අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආර්ථිකය ගොඩනැගීම දුෂ්කර නෑ -රවී-

ආර්ථිකය ගොඩනැගීම දුෂ්කර නෑ -රවී-

අර්බුදයෙන් ගොඩයන්න ගැලපෙන නායකයා ජනාධිපති රනිල් ආර්ථිකය සංකෝචනය කරන ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕන හන්දි ගානේ කෑ ගැහුවට ආර්ථිකය හදන්න බෑ ජනතාව සියලු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර තිබෙන අවස්ථාවක් මතුව ඇති…

අර්බුදයෙන් ගොඩයන්න ගැලපෙන නායකයා ජනාධිපති රනිල් 

ආර්ථිකය සංකෝචනය කරන ප්‍රතිපත්ති  වෙනස් වෙන්න ඕන

හන්දි ගානේ කෑ ගැහුවට ආර්ථිකය හදන්න බෑ

ජනතාව සියලු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර තිබෙන අවස්ථාවක් මතුව ඇති බවත්  ජනතාවගේ විශ්වාසය දිනා ගෙන ඇද වැටී තිබෙන ආර්ථිකය නිවැරදි මාර්ගයට ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණය බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. මෙරට ආර්ථිකය ගොඩගැනීම කළ නොහැකි දෙයක් නොවන බවත් ඊට අවශ්‍ය සැබෑ  වුවමනාවක් බවත් ඔහු පෙන්වා දෙයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ සෙනසුරාදා ( 26) කොළඹ පැවති දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වන ජන්මදින සැමරුමට එක්වෙමිනි.

කොළඹ පිහිටි දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු  මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩි දුරටත් සඳහන් කර සිටියේ මේ දුෂ්කරම අවස්ථාවේ රට ඉදිරියට ගෙනයා හැකි නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන බවය.

දැන්වීම

මතුව ඇති තත්ත්වය හමුවේ  රට ඉදිරියට ගෙනයාම ලේසි පහසු කටයුත්තක් නොවන නමුත්, එම කටයුත්ත වෙනුවෙන් නිවැරදි මාවතට මේ වන විටත් යොමුව ඇති බවක් පෙන්නුම් කරන බවද ඔහු පැවසීය.

රට ඉදිරියට ගෙන යන කටයුත්තේදී දිවංගත ලලිත් ඇතුලත්මුදලි දර්ශනය අතිශය වැදගත් වන බව සදහන් කළ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ආර්ථිකය, වරාය සහ නාවුක ක්ෂේත්‍රයේ සංවර්ධනය සේම මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය ඇතුළු ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා රටට සිදු කළ මෙහෙය සම්බන්ධයෙන්ද සිහිපත් කළේය.

"දේශපාලනයේ පුදුම කුහකකම් ඇවිත් තියනවා. ඒක නැති කරන්න ඕන . කරන්න පුළුවන් අය පැත්තකට දාලා කරන්න බැරි අය ඉදිරියට අර ගෙන ගිහිල්ලා කරපු දේවල්වල ප්‍රතිඵල තමයි, අද  මේ භුක්ති විඳිමින් තියෙන්නේ. ඒක නිවැරදි කරන එක අපි කරන්න ඕන."

අරගලය නමින් දිනපතා ඇති විරෝධතා සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් මාධ්‍ය සිදු කළ විමසීමකටද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රතිචාර දැක්වීය.

"රටට මුලින්ම විනයක් අවශ්‍යයි. ඒ විනය තුලින් තමයි රටක් ඉදිරියට ගෙනි යන්න පුළුවන් වෙන්නේ. කෝලම් මඩුවක් වගේ රට ඉදිරියට ගෙනි යන්න බෑ.  අපේ රට නිදහස ලබලා අවුරුදු 74ක්. නමුත් අපි තවමත් ආර්ථික නිදහසක් ලබලා නෑ. අපි මේ ගැන දිගටම කතා කළා. හැමදේම නිකන් දෙන්න ගිහිල්ලා, ඒවායේ ප්‍රතිවිපාක විඳින්න වෙලා තියෙන්නේ."

"අහිංසක ජනතාවට තව දුරටත් දුක් විඳින්න නොදී සියලු දෙනාම එකතු වෙලා රට හරි පාරට ගන්න ඕන. කතාව විතරක් මදි. ක්‍රියාවත් තියෙන්න ඕන.  අරගලය කියන්නේ පශ්න නිසා පීඩාවට පත්වූ ජනතාවගේ සිතීම එලියට ආපු අවස්ථාවක්. අරගලය පාවිච්චි කරන්න අවශ්‍ය එහි පාඩම හරියට ඉගෙනීමට මිසක් හැම හන්දියක් ගානේ කෑ ගසා ප්‍රශ්න ඇති කරලා රටක් ඉදිරියට ගෙනියන්නේ කොහොමද..?

"සියයට 30-32 පොලී අනුපාත එක්ක රටක් ඉදිරියට ගෙනියන්න බෑ. කෑ ගැහුවා කියලා පොලි අනුපාත අඩු වෙනවා නම් කෑ ගහහ ඉමු.  අපි මෑතකදී සංවර්ධනය වූ රටවල් ගැන කතා කරනවා. නමුත් ඒ රටවල් එම තත්ත්වයට එන්න සිදු කළ කැපවීම් ගැන කතා කරන්නේ නෑ."

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහිදී පෙන්වා දුන්නේ සියයට 30 - 32 වැනි ඉහළ පොලී අනුපාතයක් සමඟ රටට ඉදිරියට යාම දුෂ්කර බවත් ඒ තුළ ආර්ථිකය තව දුරටත් හැකිළීයාමක් සිදු වන බවත්ය.

"සියයට 30- 32 ඉහළ පොලී අනුපාතය සමඟ රටක් ඉදිරියට ගෙනියන්නේ කොහොමද..? මේ රටේ උද්ධමනය පාලනය කරන්න කියලා කරපු දෙයින් රටේ ආර්ථිකය සංකෝචනය කිරීමක් වෙන්නේ. ඒ තුල ජනතාව පීඩාවට ලක්කරලා. සුළු හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන් යටපත් කරලා,රට ඉදිරියට ගෙනියන්න බෑ. ඒ ගැන හිතන්න ඕන. මානුෂීයව මේ දිහා බලන්න ඕන"

එසේම රටේ ආර්ථිය තව දුරටත් නිවැරදිව ඉදිරියට ගෙනයන මාර්ගය සම්බන්ධයෙන් ඉදිරියේදී මැදිහත්වීමක් සිදු කිරීමේ සූදානම සම්බන්ධයෙන්ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අදහස් දැක්වූ අතර අර්බුදයෙන් රට ගලවා ගෙන ඉදිරියට ගෙන යාමට සියලු දෙනා එකමුතුව කැප විය යුතු බවත් පෙන්වා දුන්නේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ආර්ථිකය ගොඩනැගීම දුෂ්කර නෑ -රවී- | Lanka Newsweek