Friday 26th of April 2024

English Tamil
Advertiesment


සජිත්ගේ සමගිය උග්‍ර මූල්‍ය අර්බුදයක 


2020-10-24 7725

පක්ෂ මූලස්ථානයේ කුලිය ගෙවා ගන්න බැහැලු 

 

අලුත් කාර්යාලයක් ගන්න සල්ලිත් නැහැ  

 

කාර්යාලයේ විදුලිය ගාස්තු ගෙවා නැහැ-විදුලියත් විසන්ධි කරලා 

 

ජලනි ප්‍රේමදාසයටයි-ලක්ෂ්මන් ෆොන්සේකාටයි දැඩි විරෝධයක්  

 
 
(සුජිත් මංගල ද සිල්වා)

සමගි ජන බලවේගයේ පක්ෂ මූලාස්ථාන කාර්යාලයේ මාසික කුලිය, සේවක වැටුප් සහ විදුලිය ගාස්තු ගෙවා ගත නොහැකිව එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියි.

මීට අමතරව සමගි ජන බලවේගයේ මූලාස්ථාන දේශපාලන කාර්යාලයේ මාසික විදුලිය ගාස්තුව ගෙවා ගත නොහැකිව ගෙවුණු සති කිහිපය ඇතුළත දී එම කාර්යාලයේ විදුලිය විසන්ධි කිරීමටද විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබිණ.

මේ  තත්ත්වයට හේතු වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ද, ඔහුගේ බිරිය වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ සහ එම දෙපාර්ශවයේ අති ජාත සමීපතමයෙකු වන ලක්ෂ්මන් ෆොන්සේකා  මහතාගේ ද ක්‍රියා කලාපය හේතුවෙන් එම පක්ෂයට මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දක්වමින් සිටී කණ්ඩායම් සහ පුද්ගලයින් සමගි ජන බලවේගයෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත් වෙමින් සිටීමය.

සමගි ජන බලවේගයේ ජාතික දේශපාලන න්‍යාය පත්‍රයට ඇඟිලි ගැසීම්ට, මෙහෙයවීමට, ඊට අත පෙවීමට සහ එහි මූල්‍ය බලය අතට ගැනීමට ජලනි ප්‍රේමදාස මහත්මිය සහ ලක්ෂ්මන් ෆොන්සේකා මහතා දරන උත්සාහය හමුවේ එම පක්ෂයේ සැලකිය යුතු පිරිසක් මේ වන විට අතිශය කලකිරීමට පත්ව සිටිති.

ඒ පිරිස අතර දොස්තර රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් පෙරමුණේ සිටින අතර ඊට අදාළ විශේෂ හෙළිදරව්වක් "lankanewsweek" හෙට අනිද්දාම සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

මේ පසුබිම මත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට වගේම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද සිය සේවක වැටුප් ගෙවා ගැනීම තබා ඒ ඒ දේශපාලන ක්‍රියාකාරකම් වෙනුවෙන් මුදල් සොයා ගැනීම ද අතිශය දුෂ්කර කටයුත්තක් වී තිබේ.  

 

Advertiesment