Friday 26th of April 2024

English Tamil
Advertiesment


ජනතා ප්‍රශ්න විසඳා ජාතික ආර්ථිකය ගොඩනඟනවා  -ජනපති-


2020-09-01 7686

රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරේ දී සංවර්ධනය කෙරේ 

 

ජනතා ප්‍රශ්න එවලෙහිම විසඳන ක්‍රමයක් ළඟදීම 

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

ජනතාව මුහුණ දී සිටින යටිතල පහසුකම් සම්බන්ධ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරේදී ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සියලු පාර්ශවයන් සක්‍රීයව දායක විය යුතු යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර සිටියේ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්යභාරය සහ වගකීම පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ දී සඳුදා (31) පැවති සාකච්ඡාවේදීය. 

අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සමග එකට එක්ව රාජ්‍ය යන්ත්‍රණය කාර්යක්ෂමව යොදා ගනිමින් රට ඉදිරියට ගෙන යාමට දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට විශාල වගකීමක් පැවරී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූර සඳහා අමාත්‍යවරුන් නොවන තරුණ මන්ත්‍රීවරු පත් කළේ ඔවුන්ගේ මුළු කාලයම ඒ සඳහා යොදා ගැනීමට බව ද පැහැදිළි කළේය.

බොහෝ දිස්ත්‍රික්කවලට පොදු සහ එම දිස්ත්‍රික්වලට පමණක් විශේෂිත වූ ප්‍රශ්න රජය හඳුනා ගෙන තිබෙන අතර පානීය ජල අවශ්‍යතාවය, වාරි ජල අවශ්‍යතාව, වාරි මාර්ග ප්‍රතිසංස්කරණය, වන අලි ගම් වැදීම නතර කිරීම, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩු පාඩු කඩිනමින් විසඳීම රජයේ ප්‍රමුඛ අරමුණ වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

අමාත්‍යවරුනට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පත්වීම් ලබා දෙන අවස්ථාවේදීම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් ද පත් කළේ එම අරමුණු ඉටු කර ගැනීමට බව සඳහන් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල තත්ත්වය සමාලෝචනය කරමින්  කිරීම පවතින ගැටලුවලට එවලෙහිම විසඳුම් ලබා දීමේ වැඩපිළිවෙළක් සැකසීමටත් ඉදිරියේදී පියවර ගන්නා බව ද කියා සිටියේය. 

2015 දක්වා රජය ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් කිහිපයක වැඩ නතර වී තිබෙන අතර ඉදිරි අය වැයෙන් මුදල් වෙන් කර ගෙන ඇණ හිට ඇති ඉදිකිරීම් සියල්ලෙහි වැඩ අවසන් කළ යුතු බව එහිදී අදහස් දක්වමින් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ, බී, සී සහ ඩී ලෙස වර්ග කර ඇති දිවයිනේ සියලු මාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලය අවසන් වීමට පෙර කාපට් අතුරා සංවර්ධනය කිරීමට සැලැසුම් කර ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අමාත්‍යාංශවල රාජකාරීවලට සහ නිලධාරීන් සමග සම්බන්ධ වී ක්‍රියා කොට දේශපාලනඥයා කෙරෙහි ජනතාව අතර ඇති විශ්වාසය තහවුරු කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළ අතර එහිදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් ජනාධිපතිවරයා හමුවේ සහතික වූයේ රට සංවර්ධනය කිරීමට උපරිමයෙන් ඇප කැප වන බවය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

Advertiesment