ඉතිහාසයෙන් සහ අන්තරයෙන් විදුලිය විසන්ධි කරන ලකුණු..?

(ධනනාත් ප්‍රනාන්දු) මේ දවස්වල බුකිය පෙරෙලෙන කථාව තමයි ඉතිහාසය විෂය නිර්දේශයට අනිවාර්‍ය වෙන්න ඕනද නැද්ද කියන එක සහ අන්තරය දෙකට බෙදීම. මං නං ඕක ගැන මුකුත් දන්නේ නෑ. හැබැයි මේ ඉතිහාස කතාව අස්සේ මහා…
(ධනනාත් ප්‍රනාන්දු)
මේ දවස්වල බුකිය පෙරෙලෙන කථාව තමයි ඉතිහාසය විෂය නිර්දේශයට අනිවාර්‍ය වෙන්න ඕනද නැද්ද කියන එක සහ අන්තරය දෙකට බෙදීම. මං නං ඕක ගැන මුකුත් දන්නේ නෑ. හැබැයි මේ ඉතිහාස කතාව අස්සේ මහා භයානක විදුලි බල පනතේ සංශෝධනයක් යනවා. ඒක ඒ ස්වරූපයෙන් සම්මත වුනොත් නං අනාගතේ ඉතිහාසය ඇතුලු මුලු විෂය නිර්දේෂයම පාඩම් කරන්න වෙන්නේ වැඩි විදුලි බිලක් යටතේ. අන්තරේ දෙකට බෙදුනු ඉර හොයාගන්න වෙන්නේත් කලුවරේ. අන්න ඒකයි මේ ඉතිහාස කතාවත් එක්ක මග ඇරෙන ප්‍රධාන කතාව.
ලංකාවේ ඉතාම ඉක්මනින්ම ධනවත් වෙන්න පුලුවන් ප්‍රධාන ක්‍රම 3ක් තියනවා
රජයට අයිති ඉතා වටිනා දේපලක් කුණු කොල්ලෙට ඉතා අඩු මිලට රජයෙන් මිලට ගැනීම. නිසි ක්‍රමවේදයක් නැති විනිවිධභාවයකින් තොර පුද්ගලීකරණය සහ ටෙන්ඩර් මගඩි වැටෙන්නේ මේ කොටසට
සත පහක්වත් වටින්නේ නැති දෙයක් රජයට සහලෝල ගාණකට විකිණීම. රජයට අයිති ව්‍යාපාරල වල Advertising, rebranding, brand launch, events වැටෙන්නේ මේ කාණ්ඩයට
දැන්වීම
විදුලි බල මණ්ඩලයට විදුලිය විකිණීම
ශ්‍රී ලංකාවේ ඉතිහාසය කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ ඉතිහාසය දන්න අය දන්නවා ඔය තුන්වන හේතුව නිසා මේක ප්‍රතිසංවිධානය කරන වැඩේ කරන්න ඇතුලෙන් වගේම එලියෙන් ඉඩ දෙන්නේ නෑ.
සරළවම කියනවනං පනතට ගේන අලුත් සංශෝධන වලින් වෙන්නේ වඳුර පැනපු ගමං ට්‍රිප් වෙන විදියටම සහ ඉරිදට solar off කරන්න කියන කියල ඇගට නොදැනී මේ ක්‍රමය මේ විදියට ක්‍රියාත්මක කරගෙන යාමයි. එතකොට තමයි තුන්වන ක්‍රමයට මුදල් හොයන්න පුලුවන්.
වදුර පැනපු ගමං ට්‍රිප් එක off වෙන්නේ අපේ සම්ප්‍රේෂන පද්ධතිය ඉතාම ඉතාම පසුගාමීයි. වැඩිපුර විදුලිය හැදුවොත් ඒක සමබර කර ගන්න පුලුවන් තාක්ෂණික ක්‍රම මේකෙ නෑ. ඒක නිසා වදුරෙක් පැන්නත් පද්ධතිය ට්‍රිප් වෙනවා. (මං මේ ඉතාම සරළව ලියන්නේ. ඉතිහාසය ගැන හිතන වෙලාවේ විදුලිය ගැන වැඩිය හිතන්න කියවන අයට අමාරුයිනෙ) මේ පද්ධතිය upgrade කරන්න ඇමරිකන් ඩොලර් බිලියන කිහිපයක මුදලක් ඕන වෙනවා. පනතේ අලුත් සංශෝධන වලින් විදුලිය ජනනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම කියන කොටස් තුනේම සම්පූර්න අයිතිය රජයට තියාගෙන තියනවා.
ඒ කියන්නේ මේ පද්ධතිය දියුණු කරන්න රජය ඇමරිකන් ඩොලර් බිලියන කිහිපයක් දාන්න ඕන. ඩොලර් බිලියන කිහිපයක් කියන්නේ සප්පෙක්ෂව හම්බතොට වරාය හදන්න වියදුම් වුණු මුදල වගේ 2-3 න් ගුණයක් නැත්තක් අවුරුදු 2-3 ක වාහන ගේන්න යන ඩොලර් ප්‍රමාණය. රජයට මේ වෙලාවේ විදුලිබල මණ්ඩලයට දාන්න ඩොලර් බිලියන කිහිපයක් තියා ඩොලරයක් මොනවට හරි දාන්නත් හිතන්න වෙනවා මේ 2028 සිට තියන ණය ගෙවීමේ තත්වයත් එක්ක. විදුලි බල ක්ශේත්‍රයට සල්ලි දාන්න බෑ කියන්නේ අපි ගෙවල් වල වහලවල් වල solar දාල නෙවෙයි, ගෙවල් ඇතුලේ පරමාණු බලාගාර හැදුවත් (විහිළුවක් ඈ) විදුලි මිල අඩු කරන්න හම්බ වෙන්නේ නෑ. හේතු 3ක් කියන්න කැමතියි ඇයි රජයට මේ වෙලාවේ මුදල් දාන්න බැරි කියල
රජයේ කොහොමත් තියෙන්නේ අය-වැය පරතරයක්. ට්‍රිලියන දොකක විතර. ඉතිං මේ පරතරය තියාගෙන තව ඩොලර් බිලියන 2ක් -3ක් දාන්න සල්ලි ණයට ගන්නවා කියන්නේ අය වය පරතරය තව වැඩි කරන්න වෙනවා. නැත්තං ඔය ඉතිහාසයට මොකක්ද කරන්නේ කියනවට වඩා ඔබ්බට ගිය අධ්‍යාපනයට සහ සෞක්‍යට වෙන්කරපු මුදල් වලින් අඩු කරන්න වෙනවා. ඒ වගේම අපි ඩොලර් බිලියන කිහිපයක් (ඩොලර් වලින් වේවා රුපියල් වලින් වෙවා) ණයට ගන්නවා කියන්නේ අපේ ණය බර තව වඩි වෙනවා. එහෙම කරාම අපේ Debt to GDP ratio එක වැඩි වෙනවා. (ඒ කියන්නේ අපේ ණය බර අපේ ආර්ථිකයට සප්පෙක්ෂව වැඩි වෙනවා කියන එක. තවත් සරලව කියනවකං ඇගේ උස වැඩි නොවී බඩ ඇවිල්ල ඇගේ බර විතරක් වැඩි වෙනවා කියන එක)
එතකොට credit rating එක පහලට එනවා. ඒ කියන්නේ ආයෙත් default. එහෙම නැත්තං ඔය ආයෝජනය විදුලි බිලෙන් අය කරන්න වෙනවා. අපි හිතුවොත් අවමය ඇමරිකන් ඩොලර් බිලියනයක් ඕන කියල ඒ කියන්නේ අවම ශ්‍රී ලංකා රු. බිලියන 300ක්. ලංකාවේ සාපේක්ශව විදුලි සම්භන්ධතා තියෙන්නේ මිලියන 7.2 විතර. ඒ කියන්නේ එක සම්භන්ධතාවයකට රු. 41,000 විතර වැඩිපුර ගෙවන්න වෙනවා. මේ පොලිය නැතුව. මේ මුදල් වලට හරි නං පොළියත් තව 6%-9% ක්වත් එකතු වෙන්න ඕන. ඉතිං හිතල බලන්න මේක අණ්ඩුවට කරන්න පුලුවන්ද කියල
දෙවැනි එක තමයි අපි හිතමු අපි අය වැය පරතරයට හෙන ගහපු දෙං කියල හිතල පුද්ගලික අංශයෙන් බැංකුවලින් ණයට ගන්න හදනවා කියල. Debt to GDP ratio එකට ඕන දෙයක් වෙච්ච දෙං කියල හිතුව කියමුකො . බැංකු වලට ආණ්ඩුවට ඉස්සර වගේ නෙවෙයි ණයට දෙන්න අමාරුයි.. එකට කියන්නේ single borrower limit කියල. ඒ කියන්නේ බැංකුවකට එක ආයතනයකට දෙන්න පුලුවන් ණය සීමාවක් තියනවා බැංකුවේ මුලු ප්‍රාග්ධනයට සාපේක්ෂව. (සරළවම කියනවනං මුලු බැංකුවෙම තියෙන සල්ලි ඒ කියන්නේ තැන්පත් කරුවන්ගේ සල්ලි තනි එකෙක්ට ණයට දුන්නොත් ඒක බැංකුවේ ස්තාවරභාවයට හොඳ නෑ. ඒ නිසා තනි කෙනෙක්ට දෙන්න පුලුවන් ණය සීමාවක් තියනවා. ඒක දාල තියෙන්නේ බැංකුවේ Tier 1 ප්‍රාග්ධනය සාපේක්ෂව. නැත්තම් බැංකුවේ තියන ප්‍රධාන ප්‍රාග්ධනය හෙවත් මූලිකම ප්‍රාග්ධනයට සාපේක්ෂව
සරළව කිව්වොත් John Keells එක බැංකුවෙන් ණයක් ගන්න ගියොත් John Keells එක කොච්චර හොඳ කොම්පැනියක් වුනත් කොච්චර ගෙවන්න පුලුවන් හැකියාවක් තිබ්බත් එහෙම පුලුවන් කියල පොලවේ හැපිලා කිව්වත් බැංකුවේ තියන මුලු ප්‍රාග්ධනයෙන් Tier 1 capital එකෙන් 25% වෙනකන් විතරයි ණය දෙන්න පුලුවන් මහ බැංකුවේ නියාමන නීතියට අනුව. එතකොට රජයට අයිති ව්‍යාපාරයක් මේකට ආයෝජනය කරාම ණය දෙන්න පුලුවන් සීමාව ඉක්මවා යනවා. 2030 වෙද්දි මේ සීමා තවත් අඩු කරන්න කියල තමයි කියල තියෙන්නේ. ඔය සීමා පන්නල බැංකුව ණය දුන්නොත් බැංකු පද්ධතිය අස්ථාවර වෙනවා. ඒකයි සීමා දාල තියෙන්නේ
හරි උඹල කාගෙවත් සල්ලි ඕන නෑ. අපි භාණ්ඩාගාරයෙන් treasury gurantee එකක් අරං අපි මේකට ණය ගන්නවා කියල උද්දච්ච කාට හරි හිතෙන්න පුලුවන්. [කියන්නේ භාණ්ඩාගාර ලේබ්කම් තුමා ලිපියක් දෙනවා බැංකුවට "පිස්සුද මචං පොඩ්ඩක්වත් බය වෙන්න එපා ණය ගෙව්වේ නැත්තං. භාන්ඩාගාරය ගෙවනවා මචං. ෆිට් තමයි මචං කියල තමයි ලියුමේ හරය" ]
අලුතින් 2024 ගෙනාව public debt management Act කියල act එකක්. ඒකෙ හැටියට භාණ්ඩාගාරය මොනව හරි treasury gurantee එකක් නිකුත් කරනව නං ඒකට risk assesement එකක් කරන්න ඕන. එහෙම කරල ඒකේ අවධනමට අවදානමේ හැටියට වැඩිපුර ගානක් ගෙවන්න ඕන. ඒක හරියට අපි එකම insurance scheme එක අවුරුදු18 දැම්මමයි අවුරුදු 35 දැම්මයි ගෙවන්න වෙන ගාන වැඩි වෙනවා වගේ. අවදානම වැඩි නං ගාන වැඩියි. අවදානම අඩු නං ගාන අඩුයි. ඇත්තටම ලංකා විදුලි බල මණ්ඩලය Asian Infrastructure Investment Bank එකෙන් ණයක් ගන්න ගියා ඇමරිකන් ඩොලර් මිලියන 50ක. එතකොටා ගාණ හදල කිව්ව ලංකා විදුලි බල මණ්ඩලයේ balance shet එකේ හැටියට අමතරව 4.8% පොළියක් ගෙවන්න කියල. අමතරව කියන්නේ බැංකුවෙන් දෙන පොළියට අමතරව. ඒ කියන්නෙ පොළිය 9% නං ඒකට උඩින් තව 4.8%ක් ඉතිං ඔය ගානට සල්ලි පොළියට අරං ව්‍යාපෘති කරනන්න අමාරුයි.
ඊට අමතරව අලුත් සංශෝධන හරහා දැනට යම්තාක් දුරට සාපේක්ෂව හොඳ සේවයක් ලබේ දෙන LECO එකත් ආයෙත් විදුලි බල මණ්ඩලය යටතට වැටෙනවා.
ලෝකයම පුනර්ජනනීය බලශක්තියට යන යුගයක ගල් අගුරු, සුළං සහ ඩීසල් බලාගාර සියල්ලම එකම ආයතනයකට යටතට මේ නව සංශෝධන හරහා ගන්නවා. රජය නෙවෙයි කාට අයිති වුනත් මේ ආයතන වෙන වෙනම ආයතන 4ක් විදියට තියෙන්නෙ ඕන. එකම ආයනයක ගල් අගුරුයි, සුලං බලයයි දෙකම තිබ්බම විදුලිය නිෂ්පාධනයට එන්න green financing ඔක්කොම පෑල දොරින් පැනදුවනවා.
මොකද හරිත funding දෙන්න අමාරුයි ගල් අගුරු බලාගාර මවු සමාගම ඇතුලේ තිබ්බම. හිතන්න මට සමාගමක් තියනවා. ඒ සංයුක්ත මව් සමාගමේ ගල් අගුරුවලිනුයි, සුලං වලිනුයි දෙකෙන්ම විදුලිය හදනවා. අපි green finance fund එකකට ඇවිල්ල සල්ලි ඔය කොම්පැනියට ආයෝජනය කරන්න කිව්වම ඒ අය ගිහිල්ලා ගිහිල්ල company profile එක බලනවා. මෙන්න බොලේ මේක ගල් අගුරුත් තියනවා. ගල් අගුරු තියන මව් සමාගමකට green finance කරන්න ඉතිං ආයෝජකයන්ට ට්‍රයිලෝක විජයපත්‍ර මුලින්ම දෙන්න වෙනවා.
අනිත් කාරණාව තමයි ගල් අඟුරු, ඩීසල්, ජලය සහ සූර්ය බලයෙන් අවසානය හදන්නේ වුණාට විදුලිය හදන ක්‍රමවේදය හාත්පසින් ම අහසට පොලව වගේ වෙනස්. ඒවයේ තාක්ෂණය, asset base එක, asset වල risk profile එක සම්පූර්ණයෙන් වෙනස්. ඒවා වෙන්ස් ආයතන විදියට තිබ්බම තමයි PUCSL එකට නියාමනය පහසු වෙන්නේ. සරලවම කියනවනම් අපි බස් එකයි ප්ලේන් එකයි දෙකම භාවිතා කරන්නේ ගමනාගමනයට උනාට බස් එකේ ලයිසන් එකෙන් ප්ලේන් එලවන්න අමාරුයි
සූරිය බලාගාර වලින් කොච්චර අඩුවට විදුලිය හදල අපේ මධ්‍යම පාංතිකයො විදුලියෙන් දුවන වාහන 300% බදු ගෙවල අරං ආවට ඒව නැවත charge කරන්න වෙන්නේ කාබන් විමෝචනය කරලම තමයි. මේ grid එක උප්ග්‍රේඩ් නොකර සුළං සහ සූර්ය බලයෙන් විදුලිය හැදුවට අපිට කරන්න පුලුවන් දේවල් ඉතාම සීමිතයි.
මේ ප්‍රශ්න වලට පිළිතුරු විදියට ලැබෙන්නේ අපි ගල් අගුරු, සුලං, ජලය සහ ඩීසල් බලාගාර ඉදිරි අවුරුදු 2දි තව දුරටත් වෙන් කරනවා, ඒවට guideline එන්නේ පනතෙන් පස්සේ වගේ කතාවක්. විදුලි බලය කියන මාෆියාවේ තරම දන්න අය දන්නවා අවුරුදු දෙකකින් මේක පස්සට දානව කියන්නේ කවදාවත් නොකෙරෙන්න පොටක් හදා ගන්නව කියන එකයි. ඒකෙන් කියන්නේ අනාගතය ගැන නොදන්නා දේකට කැමැත්ත දෙන්න කියල. අවුරුදු 2 කට පස්සේ කියන්නේ ඉතිං ඊලඟ ජනාධිපතිවරණ උණුසුම පටන් ගන්න කාලේ. ඔය කාලේ විදුලි බල මණ්ඩලය ප්‍රතිසංවිධානය කරන්න ටිකක් අමාරුයි කියල දේශපාලනය තේරෙන කෙනෙක්ට තේරෙනවා.
දැනටමත් ලංකාවේ විදුලි බිල සාපේක්ෂව කලාපයේ වැඩිම විදුලි බිලක් තියෙන්නේ ලංකාවේ. Port City හදනවා, ආයොජන ආකර්ෂණය කර ගන්නවා, අපනයන විවිධංගීකරණය කරනවා වගේ කතා ඉතිං මේ අලුත් විදුලි සංශෝධනත් එක්ක කරන්න අමාරුයි.
මේ පනතේ අහන ප්‍රශ්ණ වලට ප්‍රති උත්තරයක් විදියට ඇහෙන තව කතාවක් තමයි “දැනට පුද්ගලික අංශය ආයෝජනය කරනවානේ… විදුලිය ජනනයට ඉස්සරහටත් ඒක එහෙන්මම තමයි.. මේකෙන් කිසිම බාධාවක් නෑ.. ජනනයට පුද්ගලික අංශයට දායක වෙන්න අලුතෙන් හදන ආයතනයකින් ජනනයට විදුලිය තරඟකාරී ලෙස විදිලිය ඉල්ලුම සහ සැපයුම අනුව විදුලිය මිලදී ගැනීම සිදු කරනවා” කියල.
ඒකට සරල උත්තරේ තමයි දැනුත් පුලුවන්නං ඇයි එහෙනං මේක වෙනස් කරන්නේ කියන එක. ඇත්තටම වෙන්නේ අලුතින් බලාගාර හදන්න පුද්ගලික අංශයට දැන් වගේම පුලුවන් වුණාට ග්‍රිඩ් එක උප්ග්‍රේඩ් නොකර වැඩිපුර විදුලිය පද්ධතියට ගන්න බෑ. ඒකට බැටරි වලට සහ ග්‍රිඩ් එක upgrade වෙන්න ඕන. ඒක කරන්න පුලුවන් ආයෝජන වලින් විතරයි. එතකොට විදුලි ඉංජිනේරු මහත්වරු කියනවා පුනර්ජනනීය බලය හැදුවට ගන්න ග්‍රිඩ් එක stable නෑ ඒක නිසා ඉරිදට සූර්‍ය බලය එපා කියල.
නැත්තං අම්බෝ පුනර්ජනන බලය නිතරම වෙනස් වෙනවා අපිට ස්තාවර කරන්ට් එකට ගල් අගුරු සහ ඩීසල් වලින් හදන විදුලිය ගන්න වුනා කියල කියනව. එතකොට වැඩිවෙන මිලට අනුව ඒක බිලට එකතු කරන්න පුලුවන්.
ඒ වගේම මේ පනතින් පොඩ්ඩක් හරි රජයට අයිති ඒකාධිකාරයට අභියෝග කරන්න ඉන්න මහජන උපයෝගීතා කොමිසම මුදල් අමාත්‍යංශයට දැනුම් දීලා තමයි විදුලි බිල අඩු වැඩි කරන්න ඕන.
තවත් ඇහෙන කතාවක් තමයි මේ රජයම ආයෝජනය කරල රජය යටතෙම තියාගන්න එක ප්‍රතිපත්තිමය තීන්දුවක් ඒක වෙනස් කරන්න බෑ කියන එක. ප්‍රශ්නය තියෙන්නේ ගොම කලේකට අපි කිරි කලයක් කියන්න ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තට ගොම ටික කිරි වෙන්නෙ නැති එක. ආයෝජන නැතුව මේක කරන්නත් බැරිනං රජයට ආයෝජනය කරන්න සල්ලිත් නැතිනං, සල්ල් ගන්න පාරවලුත් වැහිලනං දැං මොකද අපේ ප්‍රතිපත්තිමය තීරණයේ තියන ප්‍රයෝජනය.
මං කියන දේ විශ්වාස කරන්න එපා. හොයල බලන්න මේ පනතට ගේන අලුත් සංශෝධන හොඳයි කියන්න ඉන්නේ කවුද කියල.. හොඳයි කියන්න ඉන්නේ මේක හදපු කිහිප දෙනෙකුයි, මේකෙන් විශාල බලයක් යන වෘත්තීය සමිති කිහිපයකුයි, මේකෙන් වාසි ගන්න පුලුවන් ආයතන කිහිපයක් සහ කිසිම මේ ගැන අවබෝධයක් නැතුව දේශපාලන පක්ෂය අනුව කොඩිය වනන අය විතරයි.
ඇගලුම් කර්මාන්ත කරුවන් මේක අවුල් කියල කියල තියනවා. රටේ ප්‍රධාන ව්‍යාපාරික ලෝකයම සහ වාණිජ සංගම් මේක අවුල් කියල කියල තියනවා. පුනර්ජනනීය බලශක්තියේ ඉන්න ආයතන මේක අවුල් කියල කියල තියනවා. දූෂණයට ඉඩ නොදෙන ජපානය මූලික කරගත්ත JICA. එක, පුනර්ජනණීය බලශක්තියට සහය දෙන අපේ කලාපයේ වැඩිම ආයෝජනයක් ජපානය දරණ ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank) සහ ලෝක බැංකුව (Wold Bank) මේ සංශෝධන අවුල් කියල ලිපියකින්ම අමුවෙන් රජයට දැනුම් දීල තියනවා. ඔය බහු පාර්ශ්වික ආයතන තමයි අපිට මූලික වශයෙන් මොන රජය තිබ්බත් මුලික ආධර දෙන ආයතන ටික. ඒ අයගේ සල්ලි වලින් තමයි මුලු රජයේම මහ පරිමාණ සංවර්ධන වැඩ ටික යන්නේ.
මේ තර්ක වලට උත්තර නැති වුණාම පොඩ්ඩක් උපහාසෙට වගේ තර්කනයෙන් ගහන්න හදන එකක් තමයි “ආ දැං ඔය පෙට්‍රල් ඩීසල් වලට අපි තරඟකාරීත්වය ගෙනාව කෝ මිල අඩු වුණාද? ඒක නිසා මේ තියන විදිය හොඳයි” කියන එක. ආතල් එකට පැනල යන්න ඒක ආතල් බොරුවක් වුනාට ඇත්ත කතාව තමයි ආණ්ඩුව ඛණිජ තෙල් විකුනන්න ගිහිල්ලා ලබපු පාඩු වලින් ගත්ති ණය පියවන්න හැම තෙල් ලීටරයකටම බද්ධක් දල තියනවා. ඒක පසුගිය රජය කාලේ ඉඳන් එන බද්ධක්
ඒ බද්ධ Sinopec එකයි Lanka IOC එකයි ඔක්කොම ගෙවන්වා. ඒ වගේම මුල් කාලයෙදි මිල අතින් ගත්තන් රුපියල් කිහිපයක් අඩුවෙන් තමයි Sinopec එක විකුනුවේ. ඒ වගේම මේ දවස්වල කාගේ කාලෙද Sinopec එක තෙල් පිරිපහදුවකට ආයෝජනය කරේ කියල කතා කරාට Sinopec එක මෙහේ තෙල් බෙදා හරින්නේ නැතුව මේ පිරිපහදුවක් දාන්න එන්නේ නෑ කියලත් ආතල් එකට දාන අයට මතක් කරන්න ඕන. ඒ වගේම ආර්ථික අර්බුදය කාලේ ආණ්ඩුවේ ශෙඩ් වල තෙල් නැති වෙන කොට තරමක් හරි තෙල් තිබ්බේ Lanka IOC එකේ කියලත් පොඩ්ඩක් මතක් කරන්න ඕන.
ඒ වගේම ශෙඩ් එක එක්කම super market තියන, ශෙඩ් එකේ digital meteres තියන, ශෙඩ් එකේ කාන්තාවකට යන්න පුලුවන් වැසිලිකියක් තියන තත්වයට මේක ඉහළට ආවේ තරඟකාරීත්වය එක්ක තරඟකාරීත්වය නිසා මිල අඩු වෙන හැටි තවත් බලන්න පුලුවන් Starlink ආවට පස්සේ අනෙක් දුරකතන සමාගම් දැන් මිල ගනන් වලට යෝජනා කරන සංශෝධන වලින්.
මේ සටහන කියවලා ඔබට පොඩ්ඩක් හිතෙන්න පුල්වන් මේක ආණ්ඩුවට විරුද්ධව නේද ලියල තියෙන්නේ කියල. ඒක තීරණය වෙන්නේ ඔබ විරුධයි කියල නිර්වචනය කරන්නේ කොහොමද කියන එක මතයි.
මේ සංශෝධන වල දේශපාලන වන්දිය ගෙවන්න වෙන්නේ මේ රජයට සහ ජනාධිපතිතුමාටමයි. මේකෙන් එතුමා ජාත්‍යන්තර බහු පාර්ශ්වීය ආයතන, කර්මාන්ත කරුවන් පලවෙනි වටයෙන් තරහ කර ගන්නවා. දෙවැනි වටයෙන් විදුලි බිල වැඩි වෙද්දි ඒකට දේශපාලන ප්‍රතිවාදීන්ට උත්තර දෙන්න වෙන්නේ ජනාදිපතිතුමාටමයි. පනතට සංශෝධන ගේන්න කියල එලියට ඇවිල්ල කතා කරන කවුරුත් විදුලියේ මිල වැඩිවෙද්දි ඒකට එලියට ඇවිල්ල කතා කරන්නෙ නැති බව මතක තියා ගන්න ඕන.
ඒ වගේම ඊට පස්සෙ එන වෘත්තීය සමිති වල තමන්ගේ උද්ගෝෂණ රැල්ලටත් තනියම තමයි මුහුණ දෙන්න වෙන්නේ. ඒ දේශපාලන බරත් ගන්න වෙන්නේ මේ රජයටමයි. ගෝඨාභය රාජපක්ෂ රජය කාලෙත් මේ වගේම අපි අනතුරු ඇගෙව්වා නැගෙනහිර පර්‍යන්තය ගැන තීරණ අරං සල්ලි අච්චු ගහද්දි. එතකොට එතුමව වට කර ගත්තේ සල්ලි අච්චු ගැහුවට උද්ධමනය වැඩි වෙන්නේ නෑ. මිල පාලනය දාල බඩු මිල පාලනය කරන්න පුලුවන් කියපු අය. ඒ කාලෙත් අපි ඔය ගැන අනතුරු ඇගවීම් කරද්දි ගැබුර තේරුම් ගත්තේ නෑ. Port City බලන්න මිනිස්සු ආවම ඒක පෙන්නල ඇහුව මොන ආර්ථික අර්බුදයක්ද කියල. අවසානෙට සල්ලි අච්චු ගහල උද්ධමනය වැඩි වෙලා, ණය ගෙවීම් පැහැර හැරිලා, මිනිස්සු පාරට ආවම එදා සල්ලි අච්චු ගැහුවම උද්ධමනය එන්නේ නෑ කියපු කවුරුත් එතුමාගේ ලඟ හිටියේ නෑ.
විදුලි බල පනතට ගේන නව සංශෝධන ගැන අපි පර්‍යේෂණ පත්‍රිකාවක් කරල ඒක සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකෙන්ම පරිවර්තනය කරල තියනවා. ඒක රජයේ සහ මේ ගැන දන්න හැමෝට යවල තියනවා. ඒ අර්තයෙන් මේ සංශෝධන වල ඇති බරපතලකම අවබෝධකරගෙන මේකට අත උස්සන්න ඒ අයට බාරයි.
ඉතිහාසය විශය නිදේශයට අත්‍යාවශ්‍ය සහ අන්තරේ දෙකට බෙදුනද කියන සාකච්ඡාව ඉවර වෙද්දි ඔබේ විදුලිය විසන්ධි වෙන්න හෝ විදුලි බිල වැඩි වෙන්න පුලුවන්. එහෙම වුනොත් අධ්‍යාපන ප්‍රතිසංකරණ වලින් ගේන අලුත් අධ්‍යාපන විශය නිර්දේශ කියවන්න වෙන්නේ කලුවරේ ඉඳන්. මේ සංශෝධන නරක ඇයි කියල ලියන්න තව හේතු ගොඩක් තිබබත් ලිපිය දිග වෙනවා සහ සමහර ඒව ආර්ථික පථයෙන් ඈතයි