එල්නීනෝ-ලානීනා බලපෑම් ගැන රජය ගෙන ඇති පුරෝකථන ගැන ජනතාව දැනුවත් කරනු

- විපක්ෂ නායක - 2026 ජුනි 22 දින කැබිනට් මණ්ඩලය විසින් එල්නීනෝ ලානීනා දේශගුණ සංසිද්ධියෙන් උද්ගත විය හැකි ජල, විදුලි, ආහාර අර්බුධ කළමනාකරණයට කෙටි මධ්‍ය හා දිගු කාලීන සැලසුම් සකස් කිරීමටත් සියලු රාජ්‍ය…
- විපක්ෂ නායක -
2026 ජුනි 22 දින කැබිනට් මණ්ඩලය විසින් එල්නීනෝ ලානීනා දේශගුණ සංසිද්ධියෙන් උද්ගත විය හැකි ජල, විදුලි, ආහාර අර්බුධ කළමනාකරණයට කෙටි මධ්‍ය හා දිගු කාලීන සැලසුම් සකස් කිරීමටත් සියලු රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය සහතික කිරීමට පරිසර ඇමතිවරයාගේ සභාපතීත්වයෙන් විශේෂ අමාත්‍යා මණ්ඩල අනු කමිටුවක් හා නිලධාරී මණ්ඩලයක් පත් කර ඇති බවත් මේ පත් කිරිමට මාස 6කට පෙර මෙවැනි තත්ත්වයක් නිර්මාණය වන බවට සමගි ජන බලවේගය රටට හෙළි කළ බවත් මේ අනු කමිටුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කෘෂිකර්ම බලශක්ති හා ජල සම්පාදනය ඇතුළු සියලුම ආයතන අතර සම්බන්ධීකරණය කරන නිසා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී බ්‍රහස්පතින්දා (10) ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් අනු කමිටුවට ඉදිරිපත් කළ හැකි නවතම දත්ත අනුව නියගය නිසා බලපෑමට ලක්වූ ජනතාව දිස්ත්‍රික් අනුව ඉදිරිපත් කරන ලෙසත් මේ එල්නීනෝ ලානීනා තත්ත්වය නිසා මතුවන සංකීර්ණ කරුණු ගැන ජනතාව දැනුවත් විය යුතු නිසා මේ නිසා බලපෑමට ලක්වන පුද්ගලයන් ප්‍රමාණය දිස්ත්‍රික් ඉදිරිපත් කරන ලෙසත් මෙරටට එල්නීනෝ බලපෑමේ සම්භාවිතාව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනු කමිටුව වෙත ඉදිරිපත් කළ නිල පුරෝකථනය ඉදිරිපත් කරන ලෙසත් 63%ක් හෝ වැඩි ප්‍රමාණයක් යැයි විවිධ මත පළ වන බවත් ලෝක කාලගුණ සංවිධානයට අනුව 80% සීමාව දක්වා යා හැකි නිසා නිල පුරෝකථනය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වීම
ඉදිරියේදී සිදුවන ආපදාවලින් ජනතාව බේරා ගන්න ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද..?
මේ පුරෝකථනය පෙර පුරෝකථනවලට සාපේක්ෂව වෙනස් වීමට හේතු එල්නීනෝ උපරිම වීමට ඇති අපේක්ෂිත කාලය ඉදිරිපත් කරන ලෙසත් මෙය නියගයකින් සීමා නොවී ඔක්තෝබර් නොවැම්බර් මෝසම් සමයේ ගංවතුර නායයෑම් සිදුවිය හැකි නම් වැඩිම අවදානම් සහිත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ගැන තොරතුරු ඇත්නම් ඉදිරිපත් කරන ලෙසත් උතුරු නැගෙනහිර මොනරාගල බදුල්ල අම්පාර හම්බන්තොට මඩකලපුව වැනි නියගයෙන් වැඩි පීඩාවට පත් ජනතාවට පුර්ව අනතුරු ඇගවීම හෝ ජනතාව ආරක්ෂා කිරිමට ගංවතුරින් බේරා ගැනීමට ගෙන ඇති පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එල්නීනෝ ලානීනා නිසා රටට සිදුවන බලපෑම කවරේද..?
2026 ජුනි 30 වන දින ප්‍රථම අනු කමිටු රැස්වීමේ දී රාජ්‍ය ආයතන විසින් නියම කරන ලද කාල සීමාව තුළ ඉදිරිපත් කරන ලෙස උපදෙස් දුන් ක්‍රියාකාරී සැලසුම් නියමිත කාල සීමාවේ ලැබී ඇත්නම් එම නිර්දේශ ඉදිරිපත් කරන ලෙසත් එල්නීනෝ ලානීනා සහ එයට සමගාමීව සිදුවන කාලගුණ දේශගුණික තත්ත්වය ගැන අප රටට සිදුවන බලපෑම ගැන පූර්ණ විග්‍රහයක් අවශ්‍ය බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පැවසීය.
ජල විදුලිය අවම වුවහොත් එය පාරිභෝගික බිල්පත් මතට බලපෑමක් සිදු වන්නේද..?
මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරිමට නිශ්චිත කාලරාමුවක් ඉදිරිපත් කරන ලෙසත් බලශක්ති අමාත්‍යාංශය විසින් අනුකමිටුවට ඉදිරිපත් කළ පරිදි මහවැලි ජලාශ්‍රවල ඇති ජල මට්ටම් ප්‍රමාණ, විදුලි නිෂ්පාදනයට තාප විදුලි බලාගාර මත යැපීමෙන් සිදුවන අමතර පිරිවැය ඉදිරිපත් කරන ලෙසත් ඉදිරි මාස කිහිපය තුළ පාරිභෝගික විදුලි බිල්පත්වලට බලපෑමක් ඇති කිරීමට අනුකමිටුවේ තක්සේරුව ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
නියගය නිසා බලපෑමට ලක්වූ ගොවි ජනතාවට ලබා දුන් සහන කවරේද..?
කෘෂිකර්ම අමාත්‍යාංශය අනුකමිටුවට ඉදිරිපත් කළ පරිදි වාරි ජල හිගය නිසා හානි වූ වී සහ අනෙකුත් භෝග හෙක්ටයාර වශයෙන් සේම මෙම හානි වූ ගොවියන්ට වන්දි හා රක්ෂණ ගෙවීම් ලබා දී ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත් මහකන්නය සදහා බීජ වී පොහොර සහනාධාරය හා ජලය නිකුත් කිරීමේ සැලසුම බලපෑමට ලක්වූ ගොවියන්ට ප්‍රමාණවත් ලෙස සම්බන්ධීකරණය කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙහි දී සභානායක බිමල් රත්නායක මහතා විසින් එල්නීනෝ සහ ලානීනා තත්ත්වයෙන් ලංකාවට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැක්වූ උනන්දුව සහ මීට මාස 6කට පෙර සිටම මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කිරීම අගය කරන බවත් පැවසීය.