Friday 26th of April 2024

English Tamil
Advertiesment


දූෂණය පිටු දැකීමට අවශ්‍ය නම් ප්‍රසම්පාදන පනත බල ගන්වනු


2020-11-19 7701

 ජාතික ප්‍රසම්පාදනයක වැදගත්කම ගැන අධිකරණ දැනුමේ තරම මෙන්න 

 

ප්‍රසම්පාදන පනත යට ගැසුවේ ටෙන්ඩර් මාෆියාවයි 

 

රටේ ටෙන්ඩර් මාෆියාවේ තරම මෙන්න 

 

ජාතිය අමතා ජනපති කළ කතාවට කරු උත්තර දෙයි 

 

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

දූෂණය පිටු දැකීමට ජනාධිපතිවරයාට අවංක සහ සැබෑ අවශ්‍යතාවක් තිබෙන්නේ නම් ඔහු කළ යුත්තේ ජාතික ප්‍රසම්පාදන පනත වහාම ක්‍රියාත්මක වන පරිදි රටේ බලාත්මක කිරීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති සහ හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

කොළඹ, "ජානකී" හෝටලයේ බ්‍රහස්පතින්දා (19) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ, රටේ දූෂණය පිටු දැකීමේ දැඩි අවශ්‍යතාවක් තමාට තිබෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් බදාදා (18) සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු දක්වමිනි.

ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන කිසිවක් නොදැන, ජාතික ප්‍රසම්පාදන පනතින් අවුරුදු පහක් මුළුල්ලේ රටට සිදු වූ සේවය කුමක්දැයි යනුවෙන් රටේ අධිකරණ ඇමතිවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ප්‍රශ්න කිරීම ගැන අතිශයින් කණගාටු වන බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා, එම ප්‍රකාශය මගින් ඔහු උත්තරීතර පාර්ලිමේන්තුව සේම මහා ජනතාව නොමඟ යැවූ බවට ද චෝදනා කළේය.

 එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දේශබන්දු කරු ජයසූරිය මහතා  කීය.  

අතිගරු ජනාධිපතිතුමා බදාදා (18) සිදු  කරන ලද ජාතිය ඇමැතීමේ කතාවට අප සවන් දුන්නා. එතුමාගේ පදවි ප්‍රාප්ති සංවත්සරයට අපද සුභ පතනවා.
එම කතාවේදී එතුමා ඉතාමත් ප්‍රසාදයෙන් යුතුව සදහන් කළ එක් කාරණයක් පිළිබදව අපගේ අවධානය යොමු වුණා.

එහිදී එතුමා සදහන් කළේ එතුමාගේ පාලනය යටතේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ බවයි. අප එය අගය කරනවා.
ඒ සමගම අප එහිදි මේ රටේ ජනතාවට සිහි පත් කළ යුතු කාරණයක් තියෙනවා. එක්තරා කාලයක සිට මේ රටේ මැතිවරණ ක්‍රමය කෙරෙහි ජනතාව සිටියේ ඉතාමත්ම අප්‍රසාදයකින් සහ බරපතළ වේදනාවකිනුයි. 

වයඹ පළාත් සභා මැතිවරණය ඊට කදිම උදාහරණයක් බව කිව යුතුයි. වෙන එකක්‌ තබා 2015 ජනාධිපතිවරණය කෙරෙහි කරුණාකර අවධානය යොමු කරන්න. එහිදී මනුෂ්‍ය ඝාතන සිදු වුණා. විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ රැළිවලට පහර දුන්නා. මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටියා.

එම සංස්කෘතිය වෙනස් කළේ 19 වන සංශෝධනය යටතේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමෙන් පසුවයි. අති ගරු මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ සාධාරණ සමාජයක් සදහා වන ජාතික වයාපාරයට නායකත්වය ලබා දෙමින් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සදහා ගෙන ගිය අරගලය මෙහිදී අප ගෞරවයෙන් සිහිපත් කරනවා. 

එමෙන්ම එතුමා සිය කතාවේදී මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන්ම ලබා ගන්නා බව සදහන් කළා. අති ගරු මහා සංඝ රත්නය නියෝජනය කරන උපදේශක කමිටුවක් සමග සෑම මසකට වරක්ම රැස් වන බව සදහන් කළා. අප ඒ ගැන අතිශයින්ම සතුටට පත්වනවා.
අපගේ ප්‍රසාදය පළ කර සිටිනවා.

එහිදී අප සංවිධානයේ අදහස වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේදීත් එම උපදේශක මණ්ඩලයේ අදහස් ලබා ගනිමින් මේ රටේ මහා සංඝ රත්නය ඒ පිළිබදව පළ කරන ලද අනුශාසනාවන්ට සවන් දුන්නේ නම් එතුමාට යහපත් අදහසකට එළැඹීමට හකියාව තිබුණු බවයි. ජනතාවගේ ගෞරවය වඩ වඩාත් ලබා ගනීමට හකියාව තිබුණු බවයි. 

අප මේ කරුනු සදහන් කරන්නේ ඉතාමත් සද්භාවයෙනුයි. රට ගැන යහපත් අපේක්ෂාවකිනුයි. ඒ වගේම මේ රටේ පවත්නා දුෂණ සහ වංචා තුරන් කිරීම  සදහා තමාට තිබෙන දැඩි අපේක්ෂාව පිළිබදව ද, ජාතිය අමතමින් එතුමා අවධාරණය කළා. එතුමාගේ ඒ අරමුණ ඉතාමත් වැදගත් අපේක්ෂාවක් බව කිව යුතු අතර අප ඊට ගරු කරනවා. එම කටයුත්ත සාර්ථක ලෙස ඉටු කිරීමට හැකියාව ලැබේවා යැයි ද අප අවංකවම ප්‍රාර්ථනා කරනවා. 

මෙහිදී අප පෙන්වා දෙන්නට යන කරුනු කාරණා ද එහිදී එතුමාට ඉතාමත් වැදගත් වනු ඇතැයි ද අප අපේක්ෂා කරනවා. මේ දිනවල දිනපතාම ජනමාධ්‍ය ඔස්සේ පළ වන මහා පරිමාණයේ ටෙන්ඩර් අක්‍රමිකතා ඇසෙන විට අපට දැඩි වේදනාවක් ඇති වෙනවා. ශ්‍රී ලංකාවේ ටෙන්ඩර් මගඩි මාෆියාව ඉතා බලවත් බව කිව යුතුයි. වර්තමානයේ දී ප්‍රසම්පාදන කොමිෂන් සභාව බල සහිත වූවා නම්, මෙසේ අපට ඇසෙන බිලියන-ට්‍රිලියන ගණන්වලට දිව යන මහ දවල් කොල්ලකෑම් ඇති වන්නේ නැහැ.

අපට මතක ආකාරයට 1980 දශකයේ සිට ඒ ඒ යුගයන්හි පැවති රජයන්ට මෙම මාෆියාව මර්දනය කිරීමට අවශ්‍ය වුණා. නමුත් මාෆියාවේ තිබුණ බලවත්කම නිසා එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ. අවංක මැති ඇමතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් එහිදී අසරණ වුණා.
මේ හේතුවෙන් 2015 නව රජයේ ප්‍රතිපත්ති සැකසීමේ දී  රටේ ජනතාවගේ යහපත උදෙසා පූර්ණ බලැති කොමිෂන් සභාවක් ඇති කිරීමේ වැදගත්කම රජය විසින් තේරුම් ගත්තා.

මෙම නව ප්‍රසම්පාදන කොමිසම සැකසීමේ දී ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රචලිත රටවල ඇති නවීන ක්‍රමවේද උපයෝගී කර ගත්තා.ඒ අනුව සකස් කළ ප්‍රසම්පාදන පනත උසස් ගණයේ යෝජනාවලියක් ලෙස සලකන්නට පුළුවන් බව ඉතා පැහැදිළියි. මේ කරුණු කාරණා ගැන කිසිවක් නොදැන ප්‍රසම්පාදන කොමිසම අවුරුදු 5ක් මුළුල්ලේ කළේ කුමක් දැයි කියා අධිකරණ අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටීම ගැන අප අතිශයින් කණගාටු වනවා. 

ඒ අනුව 2020.10.21 දින අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කළ කතාව උත්තරීතර පාර්ලිමේන්තුවත් මේ රටේ මහා ජනතාවත් නොමඟ යවන්නක් බව කිව යුතුයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන කොමිසම ස්ථාපිත කිරීම සඳහා ගනු ලැබූ උත්සහය අප තේරුම් ගත යුතුයි.
මෙම කොමිසමේ කටයුතු ආරම්භ කළේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ 2018.05.09 දිනැති, අංක 2070/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබීමෙනුයි.

2018 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ජනාධිපති කාර්යාලයේ සහ කැබිනට් මණ්ඩලයේ සමාලෝචනවලින් පසුව 2019 ඔක්තෝබර් 12 වන දින අංක 2144/60 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබුවා. නමුත්, එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූයේ මැතිවරණ දෙකක් ආසන්නව පැවති නිසයි. එහෙයින් එම පනතේ වලංගුභාවයට එම තත්ත්වයට බලපෑවා. මේ වෙනුවෙන් අප දැරූ උත්සාහය වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා දන්නවා. 

මේ අනුව එකී අවුරුදු 4 1/2 කට ආසන්න කාලයක් තිස්සේ මෙම පනත විවිධ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති කාර්යාලය සහ අවසානයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සිර වී තිබුණා. සමහර දෙපාර්තමේන්තුවල දී මෙම පනතට අදාළව අනිසි ලෙස ප්‍රමාද ඇති වූයේත් ටෙන්ඩර් මාෆියාව ක්‍රියාත්මක වූ නිසයි.

ලෝකය පුරා තොරතුරු තාක්ෂණය, නිෂ්පාදනය, ඉදිකිරීම්, සේවා, සැපයුම්, ජාත්‍යන්තර වෙළෙඳාම සහ එහි ආයෝජන පරිමාවන් විශාල ලෙස වර්ධනයවීම මත   ලෝකයේ බොහෝ රටවල් සිය ප්‍රසම්පාදන නීති සහ පටිපාටි ගෙවුණු දශකයේ දී නවීකරණය කර ගෙන තිබෙනවා. E- Procument සහ Green Procument වැනි නව සංකල්ප ප්‍රසම්පාදන ක්‍රියාවළියට හඳුන්වා දී එහි කාර්යක්ෂමතාවය සහ ආර්ථික ඵලදායී බව වර්ධනය කිරීමට අවශ්‍ය උපමාන හඳුන්වා දී තිබෙනවා. 

නමුත් අප රටේ සිදුවූ බොහෝ ප්‍රමාද කිරීම් සහ නිසි සැලකිල්ලක් නොදැක්වීම් හේතුවෙන් ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලිය දශක කිහිපයකින් ආපස්සට ගොස් තිබෙනවා. කණගාටුවෙන් වුවත් අප ඒ බව සඳහන් කළ යුතුයි. නමුත් එම තත්ත්වය වහාම වෙනස් කර ගනිමින් ප්‍රසම්පාදන කොමිසම මේ රටේ බලාත්මක කළ යුතු බව අපගේ අදහසයි. 

ඒ සඳහා අප මේ හඬ නගන්නේ ඒ ඔස්සේ මහා පරිමාණයේ ජාවාරම් නතර කළ හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය දැඩි ලෙස විශ්වාස කරන නිසයි. ඒ අනුව අප ගරු ජනාධිපතිතුමාගෙන් සහ ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයෙන් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින්නේ ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලිය බලාත්මක කිරීම සඳහා නොපමාව කටයුතු කරන ලෙසයි.
මෙම ජාතික ප්‍රසම්පාදන පනත ඉතා හදිසි ජාතික යුතුකමක් වශයෙන් සළකා ක්‍රියා කරන ලෙස රජයෙන් අප ඉල්ලා සිටිනවා. එමෙන්ම ගරු අගමැතිතුමාම ප්‍රකාශය නිවැරදි කළොත් එම තත්ත්වය එතුමාට ගෞරවයක් වනු ඇති බව ද සඳහන් කරනවා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට නීතීඥ නාමල් රාජපක්ෂ සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයසේකර යන මහත්වරුද සහභාගී වූහ.

Advertiesment