අර්බුදය විසඳා රට ගොඩනගන හැටි මෙන්න..!

සිවිල් සමාජය සටන අතට ගනී මර්දනය නවතනු..! සති තුනකින් 20 අහෝසි කරනු..! ඒකාධිපති විධායකය අහෝසි කරනු ජනතාව පිළි ගන්නා ආණ්ඩුවක් පිහිටුවා ජනතාට සහන ලබාදීම විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ වගකීමක් -සිවිල්…
සිවිල් සමාජය සටන අතට ගනී
මර්දනය නවතනු..!
සති තුනකින් 20 අහෝසි කරනු..!
ඒකාධිපති විධායකය අහෝසි කරනු
ජනතාව පිළි ගන්නා ආණ්ඩුවක් පිහිටුවා ජනතාට සහන ලබාදීම විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ වගකීමක්
-සිවිල් සමාජයේ සාමූහික ප්‍රකාශය-

නිරායුධව විරෝධතා දක්වන ජනතාවට වෙඩි තැබීම තරයේ හෙලා දකිමු. ඒ සඳහා කඩිනම් අපක්ෂපාත පරීක්ෂණයක් සිදු කරන ලෙස අවධාරණය කර සිටිමු.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ වන විට සිය තීරණ වැරදි බව පිළි ගෙන ඇත. එබැවින් සමස්ත ආණ්ඩුව ඉල්ලා අස් විය යුතුය යන ජනතා ඉල්ලීමට ගරු කිරීමට ඔවුහු බැඳී සිටිති. එමෙන්ම, විපක්ෂය සිය ජාතික වගකීම ඉටු කරමින් වර්තමාන අර්බුදය විසඳා ගැනීමට සිය දායකත්වය ලබා දිය යුතුය.
දැන්වීම
බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ජන අරගලයේ නියුතු තරුණ ප්‍රජාව ප්‍රමුඛ මහ ජනතාව සමඟ පෙළ ගැසෙමින්, ශ්‍රී ලාංකික සිවිල් සමාජ ප්‍රජාව වශයෙන් මෙම ප්‍රකාශය ඉදිරිපත් කර සිටිමු.
උද්ගතව ඇති සමාජ සහ දේශපාලන අර්බුදය, ඊට දක්වන සෑම ප්‍රතිචාරයකටම වඩා වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. යම් හෙයකින් වීදි බැස විරෝධය දක්වන සහ එම මතය සමඟ එකඟ වන අති මහත් ජනතාව ගෙන යන අරගලයට සාමකාමී සහ ව්‍යවස්ථානුකූල විසඳුමක් ලබා දීමට අසමත් වුව හොත් එම තත්ත්වය සමස්ත නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයටම එරෙහි සටනක් දක්වා පරිණාමයවීමට පවා ඉඩ තිබේ.
එබැවින්, ජනතාව පිළි ගන්නා විසඳුමක් වෙත සියලු දේශපාලන පක්ෂ, එම නායකයින් සහ පාර්ලිමේන්තු නියෝජිතයන් ජනතාවට කන් දිය යුතුය. දේශපාලන ස්ථාවරත්වය ඇති කර ජනතා වගේ පීඩනය සමනය කිරීම පිණිස පාර්ලිමේන්තුවෙන් විසඳුමක් ලබා දිය යුතුව ඇත.
ඒ අනුව, වර්තමාන දේශපාලන අර්බුදය විසඳීමට ජන මතය සමග අනුගත කඩිනම් විසඳුමක් ලබාදීම බලධාරී සියල්ලන්ගේ පරම වගකීමකි. ඒ සඳහා සිවිල් සමාජයේ සහයෝගය යෝග්‍ය පරිදි ලබා දීමට අපි සූදානම්ව සිටිමු. ශ්‍රී ලංකා ජන රජයේ යහ පැවැත්ම සහ ජනතාවගේ සුභ සිද්ධිය අරමුණු කර ගනිමින් අත්‍යවශ්‍ය වන ප්‍රතිසංස්කරණ යෝජනා පහත ඉදිරිපත් කරමු.
1. සාමකාමී ජනතා විරෝධයට එරෙහිව රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ඍජුව හෝ වක්‍රව භාවිත නොකළ යුතුය.
2. දැනට පවතින 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර, යළි පාර්ලිමේන්තුවට බලය පැවරෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය හඳුන්වා දීම සහ එම සංශෝධනය කඩිනමින් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ. එහි පළමු පියවර වශයෙන් 19+ ව්‍යස්ථා සංශෝධන සති 3ක කාල රාමුවක් ඇතුළත සිදු කළ යුතුය. මේ කාර්යට වහා උරදීම වර්තමාන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රමුඛ කාර්යය වේ.
3. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ ඒකරාශී වී තාවකාලික පාලනයක් ස්ථාපිත කිරීම ආණ්ඩු පක්ෂයේ සේම විපක්ෂයේ ද පරම ජාතික වගකීමකි. එමගින් දේශපාලන ස්ථාවරත්වය සඳහා අවශ්‍ය පදනම සම්පාදනය කළ යුතුය. එම පාලනය විසින් කැබිනට් මණ්ඩලක් පත් කළ යුතු අතර, විවිධ විද්වත්, වෘත්තීය සහ සිවිල් පාර්ශව විසින් ඉදිරිපත් කර ඇති විවිධ යෝජනා අනුව අවම පොදු ආර්ථික වැඩ පිළිවෙළක් සම්පාදනය කළ යුතුය.
4. වර්තමානයේදී ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති, දැඩි ආර්ථික දුෂ්කරතාවන් හඳුනා ගනිමින්, ඊට කඩිනම් විසඳුම් ලෙස සහනාධාර ලබා දීම පිණිස පූර්ණ සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සම්පාදනය කර ක්‍රියාවට නැංවීම යෝජිත කෙටි කාලීන ආණ්ඩුවේ වගකීමකි.
5. ජනතා පිබිදීම මගින් ප්‍රකාශ කෙරෙන ගැඹුරු පණිවුඩය අවබෝධ කර ගනිමින්, පුළුල් ජනතා සහභාගිත්වයක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ආරම්භ කළ යුතුය. එමගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ සියලු සිවිල්, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික අයිතීන් තහවුරු කළ යුතුය.
