අරගලයේ බලය තිබෙන්නේ කොතැන ද..?

(රජිත් කීර්ති තෙන්නකෝන්) ජීවිත කාලය පුරාම පැතුවේ අරගලයකි. අරගලයේ බලය කොපමණ දැයි අරගලය පත්තු වන තුරු දැන සිටියේ නැත. අරගලයේ කතාව ද එසේමය. අරගල කළ බහුතරය අරගලයේ කතාව දන්නේ ද නැත. හිටපු රජයේ ප්‍රවෘත්ති…
(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජීවිත කාලය පුරාම පැතුවේ අරගලයකි. අරගලයේ බලය කොපමණ දැයි අරගලය පත්තු වන තුරු දැන සිටියේ නැත. අරගලයේ කතාව ද එසේමය. අරගල කළ බහුතරය අරගලයේ කතාව දන්නේ ද නැත.
හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු ද, උප කුලපතිවරයෙකු ද, අමාත්‍යාංශ ලේකම්වරයෙකු ද, ආයතන ප්‍රධානියෙකු ද වූ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාරයන් ලියන "අරගලයේ බලය" කෘතිය ඔස්සේ කියන දේ ගැන එම පොත දොරටවැඩුම් උත්සවය අවසානයේ දී බොහෝ දෙනා කීවේ එවැනි කතාවකි.
පොහොර නැති, විදුලිය නැති, ගෑස් නැති යුගයක අපි අරගලයට මුල පිරුවෙමු. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගෝඨාභ රාජපක්ෂගේ නිවස ඉදිරිපිටට බස් තුනකින් කාන්තාවන් රැගෙන පෙළ හර පාන්නට යන්නටත් පෙර, අපි පාර්ලිමේන්තුව ඉදිරි පිටින් අරගලය ආරම්භ කළෙමු. අරගලයට දායකත්වය ද, හිරේ විලංගුවේ වැටෙන්නට නියමිත සිය ගණනකට රැකවරණය ද සැලසු වෙමු.
අරගලය පුරා ඇදී ගිය සමාජ, ආර්ථික, දේශපාලන, ජාත්‍යන්තර සාධක ගැන අපි ඇති තරම් කතා කළෙමු. අරගලය අවසානයේ මේවන විට මහාචාර්ය සුනන්දමද්දුමබණ්ඩාර පොතක් ලියා තිබේ.
දැන්වීම
අරගලය ආරම්භ කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහා මැතිවරණයෙන් පරාජය වී ගෙදර ගිය අතර, අන්තිම මොහොතේ අරගලයට එක් වූ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය රාජ්‍ය බලය ලබා ඇත. කලක් මහාචාර්ය සුන්නද මද්දුම බණ්ඩාර රාජකාරි කළ කාමරයේ සිට විරප්පන් බලකාය රටටම කුණු හරුප බෙදමින් සිටී..!
අරගලය මැද දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන්නට පැමිණ සිටින විට, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලැබුණි. ඊට පිළිතුරු ලෙස, “රටම ගිණි තියලා, දැන් තමනුත් ගිණි තියා ගන්න හදනවා. මම කරන්නේ මේ වෙළාවේ කළ යුතු හොඳම දෙයයි” ගෝඨාභය රාජපක්ෂ කියූ බව මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර සිය පොතේ 81 වන පිටුවේ ලියා ඇත.
“දැන් රටේ සියලුම පරිපාලන මධ්‍යස්ථාන අරගලකරුවන් අල්ල ගෙන ඉවරයි. ඉතිරිව තිබෙන්නේ පාර්ලිමේන්තුව පමණයි. එය අරගලකරුවන් අතට පත් වූණොත් ඒ තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය. ඒ නිසා සියලු දෙනාම එකතු වී පාර්ලිමේන්තුව රැක ගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගත යුතුයි” යැයි එවකට සිටි බලධාරීන් තීරණය කරන්නේ ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති සහ හර්ෂණ නානායක්කාරලා පාර්ලිමේන්තුව වට කළ මොහොතේ යැයි සුනන්ද මද්දුම බණ්ඩාර සිය පොතේ 97 වන පිටුවේ ලියා ඇත.
ඔහු දිගටම ලියන්නේ ය. බොහෝ දෙනා හිතා ගෙන ඉන්නේ අරගලයේ කෙන්ද්‍රීය සාධකය ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් කියාය. එසේ කියා පොත් ද ලියවී ඇත. මේ දක්වා ඉතා සීමිත පිරිසක් පමණක් දැන සිටි කතාව සුනන්ද මද්දුම බණ්ඩාරගේ පොතේ 153 පිටුවේ තනි වැකියකින් ලියා ඇත. “මේ අතර ජුලි 13 වැනිදා කතානායක නිල නිවසට හදිසියේම අමුත්තෙක් පැමිණියේය්. ඒ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ය”. එතැනින් එහා සිදු වූ දේ ඉතිහාසයයි.
“රනිල් වික්‍රමසිංහ පෝලිම් නැති කළේය. සාගතයෙන් මිය යෑමට සිටි ජනතාව බේරා ගත්තේය. බංකොළොත් වූ රට ඉන් මුදවා ගත්තේය. එසේ වූව ද, ජනතාව 2024 ජනාධිපවරණයෙන් ඔහු පරාජය කළේය.” ඔහු 184 පිටුවේ ලියයි.
උතුරේ යුධ කඳවුරුවල සිටින හමුදා භටයින් කොළඹට කැඳවීමේ යෝජනාව ගැන කතුවරයා කියන කතාව අරගලයට දායක වූ අති බහුතරයක් දන්නේ නැත. පාර්ලිමේන්තුව වට කිරීමේ අවස්ථාවේ දී දේශපාලන පක්ෂ නායකයින් හැසිරුණු ස්වභාවයත් ඔවුන් සියලු දෙනා මැතිවරණයේ දී පරාජයට පත් වූ ආකාරය ගැනත් කියන කතා ජනප්‍රිය නැත.
අරගලයට පෙර සුදානම ඇති වන යුගයේ සිට අරගලයේ සෑම අදියරක්ම මම දුටුවෙමි. බෝහෝමයකට සහභාගි වුණෙමි. තිරයෙන් පිටු පස දේ දැක්කෙමි. ඇසුවෙමි. විමසුම් කර ඇත්තෙමි. ඉන් පසු පාපැදියෙන් ජනාධිපති කාර්යාලයට ගොස් මේ අගාධයෙන් රට මිදෙන තෙක් වැඩ කළෙමි. දිගින් දිගටම වැඩ කළෙමි. ඡන්ද පවත්වා ඒවා පරාජය වන හැටි දුටු වෙමි.
බොහෝ මිනිසුන් තමාගේ පිගානට බත් පත ලැබෙන ආකාරය දන්නා නමුත්, ජීවිතයට නිදහස ලැබෙන හැටි හෝ ආත්මයට සිර කුටිය නිර්මාණය වන හැටි දකින්නේ නැත. අරගලයේ බලය ද එසේමය. 2022 අරගලය බොහෝ දෙනා දන්නේ නැත. දැක්කේ ද නැත. හැදින්නේ ද නැත.
ශ්‍රී ලංකාවේ අරගලය බංගලි දේශය-නේපාලය වැනි ලේ විලක් නොවී බේරුණේ කතානායකවරයා නිසාය. අරගලය සාමකාමීව අවසන් වන්නට ප්‍රධානම සාධකය මහින්ද යාපා අබේවර්ධන වුවත් එහි ගෞරවය ඔහුට කිසිදා ලැබේ දැයි සැක සහිතය. අරගලයෙන් වසර තුන හමාරකට පසුව කතානායකවරයා පළමුවර තමා මුහුණ දුන් අත්දැකීම්වලින් කිහිපයක් එළි පිට පැවසූවේය. තවත් කිව යුතුම කතා රැසක් ඔහු පෙත දොරට වඩින සභාවේ දී නොකියා සිටියේය.
බංගලිදේශයේ-නේපාලයේ සහ මැඩකස්කරයේ අරගලය සාර්ථකය. ශ්‍රී ලංකාවේ අරගලය ‘අසාර්ථකය’. බටහිර ජනමාධ්‍ය නිතර කියන කතාවකි. දිනපතා තවමත් කියන කතාවකි. ඒ කතාවේ තිරය පිටු පස කතාව, ‘අරගලයේ බලය’ යි. එම නිසා එම පොත රැගෙන කියවන්න. නැතිනම්, ඉල්ලා ගෙන හෝ කියවන්න.