අයියෝ මහින්ද මහත්තයෝ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4

මහින්ද මුලින්ම වට්ටපු තැන..! මහින්ද සුළඟ චණ්ඩ මාරුතයක් වෙයිද..? (උපුල් ජෝෂප් ප්‍රනාන්දු) "සර්ට පිස්සුද මේ වගේ ජන රැල්ලක් පාවල දීලා චන්ද්‍රිකාගෙන් පිනට අගමැතිකම ගන්න..." මේ එවකට එක්සත් ජාතික පක්ෂ උප…
මහින්ද මුලින්ම වට්ටපු තැන..!
මහින්ද සුළඟ චණ්ඩ මාරුතයක් වෙයිද..?
(උපුල් ජෝෂප් ප්‍රනාන්දු)
"සර්ට පිස්සුද මේ වගේ ජන රැල්ලක් පාවල දීලා චන්ද්‍රිකාගෙන් පිනට අගමැතිකම ගන්න..."
මේ එවකට එක්සත් ජාතික පක්ෂ උප නායක ගාමිණී අතුකෝරාළ රනිල්ගෙන් අහපු ප්‍රශ්නයක්. ගාමිණී රනිල්ගෙන් මේ ප්‍රශ්නය ඇහුවේ ඊට කලින් දින රාත්‍රියේම රනිල්ගේ ලේකම්වරයෙකු වූ සුදත් චන්ද්‍රසේකර සහ චන්ද්‍රිකාගේ ආරක්ෂක ප්‍රධානි නිහාල් කරුණාරත්නගේ මැදිහත් වීමෙන් චන්ද්‍රිකා සහ රනිල් අතර පැවති සාකච්ඡාවේ තොරතුරු කියද්දිය.
චන්ද්‍රිකා රනිල්ට අගමැති ධුරය භාර දීම ගැන සාකච්ඡා කරන්න එන්න යැයි පණිවුඩය එවුවේ 2001 චන්ද්‍රිකා පාර්ලිමේන්තු බහුතරය හදාගන්න බැරිව අසරණ වෙලා සිටියදීය.චන්ද්‍රිකාට පාර්ලිමේන්තු බහුතරය අහිමි වුයේ මුස්ලීම් කොන්ග්‍රස් නායක රාහුෆ් හකීම් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කිරීමත් සමගය. හකීම්ගේ ඉවත්වීමත් සමග එක්සත් ජාතික පක්ෂය චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් භාර දුන් අතර චන්ද්‍රිකා බොහෝ සේ කලබල විය.ඇය වහාම පාර්ලිමේන්තුව කල් දැම්මේ පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව කඩා වැටෙයි කියන බයටය.
බහුතරය හදා ගන්න ඇය මුස්ලීම් කොංග්‍රසය දෙකඩ කළාය. ජනතා විමුක්ති පෙරමුණ පරිවාස ආණ්ඩුවක් හැදුවාය. අවසානයේ හොර රහසේ රනිල්ව ගෙන්වා ගෙන ඇගේ කොන්දේසිවලට යටත්ව අගමැති ධුරය භාර දීම ගැන සාකච්ඡා කළාය.
"මම පක්ෂ නායකයන්ගෙන් අහල එන්නම් ..."
රනිල් චන්ද්‍රිකාට කියා පහුවැනිදා උදේම පක්ෂයේ නායකයන් කැඳවා රාත්‍රී හමුව හෙළිදරව් කළේය."ඔය උගුලේ නම් වැටෙන්න එපා..."
ඔවුහු එක හඬින් කීහ. 2001 මහ මැතිවරණයෙන් රනිල් අති විශාල ජනවරමකින් අගමැති විය. එදා රනිල් චන්ද්‍රිකා හමුවීමට යන විට රනිල්ට බහුතරය තිබිණි.එත් මහින්ද මෙදා මෛත්‍රී හමුවෙන්න යනවිට 113 තියා 100ක්වත් තිබුණේ නැත.හැබැයි දේශපාලන අනාවැකිකරුවන් කිවේ මහින්ද මහ ඡන්දයකට ගියොත් තුනෙන් දෙකකට ලං වෙන ජනවරමක් දිනා ගන්නවා කියාය. මහ ඡන්දය නොව පළාත් සභා ඡන්දය තිබ්බත් මහින්දට අති විශිෂ්ඨ ජයක් ලබා ගත හැකිව තිබිණි.ආණ්ඩුව ඡන්දය කල් දැම්මේ එය දැනගෙනය.
"මහ ඡන්දයත් සමග රජ ගෙදරට යන්න හිටිය මහින්ද ඇයි පිනට අගමැතිකම ගත්තේ.."
මහින්දවාදීන්ටත් තියන ප්‍රශ්නය ඒකය. 2015 ජනාධිපතිවරණය පරාජයෙන් පසු 2015 මහ මැතිවරණයට අලුත් පක්ෂයක් හදල ඡන්දය ඉල්ලමු කියා මහින්දවාදීන්ගෙන් කොටසක් කියද්දී මහින්ද එයට කැමති වුයේ නැත. ඔහුට ඕනෑ වුනේ මෛත්‍රීගෙන් නාම යෝජනා ඉල්ලාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගමැති අපේක්ෂක ලෙස පහසු ජයක් ගන්නටය.
එත් මෛත්‍රී ඔහුට අගමැති අපේක්ෂකත්වය දුන්නේ නැත. ඔහු අගමැති අපේක්ෂක ලෙස පෙනී සිටිමින් මෛත්‍රීත්,මන්ත්‍රීවරුත් පරාජය කරන්න යටිකූට්ටු වැඩ කරමින් යද්දී මහින්දට අගමැති ධුරය දෙන්නේ නැතැයි කියා මෛත්‍රී මහින්දට ලියුමක් ලීවේය. මහින්ද එයින් ඇද වැටුණි. මහින්ද මහ ඡන්දයෙන් පරාජය විය.
"අපරාදේ අපි වෙනම ඉල්ලන්න තිබුණා.."
මහින්දවාදීන් පරාජය බෙදා හදා ගත්තේ එලෙසය. බැසිල් පොහොට්ටුව හැදුවේ පරාජයේ වේදනාව ඉවසා ගත නොහැකිවය.මහින්දට ඡන්ද දිනන්න නම් මෛත්‍රී සහ රනිල් දෙන්නාටම එකට තියල ගහල නව පක්ෂයක්,නව බලවේගයක් ලෙස නැගිටින්න ඕන යැයි බැසිල් පාරක් හැදුවේය. ඒ වෙලාවේ රනිල් හිතුවේ මෛත්‍රී සහ මහින්ද අතරේ ඡන්ද බෙදුනාම යූ.ඇන්.පී. යට දිනන්න පුළුවන් කියලාය .
රනිල්ට වැරදුණේ එතැනය. ඒ වෙලාවේ රනිල්, මෛත්‍රී සහ මහින්දට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එකට යන්න දුන්නා නම් යු.ඇන්.පී.යට මෙවැනි පරාජයක් අත් වෙන්නේ නැත. එසේ වුවා නම් මෛත්‍රී 2018 පුංචි ඡන්දයේදී යු.ඇන්.පී.යට ගහපු ගැහිල්ල වැඩ කරන්නේ නැත. හේතුව මෛත්‍රී යු.ඇන්.පී.යට ගහන්නත් මහින්ද එක්ක එකතු වෙලා මහින්දගේ වුවමනාවට බව යු.ඇන්.පී.යට ඡන්දය දෙන්න හිටපු යු.ඇන්.පී. නොවන පාවෙන ඡන්දදායකයන් හිතන්න ඉඩ තිබු නිසාය.
මෛත්‍රී යු.ඇන්.පී.යටයි,මහින්දටයි දෙන්නාටම ගහද්දි පාවෙන ඡන්දදායකයන් හිතුවේ මෛත්‍රී ගැහිල්ල හරි කියාය. එයින් මෛත්‍රී යු.ඇන්.පී.යට ඡන්දය දෙන්න හිටිය යු.ඇන්.පී. නොවන පාවෙන ඡන්දදායකයන් කොටසක් දිනා ගත්තේය.කොටසක් ඡන්ද පොලට ගියේ නැත. යු.ඇන්.පී. කාරයෝ අකර්මණ්‍ය වී ගෙදරට වී සිටියහ.
පොහොට්ටුව මතු වුයේ එළිපිට ගහ මරා ගන්නා මෛත්‍රී-රනිල් හවුලට එරෙහිවය. පොහොට්ටුවෙන් මතු වුයේ අලුත් මහින්ද කෙනෙකි.අලුත් පක්ෂයකි. අලුත් බලයකි.
" මට පිනට අගමැතිකම් එපා මම අගමැතිකම ගන්නේ ජනතාවගෙන්.."
2018 පුංචි ඡන්දයෙන් මහින්ද යන යන තැන උස්සාගෙන ගිය සටන් පාඨය ඒකය.ලංකා ඉතිහාසයේ පළාත් පාලන ඡන්දවලින් ආණ්ඩු පරාජය කරන්න පුරුදු පුහුණු වී නැති ජනතාව 2018 පුංචි ඡන්දයේදී මහින්දට ඡන්දය දුන්නේ අපි උඹට අගමැතිකම අරන් දෙන්නම් කියලාය.
"මහින්ද ඇයි හදිසි වුණේ..?
"මහින්ද ඇයි ඉවසුවේ නැත්තේ..?
"මහින්ද නඩුවලට බය වුණාද..?
මහින්දවාදීන්ටත් තියෙන උභතෝකෝටිකය ඒකය. මහින්ද දැන් ඉන්නේ 2015 මහින්ද හිටි තැනය.
තුන්වරක් තරඟ කරන්න ව්‍යවස්ථා වෙනස් කරලා පාර්ලිමේන්තුව බිල්ලට දමන තම දෑත් ශක්තිමත් කර ගන්න ගන්න යු.ඇන්.පී. මන්ත්‍රීවරු ඇමතිකම්වලට,මුදලට බිලිබා ගන්න මහ රජ මහින්ද යළි කරළියට ඇවිත් තිබේ. තම දු-දරුවන් අත්අඩංගුවට ගන්නා විට ඇස් දෙකේ කඳුළු පුරවා ගන්නා ජනතාව වට කරගෙන පන්සල්වල බෝධිසත්ව කතාදෙන,මෛත්‍රීටයි, රනිල්ටයි දෙන්නාටම එකට තියල ගහන, ගෝල්ෆේස් මහ මුහුදට වඩා සැර ජන මුහුදක් හදපු හිත හොඳ මහින්ද මහත්යා අතුරුදන් වී තිබේ.
"අයියෝ මොකක්ද මේ මහින්ද මහත්තයා කරගත්ත ගොන් වැඩේ..?
කැපුවත් නිල් පාටයි නොකියන මැද ඉන්න මහින්දට ඡන්දය දෙන පාවෙන ඡන්දදායකයන් කියන්නේ ඔය කතාවය. 2015 ජනාධිපතිවරණයට පසු රට පුරා හමා ගිය රටම අවදි කරපු මහින්ද සුළඟ දැන් රට වනසන චණ්ඩ මාරුතයක් වී තිබේ.
"ඔය මනුස්සයාගෙන් පරෙස්සම් වෙන්න. එයා කවදා හරි මට කරපු දේම ඔයාටත් කරනවා.."
මේ 2015 ජනාධිපතිවරණය පරාජය වී මහින්ද අරලිය ගහ මන්දිරයෙන් පිටව යන්න පෙර මහින්ද හමුවන්න ආ රනිල්ට කනට කර කී කතාවය.
"රනිල් ඔය කතාවම මහින්දට කියනවාද..?
-ගුරුදා විග්‍රහය-
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4