන්නේ මෙම තත්වයයි. කෘත්‍රිමව හිඟයක් නිර්මාණය කිරීම, බඩු සැඟවීම් සිදු වන්නේ මේ තත්වය තුළයි. මිල ඉහළයාම් වැළැක්විය නොහැකියි. 

ආණ්ඩුව පසුගිය කාලයේ බඩු මිල අඩු කිරීම සඳහා ගැසට් පිට ගැසට් මුද්‍රණය කළා. නමුත් මිල අඩු නොවූ නිසා ආණ්ඩුව කළේ ව්‍යාපාරිකයින්ට දෝෂාරෝපණය කිරීමයි. මේ කිසිවකින් බඩු මිල අඩු වුණේ නැහැ. කාන්තාවන්ගේ කුස්සියේ ප්‍රශ්නය විසඳුණේ නැහැ. ආණ්ඩුව මාධ්‍ය තුළ පෙන්වන මිල පාලනය ගම්වල නැහැ. ඒ මිලට බඩු ගැනීමට නැහැ.

සතොස හා සුපිරි අලෙවිසැල්වලින් බඩු ගන්නේ අපේ රටේ පාරිභෝගිකයින්ගෙන් 13%ක් පමණයි. ඉතිරි 87%ක ජනතාව බඩු ගන්නේ සිල්ලර කඩවලිනුයි. වැඩි දෙනෙකුට මාසෙකට තබා සතියකටවත් ප්‍රමාණවත් ආහාර මිලදී ගන්න බැහැ. ඔවුන් මිලදී ගැනීම් කරන්නේ දෛනිකවයි. ඒත් දැන් ආණ්ඩුව කියන්නේ සතොස පෝලිමට එකතු වී බඩු ගන්නා ලෙසයි.

ඇත්තටම දැන් කාන්තාවන්ට සිදු වී තිබෙන්නේ අඩු මිලට සීනි කිලෝ එකක් ගන්න දිනපතා සතොස අලෙවිසැල් සොයමින් රස්තියාදු වීමටයි. ඒ අතරතුර අපේ රටේ ඇමතිවරුන් මේ රට කේතුමතී පුරයක් යැයි සිතාගෙන කා බී බමන මතින් රස්තියාදුවේ යනවා. 

පුටු මාරු කළ පමණින් අපේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. කඩා වැටී තිබෙන රට ගොඩ ගන්න බැහැ. පොහොර ගන්න නොමැති වීම නිසා ගොවීන්ට තමන්ට කෑමටවත් වී ටික හදා ගන්න නොහැකි වී තිබෙනවා. දැන් ආණ්ඩුව මිල පාලන ගැසට් අතහැර මිල පාලනය කරන්න හදිසි නීතිය පැනෙව්වා.

ඒත් බඩු මිල අඩු නොවුණු නිසා ඒ සංදර්ශනෙනුත් ආණ්ඩුව අසාර්ථකයි. ඊළඟ කන්නයේ හෝ ගොවියාගෙන් වැඩි මිලකට වී මිලදී ගැනීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. මේ තත්වය තුළ ව්‍යාපාරිකයන් තමන්ගේ ලාභය උපරිම කර ගන්න හදනවා. ඔවුන් තමන් සතු තොග මුදා හරින්නේ නැහැ; හිඟයක් හදනවා. මේ තත්වය තුළ කෘත්‍රිම බඩු මිල වැඩි වීමක් වෙනවා. මේ සිද්ධාන්තය වෙනස් කරන්න මැදිහත් වනතෙක් මිනිස්සුන්ට අඩු මිලට බඩු ලබා දෙන්න ආණ්ඩුවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. 

සුදුළුෑණු වංචාවට සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රිමාන්ඩ් යැයි පුවතක් තිබෙනවා. ආණ්ඩුවේ මැදිහත්වීමක් ඇති ආයතනවල පවා මේ ආකාරයේ වංචා සිදු වන විට ආණ්ඩුව බඩු මිල පාලනය කරන්නේ කොහොමද? සතොස මගින්වත් සුදුළුෑණු, කහ, පොල්තෙල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සහන මිලට කුස්සියට දෙන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ.

ආණ්ඩුවට ඇත්ත ප්‍රශ්නයට විසඳුම් නැහැ. ඔවුන් ඇතැමෙක් තුන් වේලක් වෙනුවට දෙවේලක් කන්න කියා කියනවා. බන්දුල ඇමතිතුමා ලක්ෂයට වැඩි ආදායම් උපයන අයට 5%ක් ආණ්ඩුවට දෙන්න කියනවා. ඒත් ආණ්ඩුව සීනිවලින් පමණක් කෝටි 3500කට වඩා ආදායමක් අහිමි කර ගත්තා.

ඒ වගේම ආණ්ඩුව ව්‍යාපාරික කණ්ඩායමකට බදු සහන දුන්නා. නාස්තිය අවම කර ගන්නේ නැතිව ආණ්ඩුව කුස්සියට බදු ගහන එක නතර කළ යුතුයි. නාස්තිය අවම කර ගත යුතුයි. බදු හොරුන්ගෙන් බදු අයකර ගත යුතුයි. කෝටි ගණන් ලාභ ලබන ව්‍යාපාරිකයන්ගෙන් අමතර මුදලක් රජයට ලබා ගත හැකියි. 

ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක ළමා මන්දපෝෂණය 25%-30% මට්ටමක පවතිනවා. කොවිඩ් තත්වය තුළ මේ ඉලක්කම් තවත් ඉහළ ගොස් තිබෙන්නට පුළුවන්. ආණ්ඩුව දෙවේලක් කන්න කියන්නේ මෙවැනි පිරිසකටයි. මේ අසාර්ථක ආණ්ඩුවට එරෙහිව අපේ රටේ සියලු ජනතාව එකතු විය යුතුයි.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න