Friday 26th of April 2024

English Tamil
Advertiesment


සෞභාග්‍යයේ වැඩ බිම මුඩු බිමක් වෙයි..? 


2020-11-04 7842

සංවර්ධනන ව්‍යාපෘති රැසක් අහෝසියි

 

ආදායම රුපියල නම් වියදම රුපියල් 4 යි 

 

 
(පාඨලී චම්පික රණවක)

 

ආණ්ඩුව විසින් 2020-09-03 දින නිකුත් කරන ලද 5/2020 ජාතික අයවැය චක්‍රලේඛය අනුව සංවර්ධනන ව්‍යාපෘති කළමණාකරන ඒකක (PMU) වසා දමන ලෙසට අමාත්‍යාංශවලට බල කරමින් සිටී.

මේ අනුව එවැනි ඒකක 167 ක් මගින් සිදු කර ගෙන යනු ලබන ව්‍යාපෘති 301 ක් සම්බන්ධයෙන් පියවර ගැනීමට යයි. මේ ව්‍යාපෘතිවල දළ වශයෙන් සේවක සේවිකාවන් 21,000 ක් පමණ සේවය කරන අතර, එම සංඛ්‍යාවෙන් 6000 ක් පමණ වෘත්තීයවේදීහූ වෙති.

උදාහරණයක් ලෙස එදා, මහා නගර සභා අමාත්‍යාංශය මගින් ආරම්භ කෙරුණු උපාය මාර්ගික මහා නගර ව්‍යාපෘතියක් වූ අනුරාධපුරය, කුරුණෑගල, දඹුල්ල, ත්‍රිකුණාමලය, මාතර සහ රත්නපුර ව්‍යාපෘති කාර්යාල වසා දමන ලෙස නියෝග කෙරී ඇත. ඒ වගේම එදා එම අමාත්‍යාංශය මගින් සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු කොළඹ, මහනුවර, ගාල්ල සහ යාපනය මහා නගර ව්‍යාපෘති (ලෝක බැංකු ආධාර) පමණක් 2021-2023 කාලයේදී ක්‍රියාත්මක වනු ඇත.

එදා අපගේ යහ පාලන රජයේ ඉලක්කය වූයේ ජාතික භෞතික සැලසුමට අනුව හඳුනා ගත් ආර්ථික කොරිඩෝවල (කොළඹ - ත්‍රිකුණාමලය) අධි වේගී මාර්ග පිවිසුම් ආශ්‍රිතව රජයේ කාර්යාල සහ වණිජ සංකීර්ණ ඉදිකිරීම සේම ජලය, කැලි කසල සහ ප්‍රවාහනය කළමණාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර අනු ගමනය කිරීමය. 

ඉතා දුෂ්කර ක්‍රියාමාර්ග ගණනාවකින් අනතුරුව මහනුවරට යෝජනා කර, ආරම්භ කළ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආණ්ඩුවේ පොරොවට හසු නොවීම ගැන සතුටු වෙමි. නමුත්, අනුරාධපුරය ශුද්ධ නගරය, කුරුණෑගල බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, මාතර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, රත්නපුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, මේ නගරවල ගංවතුර පාලනය කිරීම, කැලි කසල කළමනාකරණය කිරීම ආදී ව්‍යාපෘති නතර කිරීම ජාතික අපරාධයකි.

විශේෂයෙන් විදේශ ආධාර ලබන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති ඒකක (Project Management Unit) අවශ්‍ය වනුයේ වෘත්තීයවේදීන්ගේ සේවය ලබා ගැනීම සඳහාය. ආණ්ඩුවේ මේ වන විට පවතින වැටුප් තලවලට නම් වෘත්තීයවේදීන්ගේ සේවය ලබා ගැනීම සිහිනයකි. ඒ අනුව ප්‍රායෝගිකව ව්‍යාපෘති ඒකක අහෝසි කර දෙපාර්තමේන්තු හෝ වෙනත් ආයතනවලට අනුයුක්ත කළ විට ඒ ව්‍යපෘති ඉබේටම වැසී යනු ඇත. 

මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ 2021 දී ඇතිවීමට යන වැඩබිමේ ස්වභාවයයි. මෙහි ඇත්ත තත්ත්වය නම් රාජ්‍ය මූල්‍යයේ අර්බුදයයි. 2021 "Appropriation Bill" පතට අනුව රජයේ මුළු වියදම බිලියන 4870 කි. අය-වැය යෝජනා සමග එම මුදල රුපියල් බිලියන 5000ක්  වනු ඇත. අපේක්ෂිත ආදායම බිලියන 1200 ක් විය හැකිය. එමගින් පැහැදිළි වන්නේ රුපියලක් අතේ තබා ගෙන රුපියල් 4 ක් වියදම් කරන්නට යෑම වැනි තත්ත්වයකි. මේ සංවර්ධන ව්‍යාපෘති අහෝසි කරන්නේ එහෙයිනි.

 


 

Advertiesment