අර්බුදය විසඳන හැටි කරූ පැහැදිලි කරයි

අවම පොදු වැඩ පිළිවෙළක් ඕනෑ සියලු දේශපාලන පක්ෂ ඊට එකඟ විය යුතුයි නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි ගෙවුම් ශේෂ අර්බුදය විසඳන්නේ මෙහෙමයි නව ව්‍යවස්ථාවෙන් පසු වහාම මහා මැතිවරණයක් ඕනෑ ජනපතිගේ ආරාධනය ඵල රහිතයි රටේ…
අවම පොදු වැඩ පිළිවෙළක් ඕනෑ
සියලු දේශපාලන පක්ෂ ඊට එකඟ විය යුතුයි
නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි
ගෙවුම් ශේෂ අර්බුදය විසඳන්නේ මෙහෙමයි
නව ව්‍යවස්ථාවෙන් පසු වහාම මහා මැතිවරණයක් ඕනෑ
ජනපතිගේ ආරාධනය ඵල රහිතයි
රටේ උද්ගත වී ඇති උග්‍ර අර්බුදකාරී තත්ත්වය හමුවේ රට වෙනුවෙන් වූ අවම පොදු වැඩ පිළිවෙළක් සහිත පොදු එකඟත්වයකට යොමු වීම සියලු දේශපාලන පක්ෂවල වගකීම, යුතුකම සහ කාර්ය භාරය වන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
රට මුහුණ දී සිටින දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුදය විසඳන ආකාරය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
වර්තමානයේ රට මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදයට විසඳුම ලෙස සිය ආණ්ඩුවට එක් වන්නැයි ගරු ජනාධිපතිතුමා විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවලට ඇරයුම් කර තිබේ. රට මුහුණ දී ඇති අර්බුදයේ දැවැන්ත ගැඹුර සැලකීමේදීත්, රටේ ජනතාව එක හඬින් ඉල්ලා සිටින ප්‍රධානතම කරුණ ගැන අවධානය යොමු කිරීමේදීත් එම ඉල්ලීම සැලකිය හැක්කේ පළදායක නොවන ඉල්ලීමක් ලෙසටය.
දැන්වීම
එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ මොහොතේ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අන් සියල්ලටම පෙර මේ රටේ සාතිශය බහුතර ජනතාවගේ ඉල්ලීමට සාවධානව ඇහුම්කන් දෙන ලෙසටය. එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගෙන් සහ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ රට මුහුණ දෙමින් සිටින අර්බුදයේ ගැඹුර මැනවින් තේරුම් ගනිමින් එම තත්ත්වය හමුවේ රට අරාජික වීම වැලැක්වීම සඳහා නොපමාව පොදු සම්මුතියකට එළඹෙන ලෙසටය.
එකී සම්මුතිය හුදු සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් හෝ මේ රටේ එක්තරා සීමිත පවුල් කණ්ඩායමක පාලනයක් වෙනුවෙන් නොවිය යුතුය. පළමුව රට මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදය සමහන් කර ගනිමින් ඒ සමඟම නොපමාවම රාජ්‍යයේ සහ ආණ්ඩුකරණයේ මූලික ප්‍රතිසංස්කරණ සඳහා වන වැඩ පිළිවෙළක් වෙනුවෙන් එකී සම්මුති ගත වීම සිදු විය යුතුව ඇතැයි යන්න අපගේ බලවත් විශ්වාසයයි.
ඒ අනුව අපගේ ප්‍රථම යෝජනාව වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් හෝ එකඟත්වයෙන් තාවකාලික භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම මැනවැයි යන්නය. එම භාරකාර රජයේ ප්‍රථම කාර්යය විය යුත්තේ රටේ ව්‍යාවස්ථාදායකය දුර්වල කරමින් සහ අකර්මණ්‍ය කරමින් එක් පුද්ගලයෙක් වෙත අසීමිත බලතල කේන්ද්‍ර කර ගෙන ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමය. එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයෙහි හඳුනා ගෙන ඇති දුර්වලතා ඉවත් කරමින් එහි මූලික පදනම මත ගොඩනැගෙන 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යොමු වීමය.
අනතුරුව සිදු විය යුතු කඩිනම් පියවර විය යුත්තේ රට මුහුණ දී ඇති ගෙවුම්ශේෂ අර්බුදය සහ එම අර්බුදය හේතුවක් ද කර ගනිමින් පැන නැගී ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා දේශීය සහ විදේශීය විශේෂඥ වරුන්ගේ සේම විශේෂඥ ආයතනයන්හි සහයෝගය ලබා ගනිමින් නිසි විසදුම් සපයා ගැනීමය. පැහැදිළිවම ඒ සඳහා යොදා ගත යුතුව ඇති නිශ්චිත වැඩ පිළිවෙළ සහ කාල රාමුව රට හමුවේ ප්‍රකාශ කිරීම එහිදී අතිශයින්ම වැදගත්ය.
එහි තෙවන පියවර විය යුත්තේ භාරකාර රජය බලයට පත්වීමෙන් මාස 12ක කාලයක් සම්පූර්ණ වීමට පෙර රටේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උදෙසා යොමු වීමය. එහිදී මූලික වගකීම වනු ඇත්තේ අසීමිත සහ අත්තනෝමතික විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමය පදනම් කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ජනතා පරමාධිපත්‍යය, රටේ ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාවය, රටේ ඒකීය භාවය සහ ජනතාවගේ මූලික අයිතීන් ආරක්ෂා කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමය.
එහිදී මේ රටේ ජනතාවගේ අදහස් සහ යෝජනා ද පාදක කර ගෙන එම ව්‍යවස්ථා සම්පාදන කටයුත්ත සිදු කිරීම අත්‍යාවශ්‍යය. භාරකාර රජයේ මූලික වගකීම සහ කාර්යභාරය එපමණකට සීමා විය යුතුව ඇතැයි යන්න අප සංවිධානයේ ස්ථාවරය වන අතර, එම කාර්ය සම්පූර්ණ කිරීමත් සමඟ නව රජයක් බිහි කර ගැනීම උදෙසා රටේ පුරවැසියන්ට අවස්ථාව ලබා දෙමින් වහාම මහ මැතිවරණයකට යොමු විය යුතුව තිබේ.
මෙකී තෙවදෑරුම් යෝජනා අප විසින් රටේ සියලුම දේශපාලන පක්ෂවලට සහ සමස්ත මහ ජනතාව වෙත යොමු කරන්නේ ඉතාමත්ම සද්භාවයෙනි. එමගින් අප අපේක්ෂා කරන්නේ රටේ ජනතාව මුහුණ දෙමින් සිටින අනේකවිධ දුෂ්කරතාවලින් ඔවුන් මුදවා ගැනීම සඳහා වන මාවතකට යොමු වීම සේම රටේ යහ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතුව ඇති දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවම වැඩ පිළිවෙළක් සහිත පොදු එකඟත්වයක් ඇති කර ගැනීමටය.
එමෙන්ම මෙම යෝජනාවට පදනම් වූ කරුණු මුල් කර ගනිමින් ඒ ඒ දේශපාලන පක්ෂ යෝජනා කරන අදහස් සහ යෝජනා ද රටට ඉදිරිපත් කරමින් මේ රටට ආදරය කරන, රටේ මතු අනාගත පරපුරේ යහපත සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන සියලුම බලවේග නොපමාව පෙරට ආ යුතුව ඇතැයි යන්න අපගේ ඒකායන අපේක්ෂාවය.