එජාප නව සන්ධානයේ ජාතික ලැයිස්තුව දේශපාලන කරුමයක් නොව උරුමයක් කර ගනිමු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5

සිරිකොතේ “Bill” ගෙවා ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගීමට ලුම්පන් සල්ලිකාරයින්ට ඉඩ නොතබමු..! (සුජිත් මංගල ද සිල්වා) “සිරිකොත” මුලස්ථානයේ විදුලිය,ජල සහ දුරකථන “Bill” ගෙවන ලුම්පන් සල්ලිකාරයින්…
සිරිකොතේ “Bill” ගෙවා ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගීමට ලුම්පන් සල්ලිකාරයින්ට ඉඩ නොතබමු..!
(සුජිත් මංගල ද සිල්වා)
“සිරිකොත” මුලස්ථානයේ විදුලිය,ජල සහ දුරකථන “Bill” ගෙවන ලුම්පන් සල්ලිකාරයින් පාර්ලිමේන්තුවට පත් කිරීම හේතුවෙන් ජාතික කරුමයක් බවට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එම පෙරමුණේ ජාතික ලැයිස්තුව ජාතික උරුමයක් බවට පරිවර්තනය කර ගත යුතු කාලය එළැඹ ඇතැයි විශ්ව විද්‍යාලය ආචාර්යවරු අවධාරණය කර සිටිති.
කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු දෙතුන් දෙනෙකු හැරුණු කොට එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය රට වෙනුවෙන් ජාතික කාර්ය භාරයක් සහ එම පෙරමුණ වෙනුවෙන් දේශපාලන වශයෙන් සාධාරණයක් ඉටු කළා ද යන ප්‍රශනය මතු වන්නේ යැයි වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ආචර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා “lankanewsweek” සමග පැවසීය.
එක්සත් ජාතික පෙරමුණට මතවාදීව සහය පළ කරන විශ්ව විද්‍යාල ආචාර්ය සහ මහාචාර්යවරුන් වෙනුවෙන් “lankanewsweek” වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා මෙසේ ද කීය.
"සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ජාතික ලැයිස්තුව සැකසෙන්නේ මහ මැතිවරණයකට ඉදිරිපත් වී තරඟ කිරීමට මුදල් නොමැති, මැතිවරණයකින් ජයග්‍රහණය නොහැකි සහ මැතිවරණ සටනක් ඔස්සේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට අකමැති ජාතික සහ ජාත්‍යන්තර වටිනානමක් ඇති මහා උගතුන්ගේ,බුද්ධිමතුන්ගේ සහ ප්‍රාඥයන්ගේ සේවය රටට ලබා ගැනීම සදහාය.
මේ අය කිසි විටෙක මහ ජන සේවය සදහා තමා තෝරා ගන්නැයි ඉල්ලමින් ජනතාව පසු පස නොයන අතර රටට ජනතාවට සේවය කරන්නැයි ඒ අයගෙන් ඉල්ලා සිටිය යුත්තේ මහ ජනතාවමය.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා දී ඇති ප්‍රතිපාදන යටතේ ජාතියේ බුද්ධිමතුන් විසි නව දෙනෙකුගේ සේවය ජාතියට ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව 2015 අගෝස්තු මස 17 වැනිදා පැවති මහා මැතිවරණයෙන් දේශපාලන පක්ෂ හතරකට හිමි විය.
ඒ, එක්සත් ජාතික පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 13 ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 12 ක්, දෙමළ ජාතික සන්ධානයට 02ක් සහ ජනතා විමුක්ති පෙරමුණට 02 ක් වශයෙනි.
මෙම විසි නම දෙනා නම් කර වසර තුනක් ඉක්ම යන මේ මොහොතේ පොදුවේ ගත් කල ඒ අය රටට, ජාතියට සහ සිය දේශපාලන පක්ෂයට මෙහෙවරක් කරමින් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට සාධාරණය ඉටු කළා ද යන ප්‍රශනය ජනතාව අතර මතුව තිබේ.
2015 අගෝස්තු 17 දින පැවති ශ්‍රී ලංකාවේ 15 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තුව යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි මන්ත්‍රී ආසන 12 සදහා එම මැතිවරණයට තරග කර පරාජයට පත් වූ මහින්ද සමරසිංහ,එස්.බී දිසානායක,තිලංග සුමතිපාල,ලක්ෂමන් යාපා අබේවර්ධන,විජිත් විජිතමුණි සොයිසා,ඒ එම් හිස්බුල්ලා සහ රන්ගජන් රාමනාදන් යන හත් දෙනා එම පක්ෂය පත් කළා.
ඊට අමතරව ජාතික ලැයිස්තුවට කලින්ම ඒ අය නම් කර තිබූ ආචාර්ය සරත් අමුණුගම,ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා,මලිත් ජයවීර,ඒ.එච්.එම්.ෆවුසි සහ ඩිලාන් පෙරේරා යන පස් දෙනා ද පාර්ලිමේන්තුවට පත් කළා.
ජාතික ලැයිස්තුව කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ පරාජිතයින් හොර පාරෙන් පාර්ලිමේන්තුවට යළි ගන්න තිබෙන දේශපාලන මෙවලමක් නොවෙයි.ඒ වගේම ආචාර්ය සරත් අමුණුගම,ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා,මහින්ද සමරසිංහ සහ මලිත් ජයවීර යන අය හැරුණාම එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවේ සැලකිය යුතු ප්‍රාමාණික උගතුන් ඇත්තේ නැහැ.
එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ අවස්ථාවේ ගත් එම තීරණය එක්සත් ජනතා නිදහස් සන්ධානයට දේශපාලන වශයෙන් වාසි වූ බව කිව යුතුයි.
ඒ මන්ද යැයි කිව්වොත්, හරි හෝ වේවා වැරදි හෝ වේවා එක්සත් ජාතික පෙරමුණට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන මතවාදය සමාජ ගත කරමින් සිය පක්ෂය වෙනුවෙන් දේශපාලන සටනක් ගෙන යමින් සිටින්නේ ජනාධිපතිවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් පත් කරනු ලැබූ ඒ මහින්ද සමරසිංහ, එස්.බී දිසානායක,තිලංග සුමතිපාල,ලක්ෂමන් යාපා අබේවර්ධන සහ ඩිලාන් පෙරේරා ඇතුළු කණ්ඩායමයි.
ඒ අනුව බැලුවාම රටට ජනතාවට කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් විශාල හඬක් නගමින්,සිය පක්ෂයට සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට දේශපාලන වශයෙන් සාධාරණය ඉටු කිරීමට ඒ අය සමත්ව සිටිනවා.
එහෙම බැලුවාම එක්සත් ජාතික පෙරමුණ යටතේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ දහ තුන් දෙනාගෙන් කතානායක කරු ජයසූරිය මහතා හැරුණු කොට රට,ජනතාව සහ පක්ෂය වෙනුවෙන් සාධාරණය ඉටු කළේ කවුරුන් ද යන ප්‍රශනය මතු වනවා.
ජාතික ලැයිස්තුව යටතේ එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින්නේ මලික් සමරවික්‍රම,තිලක් මාරපන,ඩී.එම් ස්වාමිනාදන්,සිරිනාල් ද මැල්,අනෝමා ගමගේ,ජයම්පති වික්‍රමරත්න,එම්.එච්.එම් නවාවි,මොහොමඩ් සල්මන්,එම්.එස් තවුෆීක්,අතුරලියේ රතන,සරත් ෆොන්සේකා,ආශු මාරසිංහ සහ කරු ජයසූරිය යන අයයි.
කෙසේ නමුත් මේ අතරින් මහාචර්ය ආශු මාරසිංහ මහතාත් රට පුරා සංචාරය කරමින් ජනතාව අතරට ගොස් ද,පාර්ලිමේන්තුව සහ ජන මාධ්‍ය ඔස්සේ ද එක්සත් ජාතික පෙරමුණේ මතවාදය සමාජ ගත කිරීම සඳහා විශාල කාර්ය භාරයක් කරන බව සිහිපත් කළ යුතුයි.
ඒ හැරුණු කොට එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය, පාර්ලිමේන්තුව සහ ජන මාධ්‍ය ඔස්සේ වාද,විවාද සහ සංවාද කරමින් ද,රට පුරා ජනතාව අතරට ගොස් කරුණු කාරණා තේරුම් කර දෙමින් ද, එම පක්ෂයේ මතවාදය සමාජ ගත කළා ද යන ප්‍රශනය මතු වනවා.ඒ වගේම දේශපාලන,ආර්ථික,සමාජ සහ සංස්කෘතික වශයෙන් රට දියුණු කිරීම සඳහා ඒ අය ලබා දී ඇති දායකත්වය,ඉදරිපත් කර ඇති වැඩ පිළිවෙළ වගේම දර්ශනය කුමක් ද යන ප්‍රශනය ද තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එම පෙරමුණේ ජාතික ලැයිස්තුවට කාලයක් මුළුල්ලේම මේ ඉරණම අත්ව තිබෙන්නේ එම නායකයින් සිය ගජ මිතුරන්ට සලකන දේශපාලන මෙවලමක් සහ විවිධ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට අල්ලස් ලබා දෙන ක්‍රමවේදයක් බවට ජාතික ලැයිස්තුව පත් කර ගෙන සිටින නිසයි.මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එම පෙරමුණ සිය මතවාදය සමාජ ගත කර ගත නොහැකිව දේශපාලන වශයෙන් අනාථ වී සිටින අතර මතවාදීව දිළිඳු භාවයට ද පත් වෙමින් සිටින බව කිව යුතුයි.
එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එම පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වන අය බොහෝ විට තීරණය වන්නේ සල්ලි මතයි.ඊට හොඳම උදාහරණය “සිරිකොත” එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ විදුලිය,ජල සහ දුරකථන “Bill” ගෙවන ලුම්පන් සල්ලිකාරයින්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගීමට හැකි වී තිබීමයි.
එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එම පෙරමුණ මගින් අලුතින් ගොඩනගන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවටවත් මේ දේශපාලන වශයෙන් බංකොලොත් සහ සෝචනීය ඉරණම අත් වීම වැළැක්වීමට එහි නායකයින් වහාම මැදිහත් වී පියවර ගත යුතු බව එම බලවේගයට මතවාදීව සහය පළ කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වශයෙන් අපගේ ස්ථාවරයයි.
ජාතික ලැයිස්තුවෙන් විද්වතුන් පාර්ලිමේන්තුවට පත් කිරීමේදී සිය දේශපාලන පදනම සහ ශක්තිය දුර්වල ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ ආවරණය වන පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එම පෙරමුණු පියවර ගත යුතුයි.විශේෂයෙන් උතුර,උතුරු මැද,වයඹ සහ නැගෙනහිර යන පළාත් ආවරණය වන පරිදි ජාතික ලැයිස්තුවෙන් වැඩි ඉඩක් ලබාදීම අතිශය වැදහත් වනවා.
එමෙන්ම ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් ලෙස විද්වතුන් පත් කිරීමේදී නවෝත්පාදක ආර්ථිකය,තොරතුරු තාක්ෂණය,නවීන විද්‍යාව සහ තාක්ෂණය,නව දේශපාලන ප්‍රවණතා,කෘෂි කර්මය,සේවා වගේම දුෂණ විරෝධය යන විෂය ක්ෂේත්‍රවලට අදාළව ප්‍රාමාණික උගතුන් සහ බුද්ධිමතුන් පත් කළ යුතු කාලය එළැඹ තිබෙනවා.
එසේ වුණොත් එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එම පෙරමුණුවලට දේශපාලන කරුමයක් වී තිබෙන ජාතික ලැයිස්තුව එම පක්ෂයට,පාක්ෂිකයාට සහ මුළු රටටම උරුමයක් කර ගත හැකියි."
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
