Friday 26th of April 2024

English Tamil
Advertiesment


රනිල් රකින වජිරගේ ආණ්ඩු කොන්ත්‍රාත්තුව මාට්ටු 


2020-11-29 7715

මහා සංඝ රත්නය වජිර කෙරෙහි උදහස් වෙති

 

රනිල් රැකීම වෙනුවෙන් ආණ්ඩුවට හිතවත් මාධ්‍යයෙන් වජිරට ලොකු අනුග්‍රහයක් 

 

වළව්වේ මුර වැඩේ වජිර අකුරටම කරයි

 

පීඩකයෙකු වන්නේ පීඩිතයෙකුම තමයි

 

දෙවරක්ම ජනතාව ප්‍රතික්ෂේප කළ වජිර එජාප නායකයා තෝරන්නේ කොහොමද..? 

 

වජිර ගැන "සිරිකොත" තරුණ තරුණියන්ගෙන් මනෝ විශ්ලේෂණයක්

 

 

 

(සුජිත් මංගල ද සිල්වා) 

    

එක්සත් ජාතික පාක්ෂිකයින් ප්‍රධාන රටේ සමස්ත ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා තරයේ සහ දැඩිව ප්‍රතික්ශේෂ කර තිබිය දී ඔහු තව දුරටත් එම පක්ෂයේ නායකත්වය දැරිය යුතු බවට වජිර අබේවර්ධන මහතා කරන ප්‍රකශය සම්බන්ධයෙන් මහා සංඝ රත්නය දැඩි විරෝධය ප්‍රකාශ කර සිටිති.

ජනතාගෙන් දෙවරක්ම ප්‍රතික්ෂේප වූ, සිය ආසනයවත් දිනා ගැනීමට නොහැකි වූ සහ කිසිදු ජන පදනමක් නොමැති වජිර අබේවර්ධන මහතා, එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකත්වය සම්න්බධයෙන් එවැනි ප්‍රකාශයක් කරන්නේ කිනම් පදනමක් යටතේ ද, ඒ කෙසේද සහ එසේ කියන්න ඔහු කවුරුන්ද යනුවෙන් ද මහා සංඝ රත්නය ප්‍රශ්න කර සිටිති.

ගාලු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කරන මේ ප්‍රකාශය සම්බන්ධයෙන් "lankaneswesweek" කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින්, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක, තිස්සව රජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී ගෞරව සහ ශාස්ත්‍රපති පණ්ඩිත මුගුණුවටවන සිද්ධත්ත නා හිමියෝ මෙසේ අවධාරණය කළහ.  

"එක්සත් ජාතික පාක්ෂිකයින් ප්‍රධාන රටේ සමස්ත ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා තරයේ සහ දැඩිව ප්‍රතික්ශේෂ කර තිබිය දී ඔහු තව දුරටත් එක්සත් ජාතික පක්ෂය නායකත්වයේ රැදී සිටිය යුතු යැයි වජිර අබේවර්ධන මහතා කියා සිටින්නේ කෙසේද..? එසේ කියන්න ඔහු කවුද..? ඔහුට තිබෙන පදනම කුමක්ද..? මේ මහා මැතිවරණයේ දී එකම පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක්වත් දිනා ගත නොහැකි ආකාරයට ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් කරමින් දේශපාලන පාලන කුණු කූඩයට එම පක්ෂය වීසි කර දැමීමට ජනතාව ක්‍රියා කළේ මේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව නොවේද..?

සිය ආසනයවත් බේරා ගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වීමට නොහැකි දේශපාලන නායකයෙකුගෙන් ඇති ඵලය කුමක්ද..? ජනතාව තමා ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ තමාට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නම් ඒ ජන මතයට හිස නමා ලෝකයේ කොතෙකුත් රටවල ඕනෑම තරම් දේශපාලන නායකයින් සිය තනතුරු සහ වගකීම්වලින් ඉල්ලා අස් වන බව අප දැක තිබෙනවා.

එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා පමණක් එසේ එම ජන මතයට ගරු කර නොකර ජනතාව මතය නොතකා ඊට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේම එල්ලී සිටින්නේ ඇයි..? මහා මැතිවරණයෙන් ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව පවා මෙතෙක් නිශ්චිත තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි වී තිබෙනවා. මේ මහා විගඩම කුමක්ද..? මේ තත්ත්වය ඇත්තටම විහිළුවක්..! ඇත්තටම එක්සත් ජාතික පක්ෂය මේ වන විට අපවත් වෙලා. 

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ මේ සියල්ල සිදු වන්නේ සල්ලි, බලය, කූට දේශපාලන ගනුදෙනු, උපාය උපක්‍රම සහ අතිශය සටකපට කපටි කෛරාටික සූත්තර අනුවයි. සියලු දෙනා පොදුවේ සාකච්ඡා කර පොදු එකඟතාවයකට පැමිණ නව නායකත්වය සඳහා සුදුස්සෙකුගේ නමක් ඉදිරිපත් කරන්නේ නම් තමා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව මුලින්ම කියමින් රනිල් වික්‍රමසිංහ මහතා බෝලය "Pas" කළේ මේ පසුබිම මතයි. රනිල් වික්‍රමසිංහ මහතා මුලින්ම ඒ කතාව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිටින ප්‍රබලයින් අතර නායකත්වය වෙනුවෙන් ගැටුමක් සහ තරඟයක් ඇති කිරීම සඳහායි. ඒ ඇති වන නොනතිවන ගැටුම, අරගලය, අර්බුදය සහ තරඟය අස්සේ ඒ සියලු ප්‍රශ්න විසේඳෙන තුරු කිය කියා තමාට පක්ෂ නායකත්වය තව දුරටත් අල්ලා ගෙන සිටීමට හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා දන්නවා.

කාලයක් මුළුල්ලේ තමා කර ගෙන ආ සියලු ව්‍යාපාරය භාර දීම සඳහා කවුරුන් හෝ එක සුසුදුස්සෙකු පමණක් ඉදිරිපත් වන ලෙස සැබෑ පියෙකු තම දුදරුවන් කැඳවා කියා සිටියි..? එහෙම වුණාම ඒ පවුලේ ඇති වන්නේ ආරවුලක් නොවේද..? ඒ ඒ ව්‍යාපාර තම තමාට භාර දෙන්නැයි පියාට බලපෑම් කරමින් ඉල්ලමින් ඒ දුරුවන් කුලල් කා නොගනීද..? සැබෑ පියෙකු එසේ කරන්නේ නැහැ. සුදුසු දරුවට සුදුසු දායාදය පවරා දෙනවා. කෘතහස්ථ, දුරදර්ශී සහ අවංක දේශපාලන නායකයින් කරනේත් එහෙම තමයි.

රනිල් වික්‍රමසිංහ රකින්න වජිර අබේවර්ධන මේ තරම් කුලප්පුවකින් දඟලන්නේ එක්සත් ජතික පක්ෂ නායකත්වය ඔහුට ලබා දෙන බවට රනිල් වික්‍රමසිංහ දී ඇති පොරොන්දුව මතයි. වජිර අබේවර්ධන කියන්නේ ගාලු ජනතාව හැමදාම තරයේ ප්‍රතික්ෂේප කරන මිනිහෙක් නේ..! ජන පදනමක් නැහැ. මේ සැරේ විතරක් නොවෙයි...2010 දී පවා දකුණේ ජනතාව ඔහුව අන්ත ලෙසම පැරදුවා නේ..!

මේ අතර රනිල් වික්‍රමසිංහ සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් සම්බන්ධයෙන් ගරුතර මහා සංඝ රත්නය දරන ස්ථාවරය  එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත එක්සත් ජාතික භික්ෂූ පෙරමුණ, සන්නිවේදන බලකාය සහ ජාතික යොවුන් පෙරමුණ ඇතුළු ඒ ඒ සංවිධානවල නායකයින් සේම ප්‍රබලයෝ ද අනුමත කර සිටිති.

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජනතා විමික්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සංවිධානය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන සියලු දේශපාලන පක්ෂ, සංවිධාන, කණ්ඩායම් සහ බලවේග පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, මානව හිම්කම්, යහ පාලනය සහ ජනයාගේ ආර්ථික යුක්තිය රජ කරවන දුෂණයට, භීෂණයට සහ මර්දනයට එරෙහි සාධාරණ සමාජයක් වෙනුවෙන් සියලු ආගමික, සමාජ, දේශපාලනික සහ සංස්කෘතික බලවේග එකට ඒකරාශී වී අනාගත පපුර වෙනුවෙන් රට-ජාතිය යළි ගොඩනැගිය යුතු කාලය එළැඹ තිබෙන බව බව මහා සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් ද, දේශපාලන විචාරකයින් සහ සිවිල් ක්‍රියාකාරීන් ද,පෙන්වා දෙති.

රට-ජාතිය වෙනුවෙන් මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු ප්‍රගතිශීලී බලවේග එකට ඒකරාශී කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජන මතය නොතකා ඊට අවඥා කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී, අත්තනෝමතික සහ පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් පක්ෂ නායකත්වයේ බලහත්කාරයෙන් රැදී සිටිමින් කිසිදු සාධනීය, විධිමත් සහ සාධාරණ ක්‍රියා මාර්ගයක් නොගෙන කල් මැරීම නිසා බවට ද ඔවුහූ චෝදනා කර සිටිති.
 
එමගින් රනිල් වික්‍රමසිංහ සහ ඔහුට සිය පූර්ණ අනුග්‍රහය දක්වන වජිර අබේවර්ධන යන මහත්වරුන්, ඉටු කරන්නේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය පුළුල් බලවේගයක් ලෙස ගොඩනැගීමට ඉඩ නොතබන දේශපාලන කොන්ත්‍රාත්තුවක් බව එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත සන්නිවේදන බලකෙයේ සහ ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් සේම "සිරිකොත" මූලස්ථානයේ දේශපාලන ක්‍රියාකාරීහූ පෙන්වා දෙති.

ඊට හොඳම උදාහරණය වන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් වහාම ඉල්ලා අස් විය යුතු බවට මුළු රටම කියා සිටිද්දී, ඔහු තව දුරටත් පක්ෂ නායකත්වයේ සිටිය යුතු බව ප්‍රකාශ කරමින් පක්ෂ අභ්‍යන්තරය අවුළුවා, අර්බුදය උග්‍ර කර පක්ෂය කෑලී කෑලීවලට කැඩීමෙන් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විපක්ෂයක් රටේ ගොඩනැගීම වැළැක්වීම සඳහා වජිර අබේවර්ධන මහතා ගෙන යන ව්‍යාපාරයට වැඩිම ප්‍රචාරයක් ලබා දේනේ ආණ්ඩුවට හිතවත් "දෙරණ", "හිරු", "ජාතික රූපවාහිණිය", "ස්වාධීන රුපවාහිණිය", "මව්බිම", "දිනමිණ", "අරුණ" සහ "දිවයින" යන ජනමාධ්‍ය ආයතනවලින් වීම බව ද සන්නිවේදන බලකායේ සහ ජාතික යොවුන් පෙරමුණේ එම තරුණ තරුණියෝ අවධාරණය කර සිටිති.

වජිර අබේවර්ධන මහතාගේ නිල "facebook" පිටුවට පිවිසුණාම ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකි බව පෙන්වා දෙන සන්නිවේදන බලකායේ සහ ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියෝ, එක්සත් ජාතික පක්ෂයේ උරුමය තව දුරටත් රදළ වාදයට, වලව් වාදයට සහ පවුල් වාදයට යට නොකර එම උරුමය තැලෙන-පොඩි වෙන පොදු ජනයා වෙත ලබා දීමට කරන පොදු ජන අරගලයට එරෙහි වීමෙන් පැහැදිළි වන්නේ,රදළ වාදය, වලව් වාදය සහ පවුල් වාදය කෙරෙහි වජිර අබේවර්ධන මහතාගේ අවිඥානික දේශපාලන වහල් භාවය යැයි ද පැහැදිළි කර සිටියහ. 

වජිර අබේවර්ධන මහතා උපතින් රදළයෙකු හෝ වලව්කරයෙකු නොවන අතර ඒ නිසාම මේ දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික ක්ෂේත්‍රවල දී ඔහු ඕනෑ තරම් පීඩා, අභියෝග, ප්‍රශ්න, අසාධාරනකම් සහ නොසලකා හැරීම් ආදියට ලක්ව තිබිය හැකි බව ද, ඉතිහාසයට අනුව වරෙක පීඩකයෙකු වන්නේ තවත් වරෙක පීඩිතයෙකුවම සිටී අයෙකු බව ද එම තරුණ තරුණියෝ වැඩි දුරටත් පෙන්වා දුන්හ.   

 

  
 

         

    

Advertiesment