කතානායකගේ විශ්වාසය ගැන අගමැතිගෙන් ප්‍රශ්න කරති

(උපුල් බණ්ඩාර) බැඳුම්කර ගනු දෙනුවට ද බරපතළ දුෂණ,වංචා සහ අක්රමිකතාවලට අදාළව ද කරුණු විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සෙනසුරාදා (06) කෙරෙන විවාදයෙන් පසුව දේශපාලන…
(උපුල් බණ්ඩාර)
බැඳුම්කර ගනු දෙනුවට ද බරපතළ දුෂණ,වංචා සහ අක්රමිකතාවලට අදාළව ද කරුණු විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සෙනසුරාදා (06) කෙරෙන විවාදයෙන් පසුව දේශපාලන පක්ෂනායකයින්ගේ එකඟතාවය පරිදි අඳාළ කරුණු සම්බන්ධව විවාද කිරීම සඳහා ඉදිරියේදී තවත් දින යොදා ගැනීමේ බාධාවක් නොපවතින බව දැනුම් දෙමින් කතානායක කරු ජයසුරිය මහතා නිකුත් කර තිබෙන නිවේදනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ විශේෂ අවධානය යොමු වී තිබේ.
මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා සඳුදා (05) කැඳවා තිබෙන දේශපාලන පක්ෂ නායක රැස්වීම පිළිබඳව අවධානයෙන් සිටින බව පැවසූ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් පිරිසක් පෙන්වා දුන්නේ මේ සියලු විවාද කටයුතු සෙනසුරාදා (06) අවසන් කර එම වාර්තාවලට අදාළ නිර්දේශ අනුව ඉදිරි නීතිමය පියවර කඩිනමින් ගත යුතු බවට අගමැතිවරයා දැඩි ස්ථාවරයක සිටියදී අදාළ විවාද සඳහා මෙසේ තවත් දින ලබාදීමට උත්සහ කරන්නේ කුමක් නිසාද සහ එහි දේශපාලන වශයෙන් යටි අරමුණක් තිබෙනවා ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් මතු වී තිබෙන බවය.
දැන්වීම
මේ අතර කතානායක කරු ජයසුරිය මහතාගේ පාර්ලිමේන්තු ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කර තිබේ.
මේ මැති ඇමතිවරුන් මේ බව ප්‍රශ්න කර ඇත්තේ කැබිනට් රැස්වීමෙන් පසුව එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලිය ගහ මන්දිරයේ දී අඟහරුවාදා(30) පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදීය.
උද්ගත වී තිබෙන දේශපාලන වාතාවරණය හමුවේ කතානායකවරයා කෙරෙහි විශ්වාසයක් තිබෙනවා ද යන්න පිළිබඳව නාගරික සැලසුම් සහ ජාල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අගමැතිවරයාගෙන් එහිදී ඍජුවම ප්‍රශ්න කර තිබේ.කෙසේ නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊට කිසිදු පිළිතුරක් දී නොමැති අතර ඒ ප්රශ්නය මග හැර සාකච්ඡාව ඉදිරියට ගෙන ගොස් ඇත.
කෙසේ නමුත් ජනාධිපතිවරයා,අගමැතිවරයා සහ කතානායකවරයා අතර විශේෂ හමුවක් අඟහරුවාදා (30) කොළඹ දී සිදුව ඇති අතර, එහිදී කරු ජයසුරිය මහතා අවධාරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය,සම්ප්රදාය,විනය සහ නීතිය තහවුරු කර ආරක්ෂා කිරීමට කටයුතු කරන තමාට කිසිදු ඉදිරි දේශපාලන අරමුණක් හෝ ඉලක්කයක් නොමැති අතර තමා කිසිවිටකත් පටු දේශපාලනයක නොයෙදෙන බවය.
කතානායක කරු ජයසුරිය මහතා විසින් නිකුත් කරනු ලැබ තිබෙන නිවේදනය මෙසේය.
මෙම මස 06වන දින මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසන් සභා වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාවන් පදනම් කර ගනිමින් පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය සම්බන්ඳව ඇතැම් මාධ්‍ය දක්වා ඇති කරුණු පිළිබඳව වැඩි දුරටත් කරුණු පැහැදිලි කල යුතුව ඇති බව පෙනී යයි.
අදාල වාර්ථාවන් පිළිබඳව විවාදය සඳහා දින නියමකර ගැනීමේ දී මැතිවරණ ක්‍රියාවලියටද බාදාවක් නොවන පරිදි කටයුතු කල යුතුව තිබූ බැවින්, බහුතර පක්ෂ නායකයින්ගේ එකඟතාවය අනූව පෙබරවාරී 06 වන දින ඊට යොදාගනු ලැබුවද එදින එම විවාදය සම්පූර්ණයෙන්ම පවත්වා අවසන් වන බව ඉන් අදහස් නොවේ.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ අදහස් පරිදි ඒ සඳහා අවශ්‍ය තරම් ඉදිරි දින යොදාගැනීමේ හැකියාව පවතී, කෙසේ නමුත්, පෙබරවාරී 06 විවාදය සඳහා යොදාගැනීම පිළිබඳව තීරණය කරන ලද්දේ 2018.01.30 දින පැවැති පක්ෂ නායක රැස්වීමේ දීය.
ඊට පෙර ඒ සඳහාගරු අග්‍රාමාත්‍යතුමා විසින් යෝජනා කර තිබූ දිනය මැතිවරණ ක්‍රියාවලිය සමඟ ප්‍රායෝගික අපහසු වන බව මැතිවරණ කොමිසන් සභාව විසින් පෙන්වා දීමේන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් විසින් විකල්ප දිනයක් ලෙස පෙබරවාරී 06සලකා බැලිය හැකි බව පෙන්වා දෙන ලදි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නියෝජිතයා ද ඊට එකඟතාවය පල කල අතර, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයා ද එදින විවාදය සඳහා තම පක්ෂය සූදනම් බව දැන්වීය.
මෙම බහුතර අදහස පිළිබඳව ගරු අග්රාමත්යතුමා දැනුවත් කරන ලද අතර, ඒ පිළිබඳව සිය එකඟත්වය පලකල එතුමන් ජනවාරී 06 දින පාර්ලිමේන්තුව කැඳවන ලෙස ස්ථාවර නියෝග අංක 14 යටතේ අග්‍රාමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කථානායකවරයාගෙන් නිලවශයෙන් ලිඛිතව ඉල්ලා සිටින ලදී.
මේ අනූව පෙබරවාරී 06 දින විවාදය සඳහා පාර්ලිමේන්තුව කැදවනුයේ බහුතර පක්ෂනායකයින්ගේ එකඟත්වයෙන් බවද, එදින විවාදය පැවැත්වීමෙන් පසු පක්ෂනායකයින්ගේ එකඟතාවය පරිදි අඳාල කරුණු සම්බන්ඳව විවාදය සඳහා වෙනත් ඉදිරි දින යොදාගැනීමේ බාදාවක් නොපවතින බවද දැනුම් දෙමු.