අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපය වනසන භූතයින් දෙදෙනාට එරෙහිව රවීගෙන් බර අවි ප්‍රහාරයක්

එජාපය වනසන භූතයින් දෙදෙනාට එරෙහිව රවීගෙන් බර අවි ප්‍රහාරයක්

භූතයින් දෙදෙනාම දකුණෙලු..! එජාප-සජබ දීගයට වළ කපන්නේ එක භූතයෙක්ලු..! එක භූතයෙක් එජාප නායකයා වීමට සිහින දකින විට තව භූතයෙක් මහා ලේකම් වීමට දඟලනවාලු..! එක පාර දකුණට හැරිලා වමට සිග්නල් දාන්න එපා-රවී…

භූතයින් දෙදෙනාම දකුණෙලු..!

එජාප-සජබ දීගයට වළ කපන්නේ එක භූතයෙක්ලු..!

එක භූතයෙක් එජාප නායකයා වීමට සිහින දකින විට තව භූතයෙක් මහා ලේකම් වීමට දඟලනවාලු..!

එක පාර දකුණට හැරිලා වමට සිග්නල් දාන්න එපා-රවී ආණ්ඩුවට කියයි 

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්, කොළඹ දිස්ත්‍රික් නායක සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සමග කළ දේශපාලන සංවාදයකි. 

මට මුලින්ම කියන්න ඔබේ පක්ෂය මොකක්ද..?

මම එක්සත් ජාතික පක්ෂයේ. කවුරුත් කියන්න දෙයක් නෑ රනිල් වික්‍රමසිංහට පසු ඉන්න ජ්‍යෙෂ්ඨතමයා මම. රනිල් වික්‍රමසිංහ එදා ඉඳන්ම පක්ෂයට විශාල සේවයක් කළා. නමුත් ඒ පක්ෂයේ එක්කෙනෙක් දෙන්නෙක් ඒ කිව්වෙ භූතයෝ දෙන්නෙක් නිසා පක්ෂයත් පල්ලෙහාට පත් කරලා අපිවත් ඕනේ නෑ කියලා මේ දෙන්නා කටයුතු කරනවා. නමුත් ජනතාව අපි එක්ක ඉන්නවා.

මම අද ආවේ ඔය භූතයෝ දෙන්නගෙ නම් දෙක අහගෙනම යන්න. භූතයො කිව්වට නම් දෙකක් ඇතිනෙ..?

දැන්වීම

(මහ හඬින් සිනාසෙමින්) මේක අනුරාධා. ඒක කියන එක සදාචාර නැහැ. මම දේශපාලනය කරන කෙනෙක්නේ.

හරි ඉතින් ඉඟියක් දෙන්න බැරිකමක් නෑනෙ..?

මෙහෙම කිව්වොත්. දැන් මම, රුවන් විජේවර්ධන, නවීන් දිසානායක, අකිල විරාජ්, මනුෂ,  තලතා මේ ඔක්කොම අපි  එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනියන්න හදනවා. නමුත් ඔය භූතයෝ දෙන්නෙක් ඉන්නවා.

ඒ භූතයො දෙනාගේ පක්ෂය මොකක්ද..?

මම දන්නෙ නෑ  පක්ෂය මොකක්ද කියලාවත්. එක්සත් ජාතික  පක්ෂය නැති කරන්න හදන දෙන්නෙක්.

එක්සත් ජාතික පක්ෂයේද නැත්නම් සමගි ජන බලවේගයේද..?

මං හිතන්නේ ඒගොල්ලෝ වෙනම පක්ෂයක්. ඒගොල්ලන්ගේ අදහස එක්කෙනෙක් පක්ෂ නායක වෙන්න. අනිත් එක්කෙනා පක්ෂ ලේකම් වෙන්න.

මෙච්චර දෙකට බෙදුණු පක්ෂයක් එක්වෙලා ගමනක් යන්න හදද්දී ඒකට ඉඩ දෙන්න අකැමැති භූතයො දෙන්නෙක් පක්ෂ දෙක වටේ අරක් ගෙන ඉන්නවා ඔය නම් දෙක ප්‍රසිද්ධ කරලා දැම්මා  නම් ඉවරයිනෙ..?

මෙහෙමනෙ. මම දේශපාලනය කරන්නේ සදාචාරයකින්. මොකෝ මට තරම් හිරිහැර කරපු හිරිහැර වින්ද කෙනෙක් තවත් මේ පක්ෂයේ නෑ. පක්ෂය ඇතුළෙත් පිටත් ඒකට මං මුහුණ දුන්නා.

නම් දෙක කියන්නම බැරි නම්, ඒ දෙන්නා නියෝජනය කරන දිස්ත්‍රික්ක  කියන්න..?

දෙන්නම හිටියේ දකුණේ. එක්කෙනෙක් වෙන වෙන  පැතිවලට ආක්‍රමණය කරන්න හදනවා. මටත් පුළුවන් ඕනෑ නම් දෙන්නා ගැන උඩ යට යනකම් පතුරු ගහන්න. ඒත් මට අකැමැති දෙයක් මම තව කෙනෙකුට කරන්න කැමැති නැහැ. නොකිව්වට කට්ටිය දන්නවා කවුද කියලා. රනිල් වික්‍රමසිංහගේ හොඳ නාමයත් විනාශ කරනවා. එහෙම දෙන්නෙක් මටත් ආරක්ෂා කරන්න ඕනෑකමක් නෑ.

ඔබ දැන් කිව්වා රනිල් වික්‍රමසිංහගෙන් පසු ජ්‍යෙෂ්ඨතමයා ඔබ කියලා. නමුත් මීට කලින් කිව්වේ ඔබයි ජ්‍යෙෂ්ඨයා කියලා. ඇයි ඔබට එතැනදි වැරදුණාද..?

ඔව් මට වැරදුණා. මම ඒක පිළිගන්නවා. ඒ කියන්නෙ මන් අවුරුදු ගාණක් කියලා තියෙන්නේ එකයි. මේ කිව්ව එකේ “ට” කියන එකේ වචනයක් වෙනස් වෙලා තියෙනවා. මං නිහතමානීව ඒකට සමාව  භජනය කළා. මම පිස්සෙක් වෙනවා එහෙම කිව්වොත්. ඉතින් මම නිවැරැදි කිරීමක් කළා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රි ධුර දෙකෙන් එකක් ඔබ පැහැර ගත්තා කියලයි චෝදනා කළේ. ඇත්තටම එහෙම දෙයක් නේද වුණෙත්..?

පක්ෂයක් තුළ හෝ දේශපාලනයේ කන් වහගෙන ඇස් වහගෙන ඉන්න ඕනේ නම් ඒ අයට මේක ගැන  ප්‍රශ්නයක් තියෙනවා. මේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියන්නේ මුලින්ම  ලලිත්ගේ. ඊට පස්සෙ සරත්  ෆොන්සේකා 2010 තරග වැදුණෙ. මේක පාවිච්චි කළා. රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමක් මත 2015 මෛත්‍රිපාල දිනුවෙත් මේ පක්ෂය පාවිච්චි කරලා. 2019 ජනාධිපතිවරණයෙ සජිත් තරග කළෙත් මේ පක්ෂයෙන්. ඊට පස්සේ 2024 රනිල් වික්‍රමසිංහ   ස්වාධීන ලැයිස්තුවකින් තරග කළෙත් මේ පක්ෂයෙන්.  ඊට පස්සේ පක්ෂයක් ඕන වුණාම ඒ පක්ෂය හංසයාගෙන් ගෑස් ළිපට වෙනස් කරලා පාවිච්චි  කරන්න පුළුවන් වුණා. ඒ තමයි  නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි.

නමුත් ඔය පක්ෂය ගිවිසුම් කිහිපයකට එකඟ වෙලානෙ වැඩ ඇල්ලුවෙ..?

මේ තුළ අන්තර්ගතයක් තිබුණා. පක්ෂ හයක් අස්සන් කළා. ඉන් හතරක් අස්සන් කළා ගිවිසුමක් අනුව. ඒ ඉල්ලීම් පරිදි කටයුතු කිරීමක් තිබුණෙ. ඔය පුහු චෝදනා කරන්නෙ කොන්දක් නැති අධි මානසිකත්වයක් තියන ජනාධිපතිවරණයත් දිනුවා කියලා හිතපු පුද්ගලයන් කිහිපදෙනා එදා ඕනෑ ඕනෑ විදිහට හැසිරුණා. ඒ හැසිරීම තුළ ඒගොල්ලො යථාර්ථය පිළිගන්නෙ නැතුව කටයුතු කළේ. ඒගොල්ලො හිතුවෙ අනිවාර්යයෙන්ම මැතිවරණය  දිනයි ඊට පස්සෙ මෙතැන ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ කියලා. ඒ හිතුවට පස්සෙ එක පාරට අන්තිම පැයේ මේ එක්සත් ජාතික පක්ෂයට ගේනවා පක්ෂයේත් නැති අය  මනාප යුද්ධයක් වෙනුවෙන් 9.30ට විතර ගෙන්නලා හොරෙන් අස්සන් කරවපු එක කළා. මන් දන්නෙ නෑ කවුද මේකට මැදිහත් වුණේ කියලා.

කවුද එතකොට ඔය සජබෙ, එජාපෙ දීගෙට විරුද්ධව කකුලෙන් අදින්නෙ..?

ඔය කියපු භූතයො දෙන්නාගෙන් එක්කෙනෙක්.

රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කරලද ඔබ පාර්ලිමේන්තුවට ආවෙ එතකොට..?

මම එතුමා දැනුවත් කරලා තමයි පාර්ලිමේන්තු ආවෙ. මුලින්ම බැලුවා මොකක්ද මේ පක්ෂයට වෙන අසාධාරණය කියලා. ඊට පස්සෙ එතුමා දැනුවත් කරලා තමයි එකඟ වුණේ “ඔව් වෙන විකල්පයක් නැති හින්දා ජාතික ලැයිස්තුවෙන් එමු” කියලා කතාවෙලා ආවේ.

රනිල් වික්‍රමසිංහගෙ සම්පූර්ණ කැමැත්ත ඇතිවද ඔබ පාර්ලිමේන්තු ආවේ..?

නැතුව. මන් අත්තනෝමතිකව ක්‍රියා කරනවයැ. පක්ෂයේ අවුරුදු 34ක් ඉඳලා අවුරුදු 26ක් පාර්ලිමේන්තුවේ ඉඳලා නිකම් ඒවා කතා කරන්න පුළුවන්ද. අනිත් අයට ඒ අත්දැකීම තියෙනවද?

හරි ඔබ ජ්‍යෙෂ්ඨයෙක් කියලා අපි දන්නවා. නමුත්...?

ජ්‍යෙෂ්ඨයෙක් විතරක් නෙවේ මන් යූ.එන්.පී. තද අලියෙක්.

නමුත් මුලින්ම අපිට වාර්තා වුණේ නම් රවි කරුණානායක තමන්ගෙ ලේකම් එක්ක ලොකු ගැටයක් ගහලා පාර්ලිමේන්තු එන්න පාර කපාගත්තා. රනිල් වික්‍රමසිංහ ඒක වෙනකම් දන්නෙ නෑ කියලා. මොකද ඔහු හැසිරුණෙත් ඒ වෙලාවෙ එහෙම..?

දන්නෙ නෑ කියන්නේ මොකටද. රනිල් වික්‍රමසිංහ එච්චර බබෙක්ද? එතුමත් එක්ක අපි මේ අවස්ථාවේ සාකච්ඡා කළා. මට තියෙන දුක එතුමා අපිත් එක්ක සාකච්ඡා කරලා ඒ සුහද භාවය ගෙනියනවා. නමුත් අර භූතයෝ දෙන්නා වෙනින් ආකාරයකට පක්ෂය ගෙනියන්න උත්සාහ කරනවා.

ඒ කියන්නේ රවීගේ රනිල්ගේ දීගෙ කඩන්නද ඔය කියන භූතයෝ දෙන්න හදන්නේ..?

අනිවාර්යයෙන්ම ඒක තමයි මේ කඩන්න හදන්නේ. රනිල් වික්‍රමසිංහ  රටට සේවයක් කරපු මනුස්සයෙක්. පාර්ලිමේන්තුවේ වුණත් එතුමාව ආරක්ෂා කරන්නේ එතුමා යූ.එන්.පී.කාරයක් කියලා කියන්නේ මං හැර වෙන එකෙක්ට ඒක  කරන්න පුළුවන්ද?

රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබ සමඟ ඉතාම සුහදද..? පොඩි පොඩි  ගැටුමක්වත් නැද්ද..?

මත ගැටුම් නැහැ. අර භූතයො දෙන්නට විතරයි ගැටුම් තියෙන්නේ.

එහෙනම් මට මෙහෙම කියන්න පුළුවන් මෙහෙම. රනිල් වික්‍රමසිංහත් දැනුවත් නම් ඔබේ පාර්ලිමේන්තු ආගමනය, ඒක එහෙම තියෙද්දී එතුමා ඇතුළු අනෙක් අය මේකේ වෙන ප්‍රශ්නයක් එළියට පෙන්නන්නත් හදනවා නම් රනිලුයි, රවීයි එකතු  වෙලා මේ ගේමක් ගහන්නෙ කියලා..?

ඔයාට ඉතින් පුළුවන්නෙ ඕන දෙයක් කියන්න. ඔයා ඉස්සරත් සාස්තර කිව්වනේ. මම ඕක ඔව් කිව්වත් නෑ කිව්වත් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන්  ඇසිය යුතුයි කියලා මන් කියන්නෙ.

රනිල් කිව්වද දන්නෙ නෑ රවි ඔයා ටික කාලෙකට පාර්ලිමේන්තුවට යන්න ඊට පස්සේ මං ශේප් එකේ එන්නම් කියලා..?

ඔය ඔයා කියන දෙයක් තමයි ඉතින්. ඕන විදිහකට කියන්නකෝ.

ගොඩක් අය කියනවා ඔය මොනවා කිව්වත්  ඔක්තෝබර් වගේ වෙද්දී රනිල් පාර්ලිමේන්තුවට එන්න නියමිතයි කියලා..?

නෑ එතුමා දේශපාලනයෙන් සමුඅරන් තියෙන්නේ.

රනිල් වික්‍රමසිංහ කලිනුත් ඔහොම කියලා තමයි ආපහු ආවෙ..?

නෑ. එහෙම එන්නෙ නෑ. එතුමා කිව්වෙ එජාපෙ ඉහළ තලවලට ගියාට පස්සෙ ආයෙ පහළ තනතුරුවලට ඇවිත් උර ගගා ඉන්නෙ නෑ කියලා. ගිය සතියෙත් කිව්වා. ඒකයි මන් කියන්නෙ එතුමට නැති රුදාව අනිත් භූතයො දෙන්නට තියෙන්නෙ කොහොමද කියලා.

භූතයො වුණත් යාතුකර්මයක් කරලා එළවන්න හරි සමඟි කරවන්න හරි පුළුවන්නේ. කවුරුත් මේ දෙන්නා සමඟි කරන්න උත්සාහ කරන්නෙ නැද්ද..?

අනිත් ඔක්කොම අපි එකට එකතු වෙලා වැඩ කරන්න උත්සාහ කරනවා. භූතයො දෙන්නා එළවනවා.

යම් හෙයකින් පාක්ෂිකයන්ගෙන් හෝ පක්ෂයේ උවමනාවක් මත රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු යන්න කියලා එතුමා එකඟ වුණොත් ඔබ ඔය මන්ත්‍රිකම දෙන්න ලෑස්තිද? මොකද ඔබ හෝ ෆයිසර් මුස්තාෆගෙ මන්ත්‍රි ධුර දෙකෙන් එකක්නෙ දෙන්න වෙන්නෙ..?

එතුමට එන්න අවශ්‍යතාවක් නෑ. ඒ ගැන ප්‍රශ්නයක් නැති තැනක උත්තර හොයලා ඵලක් නෑ.

නයයි මුගටියයි  වගේ හිටපු එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි නැවත එක්වෙන්න තීරණය කරේ අර ගංවතුරට අහු වුණාම නයි මුගටි එක කොටේකට ගොඩ වෙනවා වගේ කරගන්න දෙයක් නැති වුණු හින්දද..?

මන් හිතන්නේ හැමදෙනාම මේ පක්ෂයේ කඩා යෑම ගැන හරිම කනගාටුවෙන් හිටියේ. එදා එක්සත් ජාතික පක්ෂය වශයෙන් ලලිත්ලා, ගාමිනිලා හැමෝම හිටපු මේ පක්ෂය ඊට පස්සේ දෙකඩ වෙලා ආයෙත් කැඩෙනකොට යූ.එන්.පී. ස.ජ.බ. විදිහට  බෙදී වෙන් වුණා. ඉතින් ඔක්කොම එකට එකතු  වෙන්න ඕනෑ කියන මතයෙ අපි කවුරුත් ඉන්නෙ.

සජිත් ප්‍රේමදාස පක්ෂ එක්වීමේ  මේ එකඟතාවට කැමැතිද අවංකවම. මොකද ඔහු නායකත්වය දීමට සූදානම් නැහැ නේ..?

ඒකයි මං කිව්වෙ  මේ අවස්ථාවේදී කවුරුත් ගරුත්වයෙන් කටයුතු කළ යුතුයි.

ඔතන ප්‍රශ්නය තියෙන්නේ සජිත් ප්‍රේමදාසද..?

නෑ. මම හිතන්නේ මේකේ ප්‍රශ්නය තියෙන්නේ රනිල්ටවත්, සජිත්ටවත්  නෙමෙයි. වටේ ඉන්න අයට.

රනිල් වික්‍රමසිංහට නායකත්වය  දෙන්න සජිත් සූදානම් වෙයි කියලා ඉතින් ඔබට විශ්වාසද..?

මං හිතන විදිහට පරිණත භාවය ගත්තොත් ඒ පැත්තේ තුන්දෙනයි මේ පැත්තෙ තුන්දෙනයි වගේ හිටියොත් ප්‍රශ්නය විසඳන්න පුළුවන්. එහෙම නැතුව  ඔය භූතයෝ වගේ දෙතුන් දෙනෙක් හිටියොත් ප්‍රශ්නය අල වෙනවා.

ඒ දෙන්නට විනය ක්‍රියාමාර්ග ගන්න බැරිද..?

මම නෙමෙයිනේ පක්ෂයේ  නායකත්වය. දැන් බලන්න අපි පක්ෂය වෙනුවෙන් කොච්චර දේවල් කළත් අනිත් අයගෙ ප්‍රශ්නත් අපේ පිට දාගෙන වැඩ කළත් ඊට පරිභාහිරව  දේවල් කරනකොට මේ අයටත් ශීලාචාරකමක් තියෙන්න ඕනෑ පක්ෂය වෙනුවෙන්  කටයුතු කරන්න. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි  මණ්ඩලය එදා ඉඳන්ම ගෙනාපු යෝජනාවකට ඇහුම්කන් නොදුන්නහම ප්‍රශ්නයක් නැද්ද?

තලතා අතුකෝරල  මහත්මියට එජාප මහලේකම්කම දුන්න එක ගැන ඔබට සෑහීමකට පත්වෙන්න පුළුවන්..?

ඔව්. එතුමිය හොඳ පුද්ගලයෙක්. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. එතුමිය කතා කරන දේවල් වෙන වෙනම කතා කරන එකයි ඔය භූතයෝ දෙන්නා ළඟ තියන් කතා කරන එකයි වෙනස්.

ඒ කියන්නෙ බේන් වොෂ් වෙනවා එතුමියගෙත්..?

බේන් වොෂ් වෙනවා නෙවේ. බේන් ස්ටෝල් වෙනවා.

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් තියෙනවා කිව්වට මැයි මුල තියෙනවා කියලා කියනවා. ඒ ගැන කොහොමද සූදානම..?

අපි නොදන්න දෙයක් අනුරාධා  දැන් මට කිව්වා.

මම කියපු දෙයක් නෙවේ. මැතිවරණ කොමිසම කිව්වෙ..?

මැතිවරණ කොමසාරිස් එහෙම කියන එක හරිද..?

මැයි මුල පවත්වනවා කිව්වත් වැඩි කාලයක් නැහැනේ. දැන් මේ පක්ෂ දෙක එක්වීම ගැන තවම නිශ්චිත මතයක් නෑ. එහෙ මෙහෙ මාධ්‍යට අදහස් කිය කිය ඉන්නවා. මේ ඡන්දෙටවත් එක මිටට යා යුතුයි නේද ඔබලාගේ ඉලක්කවලට යන්න අවශ්‍ය නම්..?

මම හිතන විදිහට පුළුල් සන්ධානයක් ගතවේවි. මේකනේ. ඔය එකතු වෙනකොට මං කිව්වා ගරුත්වයෙන් එක් විය යුතුයි කියලා. ඉතින් ජනතාව තුළ බලයක් රැක ගෙන ඒ විශ්වාසයක් ඇති කරපු තැනකට එක් රොක් වෙනවා මිසක් නිකරුණේ මේවා කතා කරලා වැඩක් නැහැ. මං හිතන්නේ එන සුමානෙ වෙනකොට නිශ්චිත තොරතුරක් ලැබෙයි.

ඔබ පළාත් පාලන මැතිවරණය සම්බන්ධ පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගේන්න සූදානම් නේද..?

මං එදා ඉඳලා දරපු මතයක් තමයි ලලිත් ඇතුලත්මුදලි, ගාමිණීලා අයින් වුණු දවසෙ ඉඳලම මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕනෑ කියන එක. මං ඒකට පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ඉදිරිපත් කළා එදා. ඒවගේම මේ පළාත් පාලන ඡන්දවලට මේ 8,900ක් කියන මේ පිරිස ලොකු හෙණ ගහන අපරාදයක්. මුදල් වියදම් අඩු කරන්න ඕනෑ කියලා. හැමතැනම කියන් යනකොට 8,900ක් වෙනුවට පන්දාහක විතර ජනතාවට එක මන්ත්‍රිවරයෙක් ඉන්න කියන යෝජනාව මත උපරිම මන්ත්‍රිලා 4,000ක් සුදුසු බව මන් යෝජනාවක් විදිහට ඉදිරිපත් කළා. මන් දැන් ඉදිරිපත් කරන්න යන්නේ බැරි වෙලාවත් දැන් ඒක ක්‍රියාත්මක කරන්න ගියොත් ඡන්දෙ කල් යනවා. අපි ඡන්දය කල් දාන එක නෙවේ තියෙන්නෙ. මේ යෝජනා ගෙනාවා කළ යුතුයි කියන මතයෙ ඉන්නෙ. ඉතින් දැන් කරගෙන යන්න තියෙන්නෙ. හැබැයි ඒක විය යුත්තේ අඩුවෙන්.

මේ ආණ්ඩුවේ අය-වැය ගැන කතා කළොත් විපක්ෂය ලෙස දකින්නෙ අඩුලුහුඬුකම්නෙ. හොඳ යෝජනා මොනවද හිටපු මුදල් ඇමැතිවරයෙක් ලෙස ඔබ දකින..?

රටක් ඉදිරියට ගෙන යෑමට අවශ්‍යයි. මේක මේක රිලේ එකක්.1948 ඉඳලා ගෙනාපු අය- වැය තුළින් මේ ඉදිරියට යන එකක් තියෙන්නෙ. ඉතින් මං දකින හොඳ දේ තමයි එක්සත් ජාතික පක්ෂය ඇති කරපු අය-වැය විවෘත ආර්ථික ක්‍රමය ජේ.ආර්. ජයවර්ධන එදා පටන් ගත්තු 1977 ක්‍රමය මේක 2015 මං මුදල් ඇමැති වශයෙන් රනිල් වික්‍රමසිංහගෙ අගමැති කාලෙ ඇති වූ දේ සහ 2023-2024 රට බංකොලොත් වුණාට පස්සෙ ගෙනාපු දේ තමයි මේ 2025ත් ඉදිරියට යන්නෙ කියන මතයෙ මම ඉන්නෙ. ඒ ගැන මම සතුටුයි. එක පුද්ගලයෙක් පාර්ලිමේන්තුවේදී කිව්වෙ එදා කිව්ව එකයි අද කිව්ව එකයි දෙකම එකයි මේ අය-වැය මූල්‍ය විනයක් සහිතව තියෙනවා කියන එක.

විපක්ෂයේ අය කියන්නෙත් මේ රනිල් වික්‍රමසිංහගේම අය-වැයේ දිගුවක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉදිරිපත් කළේ කියලා..?

ඔව්. මන් පිළිගන්නවා.

බදු පැනවීම සම්බන්ධව මොකක්ද ඔබේ මතය..?

ඒක අහපු එක ගැන සතුටුයි අනුරාධා. අද පත්තරේ තියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ පීටර් බෲවර් කිව්වා අපි මේ 2017 එක කතා කරන්නෙ. උඹලා 2016 කරපු එක ඉදිරියට ගෙනිච්චා නම් 2017ට එන්න ඕනෑ නෑ කියලා. කවුද 2016 කරේ. මම ඒ 2015/2016/2017 කරපු දේවල් ගැන ඒ අය වර්ණනා කරලා තිබුණා. 2018-2024 වෙනකම්  වුණු කඩාවැටීමත් ඒ අය පෙන්වාදී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්සත් ජාතික පක්ෂය කිව්ව ගමන මේ අය විපක්ෂයේ කියලා හිතලා මොනවා කිව්වත් ආණ්ඩු පක්ෂයට ආවම ඒ කියපු දේ වෙනස් කරලා අපි කියපු විදිහට යන එක තමයි කරන්නෙ.

යූටියුබ්, ඇතුළු සමාජ ජාලාවලට පැනවූ බද්දට ඔබ එකඟද..?

මම නම් ඒකට එකඟ නෑ. 15% මීට වඩා නිර්මාණශීළීව ඉදිරිපත් කළ යුතුයි එදා ගෙනාවත් අද ගෙනාවත්. අර බදු ගැන අහපු එකට කියන්න දෙයක් තියෙනවා අර වැටුප 150,000ට ගහපු බද්ද ලක්ෂ  දෙකට දීර්ඝ කරා නම් හොඳයි කියලා මං හිතනවා. අපි 2015 වැටුණු ආර්ථිකයක් ගොඩනැඟුවෙ. මේගොල්ලො ආණ්ඩුව ගද්දි රට වැටිලා තිබ්බෙ නෑ.

මුලින්ම ඔබලා චෝදනා කරා රනිල්ට වගේ අනුරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැන්ඩ්ල් කරන්න බෑ කියලා. නමුත් ඔවුන් හතර වැනි වාරිකයත් දුන්නා..?

මම කිව්වෙ නෑ. අනිත් අයනෙ කිව්වෙ. එහෙම වුණු එක ගැන මං සතුටුයි.

සරලව මේ අය වැය ගැන මොකක්ද ඔබේ සාරාංශය..?

මම හිතන්නේ මේ අය-වැයට මූල්‍ය විනයක් තිබෙනවා. අපි ගෙනාපු එකම ක්‍රියාත්මක නම් අපේ අය-වැයේ වරදක් නෑ කියලා අපි කියනවා නම් මේ අයවැය වැරදියි කියන්න බෑනෙ. ඒක තමයි ගෙනියන්න ඕනෑ. හැබැයි  එක පාර දකුණට හැරිලා වමට සිග්නල් දාන්න එපා කියලා ආණ්ඩුවට කියනවා.

ජනාධිපති අනුර කුමාරට ඉදිරි වැඩපිළිවෙළ කොහොම ගෙනියන්න පුළුවන් වෙයි කියලා හිතනවද..?

රජය තව ලොකු කරන්න එපා. මොකෝ රජයක් ව්‍යාපාරයක් කරන්න දන්නෙ නෑ. ඕක උපකල්පනය කරන්නත් හොඳ නෑ මේක ගෙනියන්න පුළුවන් කියලා. ඊට වඩා ප්‍රතිපත්තිමය වශයෙන් ආණ්ඩුව තියාගෙන පෞද්ගලික අංශයයි රජයයි මැදිහත් වෙලා වැඩේ කරගෙන යන්න. නභඡතඪජ නපඪමචබඥ නචපබදඥපඵඩඪන එක ගැන කියලා තියනවනෙ.

අනුර දිසානායක වැඩේ හොඳට කරගෙන යනවද..?

හොඳට කරගෙන යනවා කිව්වොත් කියයි කඩේ යනවා කියලා. නරකට කරන් යනවා කිව්වොත් කියයි නිකම් කෑගහනවා කියලා.

ඔබේ ඇත්ත අදහස කියන්න..?

මගේ ඇත්ත අදහස මම සතුටුයි ඒ කියපු එක්සත් ජාතික පක්ෂය පටන් ගත්ත ගමනෙ විවෘත ආර්ථිකය තුළ ලංකාව ලෝකෙට එක්සත් කරන එදා මමත් රනිල් වික්‍රමසිංහත් ඒ කියපු වචන මේ ආණ්ඩුවත් ඉදිරියට කරගෙන යෑම සුබවාදියි. වැරැදි චෝදනා කිරීම වැරැදියි. අවුරුදු 76ක් ගැන කියව කියව ඉන්නෙ නැතුව සුබවාදීව ජාතික ස්වරූපයෙන් රට කරගෙන යන්න. ඒක තමයි හරි දේ.

-මව්බිම-

සංවාදය 

(අනුරාධා ෙහේරත්)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 10
බෙදාගන්න