අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ආගමික උමතුව පරදවන්න මුළු ලෝකයම පෙරට ආ යුතුයි

ආගමික උමතුව පරදවන්න මුළු ලෝකයම පෙරට ආ යුතුයි

ආගමික උමතු අන්තවාදය පරාජය කිරීම සඳහා සියලු ලෝක වාසීන් එකට එක් විය යුතු කාලය එළැඹ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි. ප්‍රියන්ත කුමාර සොයුරාගේ ඝාතනයෙන් සහ…

ආගමික උමතු අන්තවාදය පරාජය කිරීම සඳහා සියලු ලෝක වාසීන් එකට එක් විය යුතු කාලය එළැඹ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.

ප්‍රියන්ත කුමාර සොයුරාගේ ඝාතනයෙන් සහ පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන අන්ත වාදී බෝම්බ ප්‍රහාරයෙන් ඒ බව මනාව තහවුරු වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දී සඳුදා (06) පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවට එක් වෙමින් කියා සිටී අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

"පක්ස්ථානයේදී ම්ලේච්ඡ ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර සොහොයුරාගේ දේහය මේ වන විට ශ්‍රී ලංකාවට රැගෙන ඇවිත් තිබෙනවා. ශ්‍රී ලංකාවේ සහ බොහෝ රටවල ආගමික උමතු අන්තවාදය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ අන්තවාදය මොන තරම් ම්ලේච්ඡද..? මිනිසුන් ඝාතනය කරන්න, ඝාතනය කර ගිණි තබන්න, ගිණි තබා ඔල්වරසන් දෙන්න තරම්ම උමතු ම්ලේච්ඡ තැනකට අන්තවාදය තල්ලුවී තිබෙනවා. 

දැන්වීම

ප්‍රියන්ත කුමාර සොහොයුරාගේ ඝාතනයෙන් පෙන්නුම් කරන්නේ අපේ රටේත් ලෝකයේත් මානව වාදයට ගරු කරන, මිනිස් සංහතියේ අනාගතය ගැන විශ්වාස කරන සෑම දෙනාම උමතු ම්ලේච්ඡ අන්තවාදයට එරෙහිව පෙරට ආ යුතු බවයි. ආගමික නායකයින්ට මෙහිදී විශාල කාර්යභාරයක් තිබෙනවා. සෑම ආගමක්ම සිය අධ්‍යාත්මයේ හිත සුව පිණිස නිර්මාණයවී තිබුණත් ඒ ආගම්වලට මුවාවී අන්තවාදයේ දිශාවට ගමන් කිරීම නිසා මෙවැනි ඝාතනයන් සිදු කරමින් තිබෙනවා. 

අප එම ඝාතනය පිළිබඳව සංවේගය පළ කරනවා වගේම පාර්ලිමේන්තුවේදී මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් පාර්ලිමේන්තවේ ඇති වුණු විශේෂ තත්ත්වයක් හේතු කොට ගෙන ඒ අවස්ථාව වැළකී ගියා. පාකිස්ථාන රජය මෙම අපරාධකරුවන්ට උපරිම දඬුවම් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. ඒ වගේම පාකිස්ථානයේ ජීවත් වන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ රැකවරණය සහතික කළ යුතුයි. මෙහිදී ශ්‍රී ලංකා රජයට කාර්යභාරයක් තිබෙනවා. පාකිස්ථානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්න පාකිස්ථානු රජය සූදානම් නොවන්නේ නම් එහි සිටින ශ්‍රී ලාංකිකයන් වහාම මව්බිමට කැඳ විය යුතුයි. මෙවැනි ම්ලේච්ඡ ඝාතනයකට කිසිදු ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලක් නොවිය යුතුයි. 

මෙවැනි අන්තවාදී උමතුවකට මීට පෙරත් ශ්‍රී ලංකාව මුහුණ දුන්නා. 2019 අප්‍රේල් 21 වැනිදා ආගමික අන්තවාදයේ උමතුව පාස්කු ප්‍රහාරය හරහා සමාජයට නිරාවරණය වුණා. එහිදීී විශාල පිරිසක් ඝාතනයට ලක්වී තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත් වුණා. ශ්‍රී ලාංකිකයින් කිසිවෙකු ආගමික අන්තවාදයේ උමතුවට තවදුරටත් ගොදුරු නොවිය යුතුයි. ඒ වගේම යළි විවිධ අන්තවාදී ඝෝෂාවන් රට අභ්‍යන්තරයේ කරළියට එන බව පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකා රජයටත්  පුරවැසියන්ටත් අන්තවාදය පරාජයට පත් කිරීම සහ මර්දනය කිරීම සඳහා විශේෂ කාර්ය භාරයක් සිදු කළ යුතුව තිබෙනවා. 

ප්‍රියන්ත කුමාර සොහොයුරාගේ වෘත්තීයමය හැකියාව සහ දක්‍ෂතාවය පකිස්ථානයේ කර්මාන්ත ශාලාවල දියත් කරමින් තිබුණා. එවැන්නෙක් තමයි මේ ම්ලේච්ඡයන්ගේ ගොදුරු බවට පත් වුණේ. අපේ රටේ බලය ලබා ගැනීම වෙනුවෙන් සහ බලය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් මෙවැනි අන්තවාදයන් නිදැල්ලේ ක්‍රියාත්මක වීමට ඉඩදී තිබුණා. පක්‍ෂයක් හැටියට අපගේ සංවේගය ප්‍රියන්ත කුමාර සොහොයුරා වෙනුවෙන් පළ කරනවා වගේම ආගමික අන්තවාදයේ උමතුව පරාජය කිරීම සඳහා අපේ පැත්තෙන් ගත හැකි උපරිම  ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම පාකිස්ථාන් රජයට අපි නැවත නැවතත් බල කර කියා සිටින්නේ මෙම අපරාධකරුවන්ට උපරිම  දඬුවම් ලබා දෙන ලෙසයි. ඒ වගේම මෙවැනි අන්තවාදයන් පරාජය කිරීම සඳහා එකට එකතු වන ලෙස  ලෝක වාසීන්ට අප ආරාධනය කරනවා." 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න