ඒ්.ටී.ආරියරත්නගේ දර්ශනය යහපත් ශ්‍රී ලංකාවක් සඳහා මඟ සළකුණු දක්වනු ඇත

ආචාර්ය ඒ්.ටී.ආරියරත්න මහතාගේ දර්ශනය සහ වැඩ පිළිවෙළ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා මඟ සළකුණු දක්වනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති සහ ශ්‍රී ලංකාභිමාන්‍ය දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ…
ආචාර්ය ඒ්.ටී.ආරියරත්න මහතාගේ දර්ශනය සහ වැඩ පිළිවෙළ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා මඟ සළකුණු දක්වනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති සහ ශ්‍රී ලංකාභිමාන්‍ය දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
පෙර දිග සාර දර්ශනයන් පදනම් කර ගනිමින් මානව වර්ගවයාගේ සුබ සෙත අරමුණු කර ගත් සමස්ත ලෝකයෙහිම ගෞරවයට පාත්‍ර වූ සමාජ ව්‍යාපාරයකට නායකත්වය දුන් ශ්‍රී ලාංකික සුජාත පුත්‍රයෙකු වූ ශ්‍රී ලංකාභිමාන්‍ය, ආචාර්ය ඒ්.ටී.ආරියරත්න මැතිතුමාගේ අභාවය අප තුළ මහත් සංවේගයක් ඇති කරවයි.
මහත්මා ගාන්ධිතුමන්ගේ අධ්‍යාත්මික සහ දාර්ශනික උරුමය ඉදිරියට ගෙන ආ විනෝබා බාවේ තුමන්ගේ පරහිතකාමි දැක්මෙන් උත්තේජනය ලද ශ්‍රී ලාංකේය තරුණයකු තුළ හට ගත් අධිෂ්ඨානයක ප්‍රතිඵලයක් ලෙස සර්වෝදය ව්‍යාපාරය බිහි විය.
දැන්වීම
මානව ගරුත්වය සහ සාර සමාජයක් සඳහා වන නිවහල් දැක්මකින් පොහොසත් සර්වෝදය ව්‍යාපාරයේ දර්ශනය රටට හඳුන්වා දෙමින් හා ඒ් අනුව තම ජීවිත කාලය පුරාම කටයුතු කරමින් ඒ ටී ආරියරත්න මැතිතුමා ශ්‍රී ලංකා සමාජයට සිදු කර ඇති සේවය අනභිබවනීය වන්නේය. එමෙන්ම එතුමන්ගේ දර්ශනය අනාගත යහපත් ශ්‍රී ලංකාවක් පිළිබඳ අභිප්‍රායකින් යුතුව කටයුතු කරන ලාංකේය සුධීමතුන්ට බොහෝ මඟ ලකුණු දක්වනු ඇතැයි අපගේ බලවත් විශ්වාසයයි.
ශ්‍රී ලංකාභිමාන්‍ය, ආචාර්ය ඒ්.ටී.ආරියරත්න මැතිතුමාගේ අභාවය හේතුවෙන් බලවත් සංවේගයට පත්ව සිටින ශ්‍රී ලාංකික ජන සමුහය සමඟ එක් වන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එතුමන්ගේ ආදරණීය භාර්යාව වන නීතා ආරියරත්න මැතිණියට ද විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න, චාරිකා, ජීවන්, සදීවා, දියත්, නිම්නා යන දූ දරුවන් ඇතුළු පවුලේ සැම වෙත ද අපගේ බලවත් ශෝකය පළ කරන අතර එතුමන්ට අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.