අර්බුදයේ දිග-පළල-ගැඹුර ගැන ජනපතිට මෙලෝ අවබෝධයක් නැහැ

ජාතිය ඇමතීමෙන් ඒ බව මානව හෙළි වුණා ජන පීඩක ආණ්ඩුව ජන බල විරෝධයට එක් වන්න..! බදාදා (23) සවස 3.00 ට නුගේගොඩට එන්න ජවිපෙ සටන අතට ගනී..? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ කතාවෙන් පැහැදිලි වන්නේ…
ජාතිය ඇමතීමෙන් ඒ බව මානව හෙළි වුණා
ජන පීඩක ආණ්ඩුව ජන බල විරෝධයට එක් වන්න..!
බදාදා (23) සවස 3.00 ට නුගේගොඩට එන්න
ජවිපෙ සටන අතට ගනී..?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ කතාවෙන් පැහැදිලි වන්නේ ඔහුට රට මුහුණ දී සිටින බරපතළ ඛේදවාචකයේ තරම, ආර්ථිකය අර්බුදයේ දිග-පළල සහ ගැඹුර සේම ජන දුක ගැන කිසිදු අවබෝධයක් නොමැති බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.
ජනතා විරෝධී සහ දේශද්‍රෝහී මේ පාලනය පළවා හැර ජනතාවාදී පාලනයක් ගොඩනැගීම සඳහා ජනතාව පෙළ ගැස්වීමට ජාතික ජන බලවේගය සූදානම් බව ද ඔහු කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ එම පක්ෂයේ මූලස්ථානයේ දී ඉරිදා (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
දැන්වීම
අද අපේ රට විශාල ආර්ථික ආපදා තත්වයකට මුහුණපා තිබෙනවා. භාණ්ඩ මිල ඉහළ යාම, භාණ්ඩ හිඟය, ආර්ථිකය මුළුමනින්ම ආණ්ඩුවෙන් ගිලිහී කළු ආර්ථිකය ප්‍රබල වීම සිදුව තිබෙනවා. මහ බැංකුව රුපියල පා වෙන්න ඉඩ හරින්න තීරණය කළා. ඩොලරයේ අගය රුපියල්.280 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කළු වෙළඳ පොළේ එම අගය රුපියල් 300ට වඩා ඉහළයි.
ආණ්ඩුවේ නිල රෙගුලාසිවලට පිටින් කළු ආර්ථිකයක් නිර්මාණය වීම නිසා ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා සාධාරණ මිලකට ලබා දෙන්න ආණ්ඩුවට නොහැකිවී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස කිරිපිටි මිල අධික ලෙස ඉහළ ගියා. ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ආපන ශාලාවල ආහාරපාන ඉතා මිල අධිකවී තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම නිසා සමස්ථ ආර්ථිකයම ආපදාවකට ලක්වී තිබෙනවා.
එහි පීඩාව සෑම තරාතිරමකම ජනතාවට විඳින්න සිදු වෙලා. ජනතාව එහි ගොදුරක් බවට පත් වෙලා. මිනිස්සු පෝලිම්වල මියැදෙනවා. සිය දූ දරුවන් කුස ගින්නේ සිටීම දරා ගන්න බැරුව තාත්තලා සිය දිවි නසා ගන්නවා. ජනතාවගේ ජීවිතය බිලි ගනිමින් අර්බුදය ඉදිරියට තල්ලු වෙමින් තිබෙනවා. නමුත් මෙම අර්බුදය විසඳා ජනතාවගේ ජීවිත සුවපත් කිරීම සඳහා මූලික වගකීම තිබෙන පාලකයින් සහ ආණ්ඩුව හිරි වැටුණු ස්වභාවයක පසු වෙනවා. ඒ වගේම ඔවුන් තමන්ගේ නාස්තිකාර සල්ලාල දේශපාලන ජීවිතය අත්හැර නැහැ.
ජනාධිපතිවරයා ජාතිය අමතා කරන ලද කතාවෙන් පෙන්නුම් කළේ මොකක්ද..? ඔහුට මෙම ආර්ථිකයේ දිග, පළල, ගැඹුර පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බවයි. ඒ වගේම මෙම ආර්ථික විනාශයට ඔහුගේ පාලන කාලයේ ගත් තීන්දු තීරණවල බලපෑම ගැන ඔහුට අදහසක් නැහැ. වංචා-දූෂණ, වැරදි බදු ප්‍රතිපත්ත සහ, තමන්ගේ හිතමිතුරු ව්‍යාපාරිකයන්ට ධනය එක් රැස් කර ගැනීමට ඉඩදීම වැනි තීරණ ආර්ථිකය විනාශයට බලපා තිබෙනවා. ඇතිවී තිබෙන මෙම අර්බුදයත් ඊට හේතුවත් අර්බුදය විසඳීමේ මාවතත් ඔහුට ප්‍රකාශ කිරීමටවත් නොහැකි වුණා. එම තත්ත්වයෙන් පෙන්නුම් කරන්නේ මෙම ආර්ථික අර්බුදය ඔහේ ගලා යාමට ඉඩදී පැත්තටක වී තුෂ්නිම්භූතව බලා ගෙන ඉන්නවා කියලයි.
මේ ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටවත් රටේ ජනතාව පිළිබඳ වගකීම දැරීමට කිසිදු යුක්ති සහගත අයිතියක් නැහැ. ඔවුන්ගේ භාවිතාව සහ ඔවුන්ගේ ප්‍රකාශ ආදියෙන් එම යථාර්තය පෙන්නුම් කොට තිබෙනවා. මෙම පාලනය පළවා හැරීම සඳහා ජනතාව පෙළ ගැස්වීමට ජාතික ජන බලවේගය සූදානම්. පළවා හැරීමෙන් පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
මේ ආණ්ඩුවේ වසර දෙකක කාලය ආර්ථික අර්බුදය තීව්‍ර කිරීමට ඉවහල් වූවා පමණක් නොව මෙතෙක් කාලයක් අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති මෙම අර්බුදයට හේතු වෙලා තිබෙනවා. වරප්‍රසාදලත් දේශපාලන පංතියත්, වංචාව-දූෂණ පිරුණු පාලන ක්‍රමයත් අර්බුදයේ විශාල පංගුවක් වනවා. ඒ වගේම රටේ නිෂ්පාදන ආර්ථීකය බිඳ වැට්ටීමත් මෙම අර්බුදය තීව්‍ර කළා. ඒ නිසා මෙම පාලනය පළවා හරිනවා වගේම හැත්තෑ හතර වසරක වැරදි දේශපාලන ආර්ථික ගමනත් වෙනස් කිරීම සඳහා අපේ රටේ ජනතාව පෙළ ගැස් විය යුතුව තිබෙනවා. එතැනින් නතර නොවී රට ඇද වැටී තිබෙන අඳුරු අගාධයෙන් ගොඩ ගැනීම සඳහා ජනතාවාදී පාලනයක් ගොඩනැගිය යුතුයි.
අද රටේ ගොවි ජනතාව තමන්ගේ යන්ත්‍රෝපකරණවලට ඉන්ධන නැතිව ලත වෙනවා. ධීවරයාට මුහුදු යන්න ඉන්ධන නැහැ. දෛනිකව තමන්ගේ වාහනයෙන් බඩු ප්‍රවාහනය කරපු රියදුරෙකුට ඒක කර ගෙන යන්න විදිහක් නැහැ. බඩ ගින්නේ වැළපෙන දරුවෙකුට කිරි වීදුරුවක් ලබා දෙන්න බැහැ. කිරිපිටි පැකට් එකක මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා. ගෑස් නොමැති වීම සහ ගෑස්වල මිල ඉහළ යාම නිසා ගෘහණියකට නිවසේ කටයුතු කර ගෙන යන්න බැහැ. ආපන ශාලා හිමියන්ට එම ව්‍යාපාරය පවත්වා ගෙන යන්න බැහැ. ඒ තරමට පුරවැසියන් පීඩාවකට සහ අසරණභාවයකට පත් වෙලා.
ඒ නිසා රටේ හැමතැනින්ම ජනතාවගේ විරෝධය පැන නගිමින් තිබෙනවා. "මුං පන්නන්න ඕනෑ, මොකා හරි එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදන්න ඕනෑ” කියන අඳෝනාවක් තිබෙනවා. පෝලිම්වල අඬනවා. පෝලිම්වල සිහි නැතිවෙලා වැටිලා මිය යනවා. ජනතාව එවැනි ඛේදවාචකයක සිටියදී එම ජන දුක නොපෙනෙන තරමට පාලකයින් හිරි වටිලා තිබෙනවා.
එනිසා අපි කාගේත් වගකීමක් තිබෙනවා, මේ ආණ්ඩුව පළවා හරින්න. ඒ වෙනුවෙන් මේ රටේ ජනතාව පෙරට ආ යුතුයි. මේ ආණ්ඩුව පළවා හැරලා ඒ පන්නයේම නාඩගම් කාරයෝ පිරිසකට පාලන බලය අත්පත් කර ගන්න ඉඩතියන්න හොඳ නැහැ. එනිසා මේ වෙලාවේ ජීවත්වන අපේ පරම්පරාවේ මිනිස්සුන්ගේ වගකීම තමයි අපේ දරුවන්ට මීට වඩා සුරක්‍ෂිත රටක් සහ අනාගතයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් මේ පාලකයින් පළවා හැරීමටත් ජනතාවාදී පාලනයක් ගොඩනැගීමටත් මැදිහත් වන එක. ඒනිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා අපි සියලු දෙනා එක්ව මේ රට ගොඩනගමු කියලා.
එම අරමුණ කේන්ද්‍ර කර ගනිමින් එළඹෙන 2022.03. 23 වැනිදා විශාල ජනබල විරෝධයක් සංවිධානය කොට තිබෙනවා. පෙළපාලිය දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ කොට නුගේගොඩදී විශාල විරෝධතා රැලියක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මේ ආණ්ඩුව පළවා හැරීම, දිගු කාලයක් තිස්සේ අනුගමනය කරන වැරදි ආර්ථික ගමනෙන් රට මුදවා ගැනීම සහ ජනතාවාදී පාලනයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් මෙම සටන ආරම්භ කරනවා. ඒ සඳහා පුරවැසියන්ට අපි ආරාධනා කරනවා. වළකට වැටීම මොළයට හොඳයි. අපේ රටේ ජනතාව වැටෙන්න පුළුවන් ගැඹුරුතම වළට වැටී අවසන්. දැන් ඔබ අවදි වෙන්න. මොන වෙස්මුහුණෙන් ආවත් වංචාව දූෂණය පිරුණු ක්‍රමයකට අපේ රට ගොඩගන්න බැහැ. තීරණාත්මක ලෙස මෙම ආර්ථික සංවර්ධන උපාය මාර්ග වෙනස් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා වූ නව ජනතා පෙළ ගැස්මක් අවශ්‍යයි. ඒ නිසා අපි මෙම අර්බුදය සහ පීඩනය යොදා ගත යුත්තේ තාවකාලිකව විරෝධය පළ කිරීමට, කෑ ගැසීමට හෝ හඬා වැළපීමට නොවේ. එම ඛේදවාචකය යොදා ගත යුත්තේ වඩාත් නිවැරදි දේශපාලන සහ ආර්ථික සංස්කෘතියක් සහිත ජනතා ආණ්ඩුවක් ගොඩනැගීම සඳහායි. ඒ සඳහා මේ රටේ සියලුම ජනතාවට අපි ආරාධනා කරනවා. අර්බුදයකදී එහි ගිලී මිය යනවාට වඩා එමගින් පාඩම් ඉගෙන ගෙන අලුත් මාවතක් සොයා ගැනීම සඳහා අර්බුදය යොදා ගමු කියලා අපි ජනතාවට යෝජනා කරනවා.