Friday 26th of April 2024

English Tamil
Advertiesment


ජේ.ආර් ගෙන් පසුව ඇමරිකාව සිය දෙවැනි ඉණිම අරඹයි..?


2020-10-28 7706

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාට ඇවිත් චීනයට දුන් පණිවුඩය..! 

 

ආර්ථික දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකාවේ පූර්ණ සහය 

 

ජේ.ආර් ට ලැබුණු සහයම ජී.ආර් ට ලැබෙන ලකුණු..? 

 

ජනපති සිය ස්ථාවරය ඍජුව පහදයි

 

"රට පාවා දෙන්න මම සූදානම් නැහැ" 

 

ජනපතිගේ ස්ථාවරය ඇමරිකාව පිළි ගනී 

 

ඉන්දීය සාගර කලාපීය සාමය ගැන දැඩි අවධානයක්

 

ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා අගය කෙරේ..! 

 

ද්වී පාර්ශවික ආරක්ෂක සබඳතා තහවුරු කෙර් 

 

සංචාරක ව්‍යාපාරයට ඇමරිකානු අතහිත

 

(සුජිත් මංගල ද සිල්වා)  

 

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියා කිරීමට සූදානම් යැයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා අවධාරණය කර සිටියි. 

අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලයේ දී බදාදා (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ දී වන අතර ඔහු වැඩි දුරටත් එහිදී අවධාරණය කර සිටියේ, දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්වි පාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම  සිය රටේ අරමුණ වන බවය.

ශ්‍රී ලංකාවට අඟහරුවාදා (27) පැමිණි මෙම ඇමරිකානු ප්‍රමුඛම සහ ඉහළම පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වූ සුහද සාකච්ඡාවේ දී ද්වී පාර්ශවික සහ කලාපීය වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් හුවමාරු කර ගෙන ඇත. 

ඉහළ සංවර්ධන මට්ටමක් අත්කර ගැනීමට දරන උත්සාහයේ දී ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව එකට සිටීම අමෙරිකාවේ අභිලාෂය වන අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙන බවට ජනාධිපතිවරයා හමුවේ සහතික වූ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා රැකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල් වන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය විධිමත් සැලැස්මක් යටතේ දියුණු කිරීමට අවශ්‍ය සහය ලබා දීමට ඇමරිකාව සූදානම් බව ද පෙන්වා දුන්නේය.

ඊට සාවධානව ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ, ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව වන්නේ නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම වන අතර විදේශ ආයෝජනයට බාධා කරන නිලධාරී වාදය පිටු දැකීමට රජය මේ වන විටත් පියවර ගනිමින් සිටින බවය.

ශ්‍රී ලංකාව යනු ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇති කර ගැනීමට අවශ්‍ය සාධක සහිත රටක් වන නිසා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කර ගැනීම සඳහා අවශ්‍ය කරෙන විද්‍යාත්මක පර්යේෂණ වෙනුවෙන් සහය ලබා දෙන ලෙස ඇමරිකානු දූත පිරිසෙන් ඉල්ලා සිටී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිළි කරමින් එහි මධ්‍යස්ථභාවය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිළි කළේය. ශ්‍රි ලංකාව ලෝකයේ අනෙකුත් රටවල් සමග පවත්වා ගෙන යන සබඳතා සාධක කිහිපයක් අනුව තීරණය වන අතර ඓතිහාසික, සංස්කෘතික සහ සංවර්ධන සහයෝගීතා යන කරුණු ඒ අතර ප්‍රමුඛස්ථානය ගන්නා බව මෙහිදී පෙන්වා දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව කැප කිරීමට තමා කිසිවිටෙකත් සූදානම් නොමැති බව ද අවධාරණය කළේය.

බෙදුම් වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ නමුත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ණය උගුලක සිර නොවූ බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර දිගු කලක සිට පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශවයම එහිදී එකඟ විය. එම ආරක්ෂක සහයෝගීතාවය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට අමරිකාවෙන් ලැබෙන පුහුණු අවස්ථා සහ ද්‍රව්‍යමය ආධාර අයත් වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා වෙරළාරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණ.

ඊට සහයවීමට අමෙරිකාවට හැකි බව ද, ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම අමරිකාවේ අපේක්ෂාව බව ද මෙහිදී පෙන්වා දුන් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩනැගී ඇති මිත්‍රශීලි සබඳතා ගැන සිය සතුට පළ කළේය. ඉන්දියන් සාගරයේ සාමය පවතිනු දැකීම ශ්‍රී ලංකාවේ ද අභිලාෂය බව ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළ අතර අන්තර්ජාතික වේදිකාවලදී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට ද දෙපාර්ශවයම එකඟ වූහ.

මේ අතර දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ප්‍රධාන එරට ප්‍රමුඛතම සහ ඉහළම පෙළේ දූත පිරිසක් මෙසේ හදිසියේම ශ්‍රී ලංකාවට එවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී කලාපීය දේශපාලන වාතාවරණය, ද්වී පාර්ශවික ආරක්ෂක සබඳතා, ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ශ්‍රී ලංකාව දියුණු කර ගැනීමට ලබා දිය හැකි ආධාර උපකාර පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් කරමින් ඇමරිකාව කළේ රාජ්‍ය තාන්ත්‍රික සහ උපායශීලී ලෙස චීනයට පණිවුඩයක් ලබා දීම බවය.

මේ දූත පිරිසේ සම්ප්‍රාප්තිය සමගින් ඇමරිකාව ශ්‍රී ලංකාව එක්ක ආර්ථික, වෙළෙන්ඳ සහ දේශපාලන වශයෙන් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරනු ඇති අතර ඇමරිකාව සිය පළමු ඉනිම ක්‍රීඩා කළේ රොනල්ඩ් රේගන් යටතේ ජේ.ආර් ජයවර්ධන පාලන සමයේ යැයි ද, චීනය සමග රටක් ලෙස ශ්‍රී ලංකාව වානිජ්‍ය සහ වෙළෙඳ ගනුදෙනු සිදු කළත් ඉදිරි ගමන යන්න සිදුව තිබෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමග යැයි ද ඊට හේතු වී තිබෙන්නේ රටේ අපනයන ආදායම ඇතුළු ආර්ථික සේම දේශපාලන ඇතුළු ක්ෂුද්‍ර කාරණා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මත පදනම් වී තිබීම යැයි ද ඔවුහූ පෙන්වා දෙති.

ශක්තිමත් සහ ස්වෛරී ශ්‍රී ලංකාවක් යනු ලෝක මට්ටමේදී ඇමෙරිකා එක්සත් ජනපදයට බලවත් සහ උපායමාර්ගික පාර්ශවකරුවෙකු වන අතර එම තත්ත්වය පුළුල්, විවෘත සහ නිදහස් ඉන්දු-ශාන්තිකර කලාපයක් සඳහා ද ඉතා වැදගත් වන නමුත් චීනය මෙහිදී අපේක්ෂා කරන්නේ ඊට වෙනස් අරමුණක් සහ අදහසක් බව කියමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා කොළඹදී බදාදා (28) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී චීන රජයට ප්‍රහාරයක් එල්ල කළේ මේ පසුබිම මත යැයි ද එම දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, සහය රාජ්‍ය ලේකම් බ්‍රයන් බුලතාවෝ, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්ප්සන් සහ රාජ්‍ය ලේකම්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේරි කිසල් යන මහත්ම මහත්මීහූ එක්සත් ජනපද දූත පිරිසේ සෙසු සාමාජිකයෝ වූහ. විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට නම් කරනු ලැබ සිටින රවිනාථ අර්යසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ. 
                                                                                                                                                                                 

 

Advertiesment