අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන ඉදිකිරීම් සමාගම ඉවත් වෙයි

වන්දි ඉල්ලන්න ජාත්‍යන්තර අධිකරණයට (ගම්පොළ – සුරංග දිල්හාන්) ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය වන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියයේ ආයෝජකයකු වූ චීනයේ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම එම ව්‍යාපෘතියෙන්…
වන්දි ඉල්ලන්න ජාත්‍යන්තර අධිකරණයට
(ගම්පොළ – සුරංග දිල්හාන්)
ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය වන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියයේ ආයෝජකයකු වූ චීනයේ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම එම ව්‍යාපෘතියෙන් ඉවත් වන බව නිල වශයෙන් බදාදා (14) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට දැනුම් දී ඇත.
දිට්වා සුළි කුණාටුවත් සමග අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ නාය යෑමේ අවදානමක් ඇති බවට සමාජ මාධ්‍ය මගින් සිදු කරන ලද හෙළිදරව්වකට අනුව පරිසර අමාත්‍යාංශය එහි ඉදිකිරීම් නතර කිරීමට ගෙන ඇති තීරණය මෙම ඉවත් වීමට හේතුව වී තිබේ.
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය චීන හා ඇමරිකානු ආයෝජන යටතේ ක්‍රියාත්මක වුණි. එහි ඉදිකිරීම්වලට දිගින් දිගටම බාධා ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව සිටි බව ආයෝජකයන් ප්‍රකාශ කර ඇත.
දැන්වීම
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රතිපත්ති හා ක්‍රමවේදයන්ට අනුව අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලු අවසර හා එකඟතාවන් ලබා ගෙන තිබූ බව ආයෝජකයන් සඳහන් කර තිබේ.
දිගින් දිගටම මෙම ව්‍යාපෘතියට බාධා පැමිණවීම නිසා අනපේක්ෂිත පාඩු සිදු වූ බව ද චීනයේ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම කියා ඇත. ඒ අනුව සිදු වූ අලාභය අය කර ගැනීමට ජාත්‍යන්තර වන්දි අධිකරණයට පැමිණිලි කරන බව ද මෙම සමාගමේ අධ්‍යක්ෂ යුආන් යුපින් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.