Friday 26th of April 2024

English Tamil
Advertiesment


පාස්කු වාර්තාවට එරෙහිව ශ්‍රීලනිපය සටන අරඹයි 


2021-02-26 7705

කොමිෂන් වාර්තාව පිළි ගන්නේ නැහැ-තරයේ ප්‍රතික්ෂේප කරනවා 

 

සාධනීය පිළිතුරු, නිගමන සහ නිර්දේශ නැහැ

 

නිගමන සහ නිර්දේශ විෂය සීමාව ඉක්මවා ගිහින්

 

"මෛත්‍රී-රනිල්" සම්බන්ධයෙන් අනුගමනය කළේ දෙබිඩි පිළිවෙතක්

 

මෛත්‍රීට පෙර පොලීසිය මෙහෙය වූ කිසිම ඇමතියෙකුට චෝදනා නැහැ 

 

ප්‍රහාරයේ සැලසුම් කරුවන්-ප්‍රහාරකයින්-මුල්‍ය අනුග්‍රාහකයින් නොසලකා හැරලා  

 

"සාරා" ගැන කතාවක් නැහැ 

 

බලය ඉක්මවා කටයුතු කරලා

 

මෛත්‍රී ගැන කර ඇති ප්‍රකාශ උපකල්පන විතරයි 

 

මෛත්‍රීට එරෙහිව අපරාධ නඩු පැවරීමට නීතිමය ඉඩක් නැහැ

 

ත්‍රස්ත ක්‍රියාවලට අදාළව රාජ්‍ය නායකයින්ට-දේශපාලන අධිකාරීන්ට-රාජ්‍ය නිලධරීන්ට අපරාධ නඩු පවරන සම්ප්‍රදායක් ලෝකයේ නැහැ 

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

2019 අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව කිසිසේත් පිළි නොගෙන තරයේ ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත. 

එම කොමිෂන් සභාව සිය බලය, විෂය පථය සහ සීමාව ඉක්මවා කටයුතු කර ඇති අතර ස්වාධීනව, අපක්ෂපාතීව සහ විධිමත්ව කටයුතු කර නොමැති බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අවධාරණය කර සිටින්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව මේ ඒකමතික තීරණය ගනු ලැබුවේ එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී බ්‍රහස්පතින්දා (25) සවස රැස් වූ අවස්ථාවේ දී වන අතර මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිළි කරමින් එම විධායක සභාව නිකුත් කර ඇති නිවේදනය මෙසේය. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය සදහා පත් කළ ජනාධිපති ‍කොමිෂන් සභා වාර්ථාවේ අන්තර්ගතය සහ නිර්දේශ පිළිබද ශ්‍රී ලංකා නිදහස්පක්ෂ‍යේ සමස්ත ලංකා විධායක සභාව විසින් ඒකමතිකව සම්මත කර ඉදිරිපත් කරනු ලබන නිවේදනය.

2019 අප්‍රෙල් 21 දින ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාව සහ විදේශ සංචාරකයින් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද චිරස්ථීන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මිය ගිය හා තුවාල ලැබූ සමස්ත කතෝලික බැතිමතුන්, ඔවුන්ගේ ආදරණීයන් සේම කොළඹ ප්‍රධාන හෝටල් කිහිපයක සිදු වූ  ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූවන් ද, ඔවුන් වෙනුවෙන් ශෝක වන්නන් පිළිබඳව ද අප පක්ෂය සහ එහි සාමාජිකත්වයේ දැඩි සංවේගය පළ කර සිටින්නෙමු. එසේම එම සියලු දෙනා වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය ඉටු විය යුතු බව ද දැඩිව අවධාරණය කරමු. 

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශයන් පිළිබඳවද, විශේෂයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිබඳව එම වාර්තාවේ සඳහන් කරුණු සහ නිර්දේශයන් පිළිබඳව ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සිය දැඩි අවධානය යොමු කරන ලදී.

ඉහතින් සදහන් කරන ලද මෙම ප්‍රහාරය පිළිබදව කරුණු විමර්ශනය කර වාර්තා කිරීම සදහා ජනාධිපති කොමිෂන් සභාව අප පක්ෂයේ නායක හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2019 සැප්තැම්බර් 22 දින පත් කරනු ලැබූයේ මූලික අපේක්ෂාවන් කිහිපයක් ‍පෙර දැරි කර ගෙනය. පහත කරුණු ඒ අතර ප්‍රධාන විය.

    මෙම ප්‍රහාරය පිටු පස වූ දේශීය සහ විදේශීය බලවේග හදුනා ගැනීම.

    එකී බලවේගවල ප්‍රමුඛ අරමුණු සහ ප්‍රාර්ථනා තේරුම් ගැනීම.

    මෙම ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාවට නැංවීම සදහා සෘජුව හෝ වක්‍රව දායකත්වය සැපයූ පුද්ගලයින් හෝ කණ්ඩායම් පවත්නා නීතිය හමුවට පැමිණවීම සදහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම.

කෙසේ වුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ධූර කාලය අවසන් කිරීමට පෙර එම වාර්ථාව අවසන් කර ඉදිරිපත් නොවූ අතර, ඉන්පසු ජනාධිපති තනතුර සදහා පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතේ එම කොමිෂන් සභාව ක්‍රියාත්මක විය. කොමිෂන් සභාව විසින් පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20 දින ද, දෙවන අතුරු වාර්තාව 2020 මාර්තු 02 දින ද, භාර දෙන ලද අතර අවසන් වාර්තාව 2021 පෙබරවාරි 01 දින ද, භාර දී ඇත. එම වාර්තාව පිටු 472කින් ද, ඇමුණුම් 215කින් සහ වෙළුම් 06 කින් ද සමන්විතය. කෙසේ වෙතත් මේ දක්වා මෙම වාර්තාව පුළුල් මහා ජන පරිශීලනය සදහා විවෘතව නොමැත.

මෙම කාර්ය සිදු වන්නේ මෙම වාර්තාවෙන් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමෙන්තු කාරක සභාව පිළිබදව ද විශාල සමාජ කතිකාවතක් ඇතිව තිබෙන මොහොතකය. දැනටමත් සමගිජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ රටේ ගරුතර මහා සංඝ රත්නය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ, පාස්කු ‍කොමිෂන්සභා වාර්තාව අසම්පූර්ණ සහ කොමිෂන් සභාව පත් කිරීමෙන් බලා‍පොරොත්තු වූ කාරණා ඉටු වී නොමැති බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද, විධායක සභාව ද, වාර්තාවේ අන්තර්ගතය සහ නිර්දේශ පිළිබදව වාර්තා වන කරුණු දැඩිව සංවාදයට බඳුන් කරමින් සිටින අතර එහිදී පහත කරුණු අප අවධානයට ලක්ව ඇත

 මෙම කොමිෂන් සභාව ස්ථාපිත කළ අරමුණු සාධනය සඳහා සාධනීය පිළිතුරු, නිගමන සහ නිර්දේශ මෙම වාර්ථාවේ අඩංගු නොවන බව අප පක්ෂයේ පොදු මතය වේ.

 මෙම කොමිෂන් සභාව ස්ථාපිත කිරීමෙදී ඊට පවරන ලද විෂය සීමාව ඉක්මවා ඔවුන්ගේ නිගමන සහ නිර්දේශ ඉදිපත් කර ඇත.

 විෂය පථයට කිසි ලෙසකින්වත් අදාළ නොවන කරුණු පිළිබදව විමර්ශනය කර නිර්දේශ ඉදිපත් කර ඇත. උදාහරණ - මුස්ලිම් අන්තවාදී සංවිධාන පීළිබද තීරණාත්මක ලෙස කරුණු හෙලිකල බොදුබල සේනා සංවිධානයේ නායක අතිපූජ්‍ය ගලබොඩ අත්තේ ඥණසාර හිමියන් පිළීබද වන නිර්දේශ

 තවද කොමිෂන් සභා වාර්තාවේ 309 වන පිටුවේ මෙසේ සඳහන් කර ඇත. "සාක්ෂි සළකා බැලීමේ දී අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක්වූ ලිහිල් බව එවකට රජය ක්‍රියාශීලී පියවර ගැනීමට අපෝසත්වීම ප්‍රධාන හේතුවක් බව පරීක්ෂණ කොමිෂන් සභාවේ මතයයි." නමුත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිබදව කොමිෂන් සභාව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එරෙහිව පමණක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද්විත්ව ප්‍රමිතියකින් සැළකීමක් බවත් පැහැදිළි වේ. 

 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නීතිය සහ සාමය අමාත්‍යාංශය තමා වෙත පවරා ගන්නේ 2018 ඔක්තොබර් 30 දින දීය. ඇත්ත වශයෙන් එතුමා මෙම අමාත්‍යාංශයෙ වගකීම භාර ගෙන කටයුතු කර ඇත්තේ මෙම ප්‍රහාරය එල්ලවන දිනය දක්වා මාස 05කුත් දින 20ක පමණ කාලයක් පමණි. මීට පෙර මෙම අමාත්‍යාංශය භාරව සිටි කිසිදු මැති ඇමැතිවරයෙකුට මෙම සිද්ධිය පිළිබදව කිසිදු වගකීමක් මෙම කොමිසමේ විසින් පවරා නැත
 
 ප්‍රහාරය සැලසුම් කළ අයවලුන්, බෝම්බ කරුවන් ප්‍රහාරය සදහා මුල්‍ය ශක්තිය සැපයු පාර්ශවයන් සහ ඔවුනට ආරක්ෂාව සැපයු අය වාර්තාව මගින් සැලකිල්ලට භාජනය කර නැත.

 පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් දේවස්ථාන ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමේ දී හමුවු ආයුධ, නැව් මගින් ආනයනය කර ඇති බවට තොරතුරු ඇතත් වාර්ථාව එහි ගැඹුර සොයා යන්නේ නැත.

 මෙම ප්‍රහාරයේ මරා ගෙන මැරෙන ප්‍රහාරකයකු වන අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන් නැමැත්තාගේ බිරිද වන "සාරා" නොහෙත් පුලස්තිනී රාජේන්ද්‍රන් නැමැත්තිය දිගු කලක් මඩකලපුව ප්‍රදේශයේ සැගව සිට ඉන්දියාවට පලා ගිය අතර ඒ පිළිබදව විමර්ශනය කිසිදු සැලකිල්ලක් නොදක්වනවා පමණක් නොව එම නිසාම අනාවරණය කර ගත හැකිව තිබු තොරතුරු නොසලකා හරීනු ලබයි.

පාස්කු ප්‍රහාර දිනට පෙර නාමල් කුමාර නැමැත්තෙකු කරළියට විත් එවකට ජනාධිපති සහ අප නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද, එළබීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස නම්ව සිටී ගෝඨාභය රාජපකෂ මැතිතුමා ද යන දෙදෙනා පිළිබඳ ඝාතන කුමන්ත්‍රණයක් හෙළි කරන ලද අතර ඒ සඳහා ප්‍රබල පාතාල මැදිහත්වීමක් පිළිබදව දක්වන ලදී. පසුව ඒ හා සම්බන්ධ යැයි විදේශීය ජාතිකයකුගේ නම කිය වුණ ද ප්‍රබල මැදිහත්වීමක් මත ඔහු පසුව නිදහස් කෙරුණි. වාර්තාව මෙම සිද්ධිය අවධානයට ලක් නොකරයි.

ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කරන ලද එකී කොමිෂන් සභාවේ විෂය පථය පිළිබඳව සළකා බැලීමේදී පැහැදිළිවම එකී කොමිෂන් සභාව විසින් රාජ්‍ය සේවකයින් නිලධාරීන් වශයෙන් සිටි හෝ දැනට සිටින තැනැත්තන් මෙම සිද්ධි දාමයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධතා ඇත්දැයි සොයා බලා වාර්තා කරන ලෙස නියෝග කර ඇත. 

එම කොමිසමට ලබා දුන් බලතල අනුව කිසිසේත්ම රාජ්‍ය නායකයා හෝ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ ක්‍රියාකලාපයන්ට හෝ ඔවුන් වෙත පැවරී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගකීම් ක්‍රියාත්මක කිරීමට අදාළව හෝ වගකීම් පැහැර හැරීම පිළිබඳව හෝ පරීක්ෂණ පැවැත්වීමට කිසිඳු බලයක් නොමැති බව පැහැදිළිවම නිරීක්ෂණය වේ. 

එහෙයින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිබඳව කර ඇති ප්‍රකාශයන් කොමිෂන් සභාව වෙත පවරන ලද බල සීමාවට නොවැටෙන එමගින් ඔබ්බට ගිය ක්‍රියාමාර්ගයක් බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව තරයේ ප්‍රකාශ කර සිටී. තවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිබදව කර ඇති බොහෝ ප්‍රකාශයන් උපකල්පන මත පදනම් වූ ප්‍රකාශ බව පැහැදිළිය. 

මෙම කොමිෂන් සභා වාර්තාවේ 292 පිටුවේ සඳහන් වන පරිදි ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහරාන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට තරයේ උපදෙස් දුන් බවත් ජනාධිපතිවරයාගේ මෙවැනි උපදෙස් ලැබුණ බව රාජ්‍ය බුද්ධි අංශයේ නිලන්ත  ජයවර්ධන මහතා සනාථ කර ඇති බවත් මෙම ප්‍රකාශයේ දැක්වේ. (පිටු අංක 292 සහ 293)

කරුණු මෙසේ තිබිය දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය රාජකාරී සහ වගකීම් පැහැර හැර ඇති බවත්, එම තත්ත්වය හුදෙක් සිවිල් නොසැලිකිලිමත් බව ඉක්මවා යන බවත් පරීක්ෂණ කොමිෂමේ අදහස බව ප්‍රකාශ කර ඇත. යම් කෙනෙකු විසින් වගකීම පැහැර හැරීම ඔහුගේ සිවිල් නොසැලිකිලිමත් භාවය ඉක්මවා යන්නේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයකි.

එසේම කොමිෂන් වාර්තාවේ 296 වන පිටුවේ සදහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දියාවට සහ සිංගප්පූරුවට යන අවස්ථාවන්හි දී ආරක්ෂක අමාත්‍ය ධූරය සදහා වැඩ බලන පත් වීමක් ලබා නොදීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවය. එම පිටුවේම ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වැඩ බලන පත් වීමක් සිදු කිරීම හුදු අභිමතයක් පමණක් බව ප්‍රකාශ කර ඇත.

තවද පාස්කු කොමිෂන් සභා වාර්තාව 487 වන පිටුවෙහි මෙසේ දැක්වේ. "ඔහු හෝ ඇය විදෙස් ගත වන්නේ නම් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයකු පත් කිරීම ජනාධිපතිවරයාට අනිවාර්ය කිරීම සදහා ව්‍යවස්ථාමය විධිවිධාන පැන විය යුතුය. ආර්කෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සතු සියලු බලය වැඩ බලන අමාත්‍යවරයාට තිබිය යුතුය. ජාතික ආරක්ෂක මණ්ඩලය කැදවා උපදෙස් දීමට වැඩ බලන අමාත්‍යවරයාට බලය තිබිය යුතුය." මෙයින් පැහැදිළිව දැක්වෙන්නේ වැඩ බලන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයකු පත් කිරීමට බලය පැවරෙන නීතිමය ප්‍රතිපාදන අප ව්‍යවස්ථාවේ නොමැති බවයි. එසේ පත් නොකිරීම පිළිබදව ජනාධිපතිතුමාට සාපරාධී වගකීමක් පැවරෙන්නේ කෙසේද..?

අභිමතානුසාරී බලය  ක්‍රියාත්මක නොකිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ කෙසේ වරදක්වේ ද යන්න දැඩි සේම අවිනිශ්චිතතාවයකි. ජනාධිපතිවරයෙක් තමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල සහ වගකීම ක්‍රියාත්මක නොකිරීම කිසිසේත් ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට කරුණක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව තරයේ පෙන්වා දෙනු ලැබේ. 

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා පැහැදිළිව සිය වගකීම් ඉටුකර ඇති බව මෙම වාර්තාවෙන්ම පැහැදිළි වන අතර, එතුමාට එරෙමහිව කිසිදු අපරාධ නඩුවක් පැවරීමට නීතිමය වශයෙන් හෝ කරුණු වශයෙන් ඉඩකඩ නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කරයි. විධායක ජනාධිපතිවරයෙකුට එරෙහිව යම් පැහැර පැහැරහැරීමක් මත අපරාධ නඩු පැවරිය යුතු යැයි තීරණය කරන ලද සංකල්පය අහිතකර පූර්වාදර්ශයක් වන අතර එම සංකල්පය රාජ්‍ය නායකයෙකු වෙත ව්‍යවස්ථාවෙන් ලබා දෙන ලද බලය හෑල්ලු කිරීමකි.

ඇමරිකා එක්සත් ජනපදයේ සැප්තැම්බර් 11 වන දින පෙන්ටගනයට ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව වූ පරීක්ෂණ කමිටුවේ දී එකී ප්‍රහාරය පිළිබදව පූර්ව තොරතුරු ඇමරිකානු රාජ්‍ය අංශයන්ට ලැබී තිබුණ බව සනාථ වී ඇත. එහෙත් ඒ පිළිබඳව ක්‍රියාත්මක නොවීම මත ඇමරිකානු ජනාධිපතිවරයාට හෝ බුද්ධි අංශ සාමාජිකයන්ට චෝදනා ගොනු කිරීම එම පරීක්ෂණ කමිටුව අනුමත නොකරන ලදී.

නවසීලන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ද කරන ලද පරීක්ෂණවල දී ඒ පිළිබඳ පූර්ව තොරතුරු එරට ආරක්ෂක අංශවලට ලැබී තිබුණ බව සනාථ වුවත් ආරක්ෂක අංශවලට එරෙහිව සාපරාධි නඩු පැවරීමක් සිදු නොවීය. ත්‍රස්තවාදීන් විසින් කරනු ලබන ත්‍රස්ත ක්‍රියාවන් පිළිබදව ලොව පුරා පිළගත් වගකීම් පිළිබද ඇති සම්ප්‍රදායන් අනුව රාජ්‍ය නායකයින්ට හෝ දේශපාලන අධිකාරීන්ට එරෙහිව සාපරාධි අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමේ නීතිමය සම්ප්‍රදායක් නොමැති අතර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉලක්ක කර ගනිමින් කරනු ලබන මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් අනාගතයේ දී ඕනෑම රාජ්‍ය නායකයෙකුට එරෙහිව සාපරාධි චෝදනා ගෙන ඒමේ පූර්වාදර්ශයක් ස්ථාපිත වන බව ද, එම තත්ත්වය ඉතා භයානක සහ අදූරදර්ශී ක්‍රියාවලියක් බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරියේදී මෙම වාර්තාව පිළිබදව ගැඹුරු අධ්‍යයනයක්‍‍ සිදු කොට ඒ පිළිබදව වි‍‍‍ශේෂ ප්‍රකාශයක් කරන බවත්, 1978 වසරේ  මෙරටට හදුන්වා දුන් ජනාධිපති ආණ්ඩුක්‍රමය යටතේ ප්‍රථම වතාවට මානව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලාංකික සමාජයට හදුන්වා දෙමින් යහපත් නිදහස් සමාජයක් මෙරට ස්ථාපිත කිරීමට බිහිවූ ප්‍රථම ගැමි ගොවි නිර්ප්‍රභූ ජන නායකයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පිළිබද කර ඇති නිර්දේශ තරයේම ප්‍රතික්ෂේප කරන අතරම ඊට අමතරව කොමිසමේ නිර්දේශ බහුතරයක් ද ප්‍රතික්‍ෂේප කරන බව දැනුම් දෙන්නෙමු.

අසම්පූර්ණ සහ තමා වෙත ලබා‍ දෙන ලද විධානය පරිදි  සකස් නොකරන ලද පාස්කු කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීම හැර ‍වෙන කළ යුතු කිසිවක් ‍නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාව ඒකමතිකව තීරණය කළ බව මෙසේ නිවේදනය කර සිටිමු.
 

Advertiesment