අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අතට ගත්තාද..?

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අතට ගත්තාද..?

ශ්‍රී ලංකාවේ ආරක්ෂක තීරණ ගැනීමේදී ඉන්දියාවේ භූමිකාව කොතෙක් දුරට වර්ධනය වී තිබේද..? ඉන්දියාව–ශ්‍රී ලංකාව අතර අලුත් ආරක්ෂක ගිවිසුම් තුන මෙන්න..! මේ ගිවිසුම් රටට හෙළි කළා ද..? මේ ගැන ජනතාව සහ…

ශ්‍රී ලංකාවේ ආරක්ෂක තීරණ ගැනීමේදී ඉන්දියාවේ භූමිකාව කොතෙක් දුරට වර්ධනය වී තිබේද..?

ඉන්දියාව–ශ්‍රී ලංකාව අතර අලුත් ආරක්ෂක ගිවිසුම් තුන මෙන්න..!

මේ ගිවිසුම් රටට හෙළි කළා ද..? මේ ගැන ජනතාව සහ පාර්ලිමේන්තුව දැන ගත යුතු නද්ද..? 

ආරක්ෂක සහයෝගීතාවයේ නව අදියරක්ද..? 

2025 ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුමේ සිට 2026 නව ගිවිසුම් තුන දක්වා යන ගමනේ ශ්‍රී ලංකාවට තිබෙන ප්‍රශ්න

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව තවත් පුළුල් කරමින් නව අවබෝධතා ගිවිසුම් තුනක් 2026 සැප්තැම්බර් 9 වැනිදා කොළඹදී හුව මාරු කර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු L-70 ගුවන් ආරක්ෂක අවි හයක් නවීකරණය කිරීම, ශ්‍රී ලංකා සහ ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාල අතර අධ්‍යයන සහයෝගීතාව සේම ශ්‍රී ලංකා සහ ඉන්දීය ජාතික ශිෂ්‍යභට බලකා අතර නව අවබෝධතා ගිවිසුම් තුනක් ඇති කර ගෙන තිබේ.

බැලූ බැල්මට මේ ගිවිසුම් දෙරට අතර සාමාන්‍ය ආරක්ෂක සහයෝගීතාවක් ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් මෙම නව ගිවිසුම් තුන පමණක් වෙන්ව ගෙන බැලීම ප්‍රමාණවත්ද..? ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අතට ගත්තාද..? එසේ නැති නම් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ආරක්ෂක සහයෝගීතාව, දෙරටේම ජාතික අවශ්‍යතා මත ගොඩනැගුණු සාමාන්‍ය ද්විපාර්ශ්වික ආරක්ෂක හවුල්කාරීත්වයක් පමණක්ද..? මේ කාරණය ශ්‍රී ලංකාවේ ජනතාව ඉදිරියේ තැබිය යුතු ප්‍රශ්නයකි.

2025 දී ආරම්භ වූ නව ආරක්ෂක රාමුව

2025 අප්‍රේල් මාසයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ආරක්ෂක අවබෝධතා ගිවිසුමක්  අත්සන් කෙරුණු නමුත් ඒ ගිවිසුම අදටත් පාර්ලිමේන්තුවට සහ ජනතාවට රහසක් වන අතර ඉන්දියාව ද මේ දක්වා ඒ ගිවිසුම් හී අන්තර් ගතය හෙළි කර නොමැත.

දැන්වීම

එම අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, දෙරට අතර දැනට පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි. එහිදී ඔහු තවත් වැදගත් ප්‍රකාශයක් කළේය. එනම්, ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපීය ස්ථාවරත්වයට හානි කළ හැකි කිසිදු කටයුත්තකට භාවිත කිරීමට ඉඩ නොදෙන බවයි.

මෙම ප්‍රකාශය 2026 සැප්තැම්බර් 9 වැනිදා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සමඟ පැවති සාකච්ඡාවේදීද නැවත අවධාරණය කර තිබේ. මෙහිදී වැදගත් ප්‍රශ්නයක් මතුවේ. ශ්‍රී ලංකාවේ භූමිය වෙනත් රටක ආරක්ෂක අවශ්‍යතාවලට එරෙහිව භාවිත නොකිරීම යනු ශ්‍රී ලංකාවේ ස්වෛරී ආරක්ෂක ප්‍රතිපත්තියක කොටසක්ද..? නැත හොත් එම ප්‍රතිපත්තිය ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතා සමඟ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තිය වඩාත් සමීපව සම්බන්ධ කරන දේශපාලන ප්‍රතිඥාවක්ද..? මේ තත්ත්වය පැහැදිලිව සාකච්ඡා කළ යුතු කරුණකි.

අලුතින් අත්සන් කළ ආරක්ෂක ගිවිසුම් තුන කුමක් ද..?

(01)  L-70 ගුවන් ආරක්ෂක අවි - මේ නව ආරක්ෂක අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු L-70 ගුවන් ආරක්ෂක අවි හයක් නවීකරණය කිරීමට ඉන්දියාව සහාය ලබාදෙයි. ඉන්දීය නිල ප්‍රකාශය අනුව මෙම නවීකරණය ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ සිදු කරන අතර, මෙම අවි මීට පෙරද ඉන්දියාව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදී තිබේ.

ඉන්දියාව පවසන්නේ මෙම නවීකරණය ශ්‍රී ලංකාවේ වැදගත් යටිතල පහසුකම් සහ අනෙකුත් Critical Assets සඳහා වන ගුවන් ආරක්ෂක හැකියාව ශක්තිමත් කරන බවයි. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා මීට පෙර සඳහන් කර තිබුණේ 2000–2006 කාලයේ දී ඉන්දියාව L-70 ගුවන් ආරක්ෂක අවි 24ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදී තිබූ බවත්, ඒවායින් 18ක් සඳහා නඩත්තු කටයුතු නොමිලයේ සිදු කර ඇති බවත්ය. නව ගිවිසුම ඉතිරි අවි හය සඳහා අදාළ වේ.

එනම් මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අලුත් ආයුධ පද්ධතියක් ශ්‍රී ලංකාවට ලබා දීමකට වඩා, දැනටමත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව පවතින ඉන්දීය සැපයුමක් තව දුරටත් ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීමකි. නමුත් මෙහිදීද ප්‍රශ්නයක් තිබේ. ශ්‍රී ලංකාවේ ගුවන් ආරක්ෂක හැකියාව පවත්වා ගෙන යාම සඳහා වෙනත් රටක් සමඟ දිගු කාලීන තාක්ෂණික සහ නඩත්තු සම්බන්ධතාවක් ගොඩනැගීමේදී, ශ්‍රී ලංකාවේ ස්වයංපෝෂිත ආරක්ෂක හැකියාවට එහි බලපෑම කුමක්ද..?

(02) ජාතික ආරක්ෂක විද්‍යාල අතර සම්බන්ධතාව -  දෙරටේ ජාතික ආරක්ෂක විද්‍යාල අතර ශාස්ත්‍රීය සහයෝගීතාව සඳහාද අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. නිල වශයෙන් ප්‍රකාශ කර ඇති පරිදි මෙහි අරමුණ දැනුම හුව මාරු කර ගැනීම සහ ජාතික ආරක්ෂාව, සංවර්ධනය සහ උපාය මාර්ගික අධ්‍යයන සම්බන්ධ අධ්‍යයන සබඳතා ශක්තිමත් කිරීමයි. මේ එකඟතාවය සෘජු හමුදා මෙහෙයුම් ගිවිසුමක් නොවේ.

නමුත් මේ ගිවිසුම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ජාතික ආරක්ෂාව පිළිබඳ අධ්‍යාපනය, උපාය මාර්ගික චින්තනය සහ ආරක්ෂක නිලධාරීන්ගේ වෘත්තීය පුහුණුව සම්බන්ධ ආයතන දෙකක් අතර ස්ථාවර සහයෝගීතාවක් ඇති කිරීමක් බව පැහැදිලිය.

3. ජාතික ශිෂ්‍ය භට බලකා අතර සහයෝගීතාව - මේ ආරක්ෂක අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා National Cadet Corps සහ ඉන්දීය National Cadet Corps අතර සහයෝගීතාවයයි. ඉන්දීය පාර්ශ්වය පවසන්නේ මෙම අවබෝධතා ගිවිසුම දෙරටේ National Cadet තරුණ හුවමාරු වැඩ සටහන වඩාත් විධිමත් කිරීම සඳහා වන බවයි. 

මේ සෘජු ආරක්ෂක මෙහෙයුම් ගිවිසුමක් නොවේ. එහෙත් ආරක්ෂක ආයතන, පුහුණුව සහ තරුණ හුවමාරුව සම්බන්ධ ආයතනික සම්බන්ධතාව තව දුරටත් ගැඹුරු කරන පියවරකි. මෙතනින් එහාට සිදු වන්නේ කුමක්ද..? වැදගත්ම කරුණ වන්නේ මෙම ආරක්ෂක අවබෝධතා ගිවිසුම් තුන වෙනම සිදුවීම් ලෙස නොබැලීමයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දැනටමත් වාර්ෂික ආරක්ෂක සංවාදය එකක් පවතී. SLINEX නාවික අභ්‍යාසය සහ MITRA SHAKTI හමුදා අභ්‍යාසය වාර්ෂිකව පැවැත්වේ. ඉන්දියාව ශ්‍රී ලංකාවට ආරක්ෂක පුහුණුව සඳහා විශාල වශයෙන් අවස්ථා ලබාදෙන අතර, Maritime Rescue Coordination Centre වැනි ව්‍යාපෘතිද දෙරටේ ආරක්ෂක සහයෝගීතාවේ කොටසක් වී තිබේ.

2025දී ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබේ. ඒ අනුව 2026 නව ගිවිසුම් තුන තනි සිදුවීම් තුනක්ද, නැත හොත් දැනටමත් වර්ධනය වෙමින් පවතින පුළුල් ආරක්ෂක හවුල්කාරීත්වයක තවත් පියවරක්ද..? මේ ගැන ගැඹුරින් සාකච්ඡා කළ යුතුය.

ඉන්දියාවට අවශ්‍ය දේ ඉන්දියාවම කියයි

මෙහිදී ඉන්දියානු ජාතික ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං විසින් 2026 සැප්තැම්බර් 9 වැනිදා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේදී කළ ප්‍රකාශය විශේෂයෙන් වැදගත්ය. ඔහු කියා සිටියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්, මතු වෙමින් පවතින තර්ජන සම්බන්ධයෙන් ඒකාබද්ධ කෙටුම්පත් සකස් කළ යුතු බවත්, දෙරටේ ආරක්ෂක අංශ අතර කුසලතා සහ අත්දැකීම් හුව මාරු කළ යුතු බවත්ය.

එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව සමුද්‍රීය ක්ෂේත්‍රයට අදාළව දැනුවත්භාවයේ පද්ධතියක් සංවර්ධනය කිරීමේ අනාගත හැකියාවක්ද ඔහු පෙන්වා දී තිබේ. ඒ සඳහා දෙරටේ අදාළ ආයතන, නාවික හමුදා සහ වෙරළ ආරක්ෂක ආයතන අතර ක්‍රමානුකූල සංස්ථාව සහ අන්තර්ක්‍රියා අවශ්‍ය බව ඔහු සඳහන් කරයි.

ඔහු මේ කියන්නේ සරල හමුදා පුහුණු වැඩසටහනකට වඩා පුළුල් සංකල්පයකි. මුහුදු ආරක්ෂාව, තොරතුරු හුව මාරුව, නාවික නිරීක්ෂණය, මත්ද්‍රව්‍ය ජාවාරම, ත්‍රස්තවාදය, නීති විරෝධී මසුන් ඇල්ලීම සහ අනෙකුත් සමුද්‍රීය තර්ජන සම්බන්ධයෙන් දෙරටේ ආරක්ෂක යාන්ත්‍රණ අතර සම්බන්ධතාව තවදුරටත් වැඩි කිරීම එහි අරමුණ බව ඉන්දීය පාර්ශ්වයේ ප්‍රකාශවලින් පෙනේ.

එසේ නම් ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අතට ගත්තාද..?

මේ වන විට තිබෙන නිල තොරතුරු මත එවැනි අවසාන නිගමනයක් කිරීම නිවැරදි නොවේ. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව “භාර ගෙන ඇත” යනුවෙන් කියන නිල ලේඛනයක් හෝ ප්‍රකාශයක් අපට හමු නොවේ. එහෙත් එසේ කියා සිටීමෙන් එම ප්‍රශ්නය අවසන් වන්නේද නැත. උද්ගත වී තිබෙන තත්ත්වය සහ මතු වී තිබෙන සැකසංකා සේම විනිවිද භාවයේ ප්‍රශ්න මත ජනතාව එවැනි සැකයක් මතු සහ ඒ ගැන ප්‍රශ්න කිරීම අසාධාරණ නොවේ. 

ඒ අනුව බලන විට වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක තීරණ ගැනීමේදී ඉන්දියාවේ භූමිකාව කොතෙක් දුරට වර්ධනය වී තිබේද යන්න පිළිබඳවය. එහි බර මැනිය යුත්තේ, වචනවලින් නොව ගිවිසුම්, පුහුණු වැඩ සටහන්, ආයුධ, නඩත්තු සහයෝගීතාව, නාවික සහයෝගීතාව, තොරතුරු හුව මාරුව සහ ඒකාබද්ධ ආරක්ෂක ක්‍රියාමාර්ග මතය.

ජනතාවට නොපෙනෙන තැන කොතැනද..?

මෙහි ඇති විශාලතම ගැටලුව වන්නේ ප්‍රසිද්ධ කර ඇති තොරතුරු සහ සම්පූර්ණ ගිවිසුම් පාඨ අතර පවතින පරතරය ය. රජය සහ ඉන්දියාව ගිවිසුම්වල අරමුණු පිළිබඳ තොරතුරු ලබාදී තිබේ. නමුත් මහ ජනතාවට සාකච්ඡා කිරීමට අවශ්‍ය වන්නේ ප්‍රධාන ශීර්ෂ පාඨය පමණක් නොවේ.

ජනතාවට දැන ගත යුතු ප්‍රශ්න ගණනාවක් තිබේ. මෙම ආරක්ෂක අවබෝධතා ගිවිසුම්වල සම්පූර්ණ පාඨ මොනවාද..? එහි කාල සීමාව කොපමණද..? ශ්‍රී ලංකාවට ඇති නිශ්චිත වගකීම් මොනවාද..? ඉන්දියාවට ඇති නිශ්චිත වගකීම් මොනවාද..? ඒවා මත පදනම්ව ඉදිරියේදී තවත් ගිවිසුම් ඇති කළ හැකිද..? ශ්‍රී ලංකාවේ ආරක්ෂක තොරතුරු හුව මාරු කිරීමේ සීමාව කුමක්ද..?

Maritime Domain Awareness වැනි ඒකාබද්ධ පද්ධති ඇති කළ හොත් එහි පාලනය සහ දත්ත ප්‍රවේශය කවුරුන් සතුවද..? ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක තීරණ ගැනීමේ අවසාන බලය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතුව පවතින්නේ කෙසේද..? මේ ප්‍රශ්න ඉන්දියාවට විරුද්ධ ප්‍රශ්න නොවේ. මේවා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, පාර්ලිමේන්තු අධීක්ෂණය සහ මහජන වගවීම පිළිබඳ ප්‍රශ්න වේ.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ මිතුරෙකුද..? ඔව්. ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් අවශ්‍යය. ආර්ථිකය, වෙළෙඳාම, බල ශක්තිය, සංචාරක ව්‍යාපාරය, සමුද්‍රීය ආරක්ෂාව, ආපදා සහන සහ කලාපීය ස්ථාවරත්වය යන ක්ෂේත්‍රවල ඉන්දියාව ශ්‍රී ලංකාවට වැදගත් අසල්වැසියෙකි.

ඉන්දියාව අර්බුද අවස්ථාවලදී ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගයද නොසලකා හැරිය නොහැක. එම නිසා ප්‍රශ්නය “ඉන්දියාව සමඟ සම්බන්ධ විය යුතුද..?” යන්න නොවේ. ප්‍රශ්නය වන්නේ, "ඉන්දියාව සමඟ සම්බන්ධ වන විට ශ්‍රී ලංකාව සිය ස්වෛරී තීරණ ගැනීමේ හැකියාව කොතෙක් දුරට ආරක්ෂා කරගන්නේද..?" යන්න පිළිබඳවය 

අවසානයේ ඉතිරි වන ප්‍රශ්නය

2025දී ආරක්ෂක සහයෝගීතාව සඳහා පුළුල් රාමුවක් ඇති විය. 2026දී තවත් ආරක්ෂක අවබෝධතා ගිවිසුම් තුනක් ඇති විය ඇති විය. එක් ගිවිසුමක් ශ්‍රී ලංකාවේ ගුවන් ආරක්ෂක හැකියාවට සම්බන්ධවය. තවත් ගිවිසුමක් ජාතික ආරක්ෂක අධ්‍යාපනයට සම්බන්ධවය. තවත් එකක් ශිෂ්‍ය භට බලකා අතර සම්බන්ධතාවට අදාළය.

ඊට අමතරව දෙරට අතර නාවික ආරක්ෂාව, සමුද්‍රීය නිරීක්ෂණ, ඒකාබද්ධ අභ්‍යාස, ධාරිතා වර්ධනය සහ මතු වෙමින් පවතින තර්ජන සම්බන්ධයෙන් ඒකාබද්ධ ක්‍රියාමාර්ග තව දුරටත් පුළුල් කිරීම පිළිබඳවද සාකච්ඡා වෙමින් තිබේ.

එබැවින් අද ශ්‍රී ලංකාව ඉදිරියේ තිබෙන ප්‍රශ්නය වන්නේ, ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අතට ගත්තාද..? නැත හොත්, ශ්‍රී ලංකාව සිය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ මේ තරම් ගැඹුරු සහයෝගීතාවකට යන්නේ ඇයි සහ එහි සීමාව කොතැනද..? යන්න පිළිබඳවය.

එම ප්‍රශ්නයට පිළිතුර තීරණය කළ යුත්තේ රජය පමණක් නොවේ. මේ සියල්ල ගැන පාර්ලිමේන්තුවට දැන ගැනීමටත්, විපක්ෂයට ප්‍රශ්න කිරීමටත්, මාධ්‍යයට විමර්ශනය කිරීමටත්, අවසානයේ ජනතාවට තීරණය කිරීමටත් අයිතිය තිබේ. ජාතික ආරක්ෂාව රහස්‍ය විය හැකිය. නමුත් ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තිය ජනතාවගෙන් රහසක් විය යුතුද..? ප්‍රශ්නය එතැනය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7
බෙදාගන්න