Friday 26th of April 2024

English Tamil
Advertiesment


රුවන්ගේ කල්ලිය රනිල්ගෙන් කැපෙයි


2021-01-12 7717

එජාපයේ තනතුරු නැහැ-අභ්‍යන්තරයෙන් දැඩි විරෝධයක්

 

සැඟ වුණු න්‍යාය පත්‍ර-යටි අරමුණු මාට්ටු 

 

රනිල්ට පැමිණිලි-රුවන්ටත් චෝදනා 

 

වැඩිම විරෝධය ආශුට

 

සන්දිත්-සමන් අනාථයි 

 

හොර මහැදුරු ආශු විමල්ගේ ඔත්තුකරුවෙක්ලු..!

 

(සුජිත් මංගල ද සිල්වා)

 

 


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වටා එකට ඒකරාශී වී සිටින කණ්ඩායමට එරෙහිව එම පක්ෂය අභ්‍යන්තරයේ මේ වන විට දැඩි විරෝධයක් මතු වෙමින් තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් බහුතරයකගේ සේම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ද, ජාතික යොවුන් පෙරමුණේ ද, ජාතික සේවක සංගමයේ සහ ජාතික නීතීඥ සංගමයේ ද ප්‍රබල ක්‍රියාකාරීන් රැසකගෙන් මේ විරෝධය එල්ල වෙමින් පවතින්නේ ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය, කස්තුරි අනුරාධනායක, සන්දිත් සමරසිංහ සහ ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් වෙතය.

ඊට හේතු වී තිබෙන්නේ රුවන් විජයවර්ධන මහතා කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත් කර එම පක්ෂයේ තනතුරු බෙදා ගැනීමේ යටි අරමුණින් යුතුව මෙම කණ්ඩායම සිදු කරන ක්‍රියා, කරන කතා සහ ඒ අයගේ හැසිරීම් විලාශය හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ අසමගිය වර්ධනය වී තව තවත් අර්බුද සහ ගැටුම් ඇති වෙමින් පැවතීමය. 

මේ තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් වගේම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ද, ජාතික යොවුන් පෙරමුණේ ද, ජාතික සේවක සංගමයේ සහ ජාතික නීතීඥ සංගමයේ ද ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී කියා තිබෙන්නේ පෞද්ගලික න්‍යාය පත්‍ර යටතේ යටි අරමුණු ඇතිව ක්‍රියා කරමින් පක්ෂ අභ්‍යන්තරයේ අසමගිය වර්ධනය කර තව තවත් අර්බුද සහ ගැටුම් නිර්මාණය කරන මේ කණ්ඩායමට පක්ෂයේ කිසිදු තනතුරක්, වගකීමක් සහ බලයක් ලබා නොදිය යුතු බවය. 

මෙම කණ්ඩායමට කිසිම හැකියාවක්, දක්ෂකමක්, වැඩ පිළිවෙළක් සහ දැක්මක් නොමැති අතර එක්සත් ජාතික පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කිසිදු සාධනීය මෙහෙවරක් සිදු කර නොමැති බව ද එම අදාළ ප්‍රබලයින් රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පෙන්වා දී ඇත.

රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට පත් වුණාට පසුව මෙම කණ්ඩායම ඔහු වටා රෝද බැඳ ගත්තේ ඔහුට හෝ පක්ෂයට තිබෙන ආදරයකට නොව, 2021 ජනවාරි මාසයේ දී ඔහු පක්ෂයේ නායකයා වනු ඇතැයි සිතා ගෙන යැයි ද, ජනතාව අතර පිරිහීමට ලක්ව සිටින මෙම කණ්ඩායම ළඟට ගෙන ඔවුන් සමග රට පුරා සවාරි ගැසීමෙන් රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රතිරූපයට හානි වූයේ යැයි ද, එමනිසා පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතා මීට වඩා වගකීමකින් යුතුව දුර දිග බලා කටයුතු කළ යුතු යැයි ද ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා සමග කියා ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අදාළ ප්‍රබල ක්‍රියාකාරීන් සමග කියා තිබෙන්නේ මේ සම්බන්ධයෙන් තමා රුවන් විජයවර්ධන මහතාට කල් ඇතිවම උපදෙස් ලබා දී තිබෙන බවය. මේ කණ්ඩායම එක්ක රට වටා නොයා යුතු බවටත් පක්ෂයේ සංවිධාන කටයුතු සඳහා රට වටා යද්දී ඒ ඒ දිස්ත්‍රික්වලට යා යුත්තේ ඒ ඒ දිස්ත්‍රික් නායකයින් එක්ක පමණක් බවටත් තමා රුවන් විජයවර්ධන මහතාට උපදෙස් ලබා දී තිබෙන බව මෙහිදී පෙන්වා දී ඇති රනිල් වික්‍රමසිංහ මහතා එක් වරක් රුවන් විජයවර්ධන මහතා සමග මහනුවර ගොස් සිටී ආශු මාරසිංහ මහතාව වහාම කොළඹ කැඳවීමට තමා ක්‍රියා කළ ආකාරය ද සිහිපත් කර තිබේ. තමා එසේ කළේ මහනුවර එදා පැවැති ඒ රැස්වීමේ දී ආශු මාරසිංහ මහතාට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කිරීමට තරුණ තරුණියන් ඇතුළු පාක්ෂිකයින් පිරිසක් සැලසුම් කර ඇති බවට තමාට තොරතුරු වාර්තා වූ නිසා යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ප්‍රබලයින් සමග වැඩි දුරටත් සඳහන් කර ඇත. 

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයෙන් මේ වන විට වැඩිම විරෝධයක් එල්ල වෙමින් පවතින්නේ ආශු මාරසිංහ මහතාට වන අතර එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් "lankanewsweek" සමග කියා සිටියේ ඔහු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ සහ ආණ්ඩුවේ ඔත්තුකරුවෙකු විය හැකි බවය. 

2021 ජනවාරි මාසය වන විට රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා කර රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ අනුශාසක හෝ ජ්‍යෙෂ්ඨ නායකයා ලෙස තබා ගන්නා බවට ආශු මාරසිංහ මහතා ප්‍රසිද්ධ රූපවාහීනී වැඩ සටහනක දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද බරපතළ ප්‍රශ්නයක් සහ සැකයක් මතුව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ද ඔහු වෙත දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින අතර මේ සියලු කරුණු කාරණා සහ තත්ත්වයන්ට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු කරවා ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය, කස්තුරි අනුරාධනායක, සන්දිත් සමරසිංහ සහ ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් වෙත එල්ල වෙමින් පවතින මෙම දැඩි විරෝධය හමුවේ එම කණ්ඩායම ඈත් කර තැබීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් පියවර ගනිමින් සිටින බව ඔහුගේ අතිශය පෞද්ගලික සමීපතමයෙක් "lankanewsweek" සමග පැවැසීය. 

Advertiesment