Friday 26th of April 2024

English Tamil
Advertiesment


22 රටේ දිශානතිය තීරණය කරන ප්‍රමුඛතම සාධකයයි 


2022-09-02 7722

 

රටට ජාතියට ද්‍රෝහී නොවනු-22 ට සහය දෙනු 

 

රටේ අර්බුදයට විසඳුම් සෙවීම සියලු දෙනාගේ වගකීමක්  

 

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඉදිරි දිශානතිය තීරණය කරන ප්‍රමුඛ සාධකයක් වනු ඇති අතර රටේ මහ ජන නියෝජිතයන් ඒ පිළිබදව කටයුතු කරන ආකාරය අනුව අනාගතය ඔවුන් විනිශ්චය කරනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
 
අද වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුදයට නිසි විසඳුමක් සපයා ගැනීමේ වගකීම සමස්ත ජාතිය වෙතම පැවැරී ඇති අත්නොහැරිය හැකි වගකීමකි. එහිදී අන් සියල්ලන්ටම පෙර ප්‍රමුඛත්වයක් ගත යුතුව  ඇත්තේ මහ ජන වරමක් සහිත ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන්ය. රටේ අනෙකුත් වෘත්තීමය සංවිධානයන්ට ද විද්වත් ප්‍රජාවට සේම පොදු සමාජයට ද ඒ පිළිබද වගකීමක් තිබේ. අප මේ බව නිරන්තරයෙන්ම පෙන්වා දී ඇත. මේ වන විට අප රටේ වෘත්තීමය සංවිධාන බොහොමයක් සේම රජයද ඒ ගැන යම් ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් පැවැතීම යහපත් තත්ත්වයක් ලෙස අප සලකන්නෙමු.
 
එහිදී අප පෙර සඳහන් කළ පරිදි මූලිකම අවධානය යොමු කළ යුතුව ඇත්තේ රටේ පාර්ලිමේන්තුවය. ඒ අනුව කෙටි කාලීන, මධ්‍ යකාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් සකස් කර ඒවා ක්‍රියාවට නැගීමට පියවර ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුව තිබේ.
ඒ අනුව සිදු කළ යුතුව ඇති දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට අවශ්‍ය මහ ජන පිළි ගැනීම සහ සුජාතභාවය ජනිත කරනු ඇත්තේ හදුනා ගත් ප්‍රතිසංස්කරණ සදහා නොපමාවම යොමුවීම මගිනි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් විධායකයට නතු කර ගෙන ඇති අසීමිත සහ අත්තනෝමතික බලතල ඉවත් කිරීම එහි ප්‍රමුඛතම කාර්‍යභාරයය යන්න අපගේ දැඩි විශ්වාසයයි. ඒ සදහා 19 ව්‍යවස්ථා සංශෝධනයේ යහපත් විදිවිධාන නැවත බල ගැන්වීම අත්‍යවශ්‍ය වී තිබේ. ඒ පිළිබඳව අප වගකීමකින් යුතුව වාර ගණනාවකදී ගරු ජනාධිපතිතුමා වෙත වගේම ගරු අධිකරණ අමාත්‍යවරයා වෙත අවධානය යොමු කර තිබේ. ඒ ගැන රජය අවධානයක් යොමු කර තිබීම අපි අගය කරන්නෙමු.

එබැවින් 22 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ශේෂ්ඨාධිකරණ නිගමන ගරු කථානායකතුමා වෙත දැනුම්දීමෙන් පසු ඉතාමත් ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරනු ඇතයි අපි අපේක්ෂා කරන්නෙමු. එහිදී මේ රටේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතින් අප ඉල්ලා සිටින්නේ උපන් නූපන් අනාගත පරපුරේ සහ ජාතියේ නාමයෙන් එම ව්‍යවස්ථා සංශෝධනය සාමුහිකව සහ ඒකමතිකව සම්මත කර ගැනීමට දායක වන ලෙසටය. ඒ පිළිබදව රටේ දේශපාලන පක්ෂ සහ මන්ත්‍රීවරුන් කටයුතු කරන ආකාරය අනුව රටේ සුබසෙත වෙනුවෙන් පෙනීසිටීම හෝ ජාතියට එරෙහිව පෙනීසිටීම පිළිබඳ ඔවුන්ගේ නාමයන් අනාගතයේදී විනිශ්චයට ලක් වනු නිසැකය.
 

Advertiesment