අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අරගලකරුවන්ට එල්ල කළ මිලිටරි ප්‍රහාරය කරූ හෙළා දකියි

අරගලකරුවන්ට එල්ල කළ මිලිටරි ප්‍රහාරය කරූ හෙළා දකියි

ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබමු ගාලු මුවදොර අරගල ප්‍රජාවට හමුදාව යොදවා එල්ල කළ "මිලිටරි" ප්‍රහාරය තරයේ හෙළා දකින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ…

ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබමු 

ගාලු මුවදොර අරගල ප්‍රජාවට හමුදාව යොදවා එල්ල කළ "මිලිටරි" ප්‍රහාරය තරයේ හෙළා දකින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. හෙලා දකිමු.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

මේ රටේ දේශපාලනය තීරණාත්මක හැරවුම් ලක්ෂයකට යොමු කරන ලද ගාලු මුවදොර අරගල ප්‍රජාව ඉලක්ක කර ගෙන ආරක්ෂක හමුදා යොදවා එල්ල කරන ලද ප්‍රහාරය රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සහ අපේක්ෂා කරන සෑම පාර්ශවයක් විසින්ම තරයේ හෙළා දැකිය යුතුය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයද එකී ක්‍රියාව තරයේම හෙළා දකින්නෙමු.

දැන්වීම

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වෙනස් මත දැරීමට සහ තම අදහස් පළ කිරීමට සේම සාමකාමී ලෙස විරෝධය පෑමට ඇති අයිතිය ඉහළින්ම ආරක්ෂා විය යුතුය. කිසිදු සමාජ තීරුවකට පොදු සමාජයේ අභිලාශයන්ගෙන් බැහැරව හුදකලා අරගලයන්හි නිරත විය නොහැකි බවද අප සියල්ලන්ම පිළි ගත යුතුය. 

ගාලු මුවදොර අරගලය ඉතාමත් සක්‍රීය තලයක පැවැතියේ එම හේතුව නිසාය. නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ අසීමිත බලයක් දරමින් සිටි පාලකයෙකුට පවා ප්‍රථම වරට රට අතහැර පලා යන පසුබිමක් නිර්මාණය වූවේද එකී අරගලය සහ  ජනතා අභිලාශයන් සමපාත වූ නිසා බවද මේ රටේ පාලකයන් තේරුම් ගත යුතුව තිබේ. 

අපට වාර්තා වන ආකාරයට අරගලකරුවන් අත්පත් කර ගෙන සිටි ජනාධිපති කාර්‍යාලයෙන් අද දින නික්ම යාමට ඔවුන්ගේ සූදානමක් තිබී ඇත. එසේ නම් එය ඔවුන් ගත් ඉතාමත් බුද්ධිමත් හා නිවැරදි තීරණයක්  ලෙස සැලකිය හැකිය. එවන් පරිසරයක් තුළ සිදු කරන ලද මෙම අමානුශික ප්‍රහාරය යුක්ති සහගත කිරීමට කිසිදු පාර්ශවයකට හෝ හැකියාවක් තිබිය නොහැකිය.

මෙම සිදුවීමෙන්ද පෙනී යන්නේ ශිෂ්ට සම්පන්න ආකාරයට අර්බුද හා මත භේද නිරාකරනය කර ගැනීමට අප රටේ දේශපාලන සමාජය දක්වන අකමැත්ත හෝ නොහැකියාවයි. මෙම සංස්කෘතිය රටින් තුරන් කිරීම සමස්ථ සමාජයේම වගකීමක් වන අතර ඒ සදහා අන් සියල්ලන්ට පෙර පෙරමුණ ගත යුත්තේ රටේ දේශපාලන බල අධිකාරියයි.

එබැවින් අප මේ රටේ සමස්ථ සමාජයෙන්ම ඉතාමත් ඕනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නේ අද රට මුහුණ දී  ඇති ඛේදනීය තත්වයෙන් මුදා ගැනීම සදහා අන් සියල්ලටම පෙර සියලු ජන කොටස් අධිශ්ඨානශීලීව පෙරට එමින් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට තව දුරටත් ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කර ගැනීම උදෙසා පෙළ ගැසෙන ලෙසය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අරගලකරුවන්ට එල්ල කළ මිලිටරි ප්‍රහාරය කරූ හෙළා දකියි | Lanka Newsweek