ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට විකල්පයක් නැහැ

රට-ජනතාව මුහුණ දී සිටින උග්‍ර අර්බුදකාරී තත්ත්වයට විසඳුම් දී ජනතාවට සහන සැලසීමට කිසිදු හැකියාවක්, වැඩ පිළිවෙළක් සහ දැක්මක් නොමැති බව අවංකව තේරුම් ගෙන ආණ්ඩුව මේ මොහොතේ වහාම කළ යුත්තේ රට ගොඩනැගිය හැකි…
රට-ජනතාව මුහුණ දී සිටින උග්‍ර අර්බුදකාරී තත්ත්වයට විසඳුම් දී ජනතාවට සහන සැලසීමට කිසිදු හැකියාවක්, වැඩ පිළිවෙළක් සහ දැක්මක් නොමැති බව අවංකව තේරුම් ගෙන ආණ්ඩුව මේ මොහොතේ වහාම කළ යුත්තේ රට ගොඩනැගිය හැකි කණ්ඩායමකට වගකීම් භාර දී ඉල්ලා අස්වීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් කරමින් කියා සිටින අතර එහි මෙසේ ද සඳහන් වේ.
මොහොතින් මොහොත ඇස්පනාපිටම රටේ සමස්ථ ක්‍රියාවලිය අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් සිටින වර්තමාන ආණ්ඩුවට තව දුරටත් මේ රට සුරක්ෂිත කිරීමේ කිසිම හැකියාවක් සහ උවමනාවක් නැති බව මේ කෙටි කාලය ඇතුළත දී උවමනාවටත් වඩා ඔප්පු කර තිබේ. මේ ආණ්ඩුව කෙතරම් දුර්දාන්ත තැනකට අපේ රට තල්ලු කොට ඇද්දැයි වටහා ගැනීමට ඔවුන්ගේ වසරකට වැඩි පාලන කාලයම නොව,සතියක් දෙකක් ඇතුළත දී සිදු කොට ඇති ව්‍යසනයම ප්‍රමාණවත්ය. එනම් මේ ආණ්ඩුව,
විදුලිය, ජලය සහ ගෑස් නොමැති මේ සියල්ල අතර දුර්භාග්‍යසම්පන්න ඉරණමක් මේ ආණ්ඩුව රටට ඉතිරි කොට තිබේ. අසීමිත ලෙස උද්ධමනය ඉහළ ගිය, දරා ගත නොහැකි තරම් ජීවන වියදමෙන් පීඩා විදින තුන් වේල වෙනුවට එක වේලක් හෝ කන්නට නොහැකි තරමට දුක් විදින රටක් වර්තමාන ආණ්ඩුව ඉතිරි කොට තිබේ.
දැන්වීම
අධ්‍යාපනය කඩා වැටුණු, දූ දරු පරම්පරාවේ අනාගතය අඳුරු කළ, තරුණ පරම්පරාවේ සිහින සියල්ල සුනුවිසුනු කළ, විරැකියාව, පීඩනය සහ අසහනය රජයන සමාජයක් වර්තමාන ආණ්ඩුව විසින් ඉතිරි කොට තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳව පුරසාරම් දොඩමින් බලය ලබා ගත් ආණ්ඩුව,සෞඛ්‍යාරක්ෂිතව ගෑස් සිලින්ඩරයක් වත් ජනතාවට ලබා දීමට නොහැකි තත්ත්වයට රට පත් කොට ඇති අතර මේ ආණ්ඩුව විසින් රටේ ජන ජීවිත තුට්ටුවකට දමා ඇති තරම මේ තත්ත්වයෙන් වටහා ගත හැකිය.
ගනු ලැබූ අන්තනෝමතික තීන්දු හේතු කොට ගෙන මේ රටේ සමස්ත කෘෂිකර්මාන්තය බරපතළ අගාධයකට තල්ලු වී ඇති අතර හිතාමතාම ආණ්ඩුව සාගතයට අත වනා තිබේ. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාගේ සිට දැවැන්ත ව්‍යසායකයා සහ ව්‍යාපාරිකයා දක්වාම අඳුරු අනාගතයක පෙර නිමිති දකිමින් සිටින අතර ඊට විසඳුම් දෙන්නට ආණ්ඩුවට කිසිදු උවමනාවක් ද ඇත්තේ නැත.
සියලු රාජ්‍ය සේවකයින් ද,පෞද්ගලික අංශයේ සේවකයින් ද, දෛනික කුලී කම්කරුවන් ද ඇතුළු සමස්ත ජන පරපුර අන්ත අසරණ අඩියකට ඇද දැමූ අභාග්‍යසම්පන්න යුගයක් වර්තමාන ආණ්ඩුව විසින් රටට ඉතිරි කොට තිබේ. මේ වන විටත් රට පුරා පෝලිම් යුගයක් නිර්මාණය වී ඇති අතර COVID-19 මරණ සංඛ්‍යාව 14,000 ද ඉක්මවා තැනට රට පත් කොට තිබේ. අප මුල සිටම කරන ලද සියලු අනතුරු හැඟවීම් මායිම් නොකළ ආණ්ඩුව ඒ නිසාම අනතුර රට අභ්‍යන්තරයට ගෙන්වා ගෙන ඇත.
රටේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන ආණ්ඩුව සිය ගජ මිතුරන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් නොවළහා පෙනී සිටින අතර සුළුතර කල්ලියක උවමනාව වෙනුවෙන් මුළු රටේම අනාගතය බිල්ලට දීමට කටයුතු කොට ඇත. රට වටේම මුහුද ආක්‍රමණය කොට විදේශීය බලවත් රටවල් විසින් මේ රට කෙළිබිමක් බවට පත් කරන තුරු ඇස් කන් පියා ගෙන සිටින ආණ්ඩුවක් බවට වර්තමාන ආණ්ඩුව පත්ව ඇති අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා රටට සිදු වූ හානියේ වන්දිය ලබා ගැනීමටවත් ආණ්ඩුවට ශක්තියක් නැත.
රටේ සමස්ත පරිසර පද්ධතිය සහ ජාතික සම්පත් සියල්ලත් හිතමිතුරන්ගේ උවමනාවන් වෙනුවෙන් වනසා දැමීමට අවශ්‍ය කරන සියලු පහසුකම් ආණ්ඩුව විසින් සපයා ඇති අතර මේ රට කාන්තාර බිමක් බවට පත් කිරීමේ සියලු පිඹුරුපත් ආණ්ඩුව විසින් සකසා අවසන් කොට තිබේ.
කොරෝනා ව්‍යසනය හේතු කොට ගෙන පීඩාවට පත් බොහෝ රටවල් සිය ජනතාව උදෙසා කෙටි කාලීන,මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩ පිළිවෙළවල් ආරම්භ කොට ඇති අතර ඒ් කිසිවක් පිළිබඳව මේ ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැත. ඒ් වෙනුවට ආණ්ඩුව එදිනෙදා යම් යම් මාතෘකා ඉස්මතු කරමින් "එදා-වේල" වැඩ පිළිවෙළක් පමණක් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ සියල්ල සිය ගජ මිතුරන් පෝෂණය කරන්නට සකස් කළ වැඩ සටහන් පමණි.
සිය බලව්‍යාපෘතිය උදෙසා උත්තරීතර පාර්ලිමේන්තුව පවා ප්‍රචණ්ඩත්වයේ තෝතැන්නක් බවට පත් කර ගනිමින් ආණ්ඩුව විසින් පෙන්නුම් කරන ෆැසිස්ට්වාදී පැවැත්ම පිළිකුල් සහගත ය. මේ තරම් විනාශයක් රටේ සිදු වෙමින් තිබෙන අතර තව දුරටත් වර්තමාන ආණ්ඩුව කෙරෙහි අංශු මාත්‍රයක විශ්වාසයක් තබන්නට රටේ ජනතාව සූදානම් නැත.
එබැවින් ආණ්ඩුව නොවළහා කළ යුත්තේ මේ අර්බුදකාරී සමයේ මේ රට ගොඩනැගීමේ කිසිදු හැකියාවක් හෝ සමත්කමක් නැති බව අවංකව පිළිගෙන, මේ රට ගොඩනැගීමට හැකි කණ්ඩායමකට ආණ්ඩුව භාරදී ඉවත්ව යාම ය.