Friday 26th of April 2024

English Tamil
Advertiesment


නිහඬව හිටපු කාලය ගැන පසුතැවීමක් නැහැ


2020-08-23 7962

ජීවිතය යනු සිදුවන සියලු විවිධ විපර්යාසයන්වලට මුහුණ දෙමින් ගත කරන්නට සිදුවන දෙයකි. ජීවිතයේ හැටි එහෙමය. මද පවනෙන් සැනහෙනවා සේම චණ්ඩ මාරුත, සැඩ සුළංවලින් කැලඹෙන්නට සූදානම් විය යුතුය. කලා ක්ෂේත්‍රය කියාද එය වෙනසක් නැත. කලා තරු බොහෝමයක්ද එකී ජීවිත ධර්මතාවට මුහුණදෙමින් ජීවිතය පිළිබඳ පාඩම් ඉගෙන ගනිමින් සිටින්නෙය. කලා පවුල්වලින් ඉස්මතු වුණු තරු අතර සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ දෙවැනි දියණිය වන ශේෂාද්‍රි ප්‍රියසාද් රසික ජනාදරයට පත් රංගන ශිල්පිනියකි. පෞද්ගලික ජීවිතයේ විවිධ හැල හැප්පීම්වලට මුහුණ දී කාලයක් නිහඬව සිටි ඇය නැවතත් කලා ක්ෂේත්‍රයට පිවිස ඇත. නිහඬව ගත කළ පෞද්ගලික ජීවිතය පිළිබඳව සහ කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු පිළිබඳව ඇය අප සමඟ බොහෝ දෑ පැවසුවාය. මේ දිගහැරෙන්නේ ඒ සංලාපයයි.

මෙච්චර කල් කොහෙද හැංගිලා හිටියේ?

මේ ප්‍රශ්නේ හැමෝම මගෙන් අහනවා. ඇත්තටම මම හැංගිලා නෙමෙයි හිටියේ. පෞද්ගලික හේතුවක් නිසා මම කලා ක්ෂේත්‍රයේ වැඩ නොකර, පැත්තකට වෙලා, මාධ්‍යයෙන් ඉවත් වෙලා හිටියා.

ඒ කාලයේදී ශේෂාද්‍රි මොකද කළේ?

ඒ කාලය තුළ මම අධ්‍යාපනයට මුල්තැන දුන්නා. මම Early child educatio වලින් උපාධිය ගත්තා. මට කාලයත් එක්ක ඉගෙනීමේ වැඩ කටයුතු අතපසු වුණා. ඒ කාලයේදී මගේ ඉලක්කය වුණේ මගේ අධ්‍යාපන කටයුතු කරලා ඉවර කරන එක. ඒ නිසා හැමදේකින්ම ඉවත් වෙලා මේ කාලයේ මගේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දුන්නා.

ජීවිතේ සම්බන්ධයෙන් වැදගත් තීරණ ගන්න ඉක්මන් වැඩි වුණා කියලා ශේෂාද්‍රිට හිතෙන්නේ නැද්ද?

මම මගේ ජීවිතේ වෙන සිදුවීම් සියල්ල පාඩමක් කරගන්නවා මගේ ඉදිරි ජීවිතයට. ඒ වෙලාවේ මම අදාළ තීරණය නොගත්තා නම් ඊට වඩා වෙනස් දෙයක් වෙන්න තිබුණා. ඒ තීරණයත් හරි යන්න හෝ වරදින්න තිබුණා. අපි ගන්න තීරණය, අපි ඒකට මූණදෙන විදිහ සහ ඒ තුළ ජීවත් වෙන විදිහ අනුව තමයි ඒක හොඳද නරකද ඉක්මන්ද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ.

ජීවිතේ ආපසු හැරිලා බලද්දි විවාහය සහ ජීවිතය සම්බන්ධයෙන් ශේෂාද්‍රි ගත්ත තීරණ හරි කියලා හිතෙනවාද?

ඇත්තටම ඔව්. මගේ ජීවිතේ දිහා ආපසු හැරිලා බලද්දි හැමදේම වුණේ හොඳටයි කියන තැන තමයි මම ඉන්නේ. ඒ වගේම මම වර්තමානයේ හෝ අනාගතයේ ගන්න තීරණ වුණත් හොඳ හෝ නරක වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සියල්ලටම මූණදෙන්න දැන් මම ශක්තිමත්.

සමාජයෙන් හැංගිලා හිටපු කාලයේදී ඔබ සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් නිර්මාණය වුණු විවිධාකාරයේ කටකතා සම්බන්ධයෙන් මොනාද කියන්න තියෙන්නේ?

මම හිතෙන් ගොඩක් දුක් වුණා. "මිනිස්සුන්ට තවත් කෙනෙක්ට මේ වගේ දේවල් කියන්න පුළුවන්ද?" කියලා වෙලාවකට මට හිතුණා. හොඳම දේ ඒ  gossip  දකින්නේ නැතුව, බලන්නේ නැතුව ඒවාවලින් හිත රිද්දගන්නේ නැතුව ඉන්න ඕනේ කියලා මම තීරණය කළා. මොකද ඒ gossip  හදන අය ඇත්ත දේ නොදැනයි ඒවා හදන්නේ. ඒ නිසා මම මගේ කාලය ඒ gossip  අහන්න වැය නොකර මම ගැන හිතන්න වැය කළා. මම ඒ gossip  බල බලා ඒවාට reply  කර කර හිටියා නම් මම ඒ නිහඬව ගත කරපු අවුරුදු පහේදී මට ජීවිතේට කිසි දෙයක් දිනාගන්න බැරි වෙන්න තිබුණා.

ඒ කටකතා හදපු අයට දැන් මොනවද කියන්න තියෙන්නේ?

ඒ අය කොයි වෙලේ හරි ඒ කරන වැඩේ නතර කරයි. ඒ අය gossip  හදන්නේ මුදල් හම්බ කරන්න. ඇත්ත හොයන්නේ නැතුව තව කෙනෙක්ගේ ජීවිතයක් ගැන කතා කරලා මුදල් හම්බ කරන එක පහත් දෙයක් කියලා මම හිතන්නේ. කෙනෙක්ගේ දුකක් ප්‍රයෝජනයට අරගෙන මුදල් හම්බ කරන මිනිස්සු ගැන මට තියෙන්නේ කලකිරීමක් සහ කනගාටුවක්.

ගැහැනියක් විදිහට මේ ඔක්කොම මානසික පීඩන දරාගත්තේ කොහොමද?

ඇත්තටම මට ඒකට උදවු වුණේ මම ඉගෙන ගන්න තෝරාගත්ත විෂය ක්ෂේත්‍රය. මම ඉගෙන ගත්ත විෂය මාලාව පවා වෙනස් කළා. මම ව්‍යාපාර කළමනාකාරණය ගැන ඉගෙන ගනිමින් හිටියේ. නමුත් මම උපාධිය ගන්න තෝරාගත්තේ Early Child Education. පුංචි දරුවොත් එක්ක මට අසීමාන්තිම මානසික නිදහසක් ලැබුණා. දරුවෝ එක්ක කාලය ගත කරද්දි ඒ අයගෙන් පවා මම සමහර දේවල් ඉගෙනගත්තා. මම ඉගෙන ගත්තේ කන්‍යා සොයුරියන් යටතේ. ඒ අය ජීවිතය දකින විදිහ වෙනස්. පුංචි ළමයින්ව බලාගන්න විදිහ වගේ කවදාහරි පවුලක් වුණාම ස්වාමියා එක්ක ජීවත් වෙන්නේ කොහොමද පවුල් ජීවිතය කළමනාකරණය කරගන්නේ කොහොමද ගැන පවා මම එතනදි ඉගෙන ගත්තා. ඒ හැමදෙයක්ම මට ලැබුණු නිසා හිතට මානසික සුවයක් දැනුණා. දැන් නම් ඕනේම දෙයක් දරාගන්න පුළුවන්.

ශේෂාද්‍රිගේ අලුත් පෙම්වතා ගැනත් කතා නොකර බැහැ.

එයාගේ නම ක්‍රිෂාන් පෙරේරා. ඒක හංගන්න දෙයක් නෙමෙයි. දැන් එයා ගැන හැමෝම දන්නවා. එයා"Doctor" band එකේ සාමාජිකයෙක්. එයා සංගීතයට සම්බන්ධ කලාවට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඉතින් ඒ නිසා කලාව පැත්තෙන් ගත්තොත් අපේ අදහස් එක වගේ. ඊට අමතරව එයා පැය අටේ රැකියාවකුත් කරන කෙනෙක්. වෘත්තිය ක්ෂේත්‍රයේ වැඩ සහ සංගීත කණ්ඩායමේ වැඩ නිසා අපිට මුණගැහෙන්න පවා කාලය සීමිතයි.

ශේෂාද්‍රිට ක්‍රිෂාන්ව මුලින්ම මුණගැහෙන්නේ කොහොමද?

එයා මගෙයි අක්කිගෙයි (දිනක්ෂි ප්‍රියසාද්) පරණ යාළුවෙක්. 2010දී අක්කියි මමයි රූපවාහිනී වැඩසටහනක් කළා. ඒ වැඩසටහනට ක්‍රිෂාන් "ච්ධජබධප" ඡචදඤ එකත් එක්ක ආවා. එදා ඉඳලා එයා අපේ හොඳ යාළුවෙක්. අක්කි ක්‍රිෂානුයි හොඳම යාළුවෝ වුණා. ඇත්තටම මගේ ජීවිතේ විවාහය සම්බන්ධ හැල හැප්පීම් වුණාට පස්සේ අක්කි තමයි මට කිව්වේ ක්‍රිෂාන් එක්ක ටිකක් කතා කරලා බලන්න කියලා. මොකද ක්‍රිෂානුත් ඒ වෙනකොට මම වගේම ජීවිතේ ගැන අමිහිරි අත්දැකීම්වලට මූණ දීලා තිබුණේ. මම හිටපු තැනමයි එයත් හිටියේ.

ඒ කියන්නේ දිනක්ෂි නිසා තමයි ශේෂාද්‍රි - ක්‍රිෂාන් ආදර කතාව පටන්ගත්තේ?

අක්කි මට කිව්වේ කතා කරලා බලන්න කියලා. විවාහ වෙන්න වගේ අරමුණකින් නෙමෙයි අක්කි එහෙම කිව්වේ. අපි දෙන්නාට ජීවිතේ සම්බන්ධයෙන් එක වගේ අත්දැකීම් තිබුණු නිසා අපි ගැළපෙයි කියලා අක්කිට හිතෙන්න ඇති. ඉතින් කතා කළාම මටත් හිතුණා එයාට ජීවිතය ගැන හොඳ වැටහීමක් තියෙන කෙනෙක් කියලා. එයා මට ගැළපෙනවා කියලා මට හිතුණා. ඉතින් මම එයාට කැමති වුණා.

කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?

ඇත්තටම අපි දෙන්නාගෙන් කවුරුත් ආදරෙයි කියලා යාළු වෙන්න කැමතිද කියලා අහලා නැහැ. අපි සෑහෙන්න දවස් යාළුවෝ විදිහට කතා කළා. අපි දෙන්නාගේ ආදරය ඉබේම ඇති වුණු එකක්. අපි මවුපියන්ගේ කැමැත්ත අරගෙන දැන් ඉදිරි ජීවිතය සැලසුම් කරනවා.

විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්නේ කොයි කාලේද?

දැනට නම් විවාහ වෙන දින වකවානු ගැන හිතලා නැහැ. විවාහා වෙන්න කලින් අපි දෙන්නාට achieve  කරගන්න දේවල් තියෙනවා. එයාට Music  පැත්තෙන් සහ මට රංගනය පැත්තෙන් තව ඉදිරියට යන්න ඕනේ. අපේ වෘත්තිය ජීවිතය පැත්තෙන් ටිකක් stable  වෙලා විවාහා වෙනවා.

පෙම්වතා නිසා ශේෂාද්‍රි සංගීතය ඉගෙන ගන්නවා කියලා ආරංචියි.

මම සංගීතය ඉගෙන ගන්නේ නැහැ. (සිනාසෙමින්) ඇත්තටම මම සංගීතයට කැමතියි. මට හොඳට ගීත ගායනා කරන්න බැහැ. ඒත් shape එකේ සිංදුවක් කියාගන්න පුළුවන්. මම ආසයි instrument  එකක් නතචර කරන්න. ගිටාර් එක ගහන්න උත්සාහ කළා ඕගන් එක ගහන්න උත්සාහ කළා. ඒත් කොච්චර උත්සාහ කළත් මට ඒ හැකියාව පිහිටලා නැහැ. ක්‍රිෂානුත් ඕගන් එක එහෙම play  කරන්න කියලා දුන්නා. ඒත් හරි ගියේ නැහැ. මට  music  බැරි වුණත් music පුළුවන් කෙනෙක් එක්කනේ ඉන්නේ කියලා දැන් මම හිත ගදාගන්නවා. (සිනාසෙමින්)

ශේෂාද්‍රි අවුරුදු කීයක් කලා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා හිටියාද?

අවුරුදු පහක් මම කලාවෙන් ඈත් වෙලා හිටියා.

ඒ අවුරුදු පහ තුළ අක්කායි (දිනක්ෂි ප්‍රියසාද්) නංගියි (ශනුද්‍රි ප්‍රියසාද්) කලා ක්ෂේත්‍රයේ ගිහින් තියෙන දුර ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. ඒ දෙන්නා ඒ වයසට ගොඩක් දේවල් achieve කරගෙන තියෙනවා. විශේෂයෙන් නංගි අක්කාට වඩා ගොඩක් පුංචියි. ශනූ දැන් ඉන්න generation එක අතර ගොඩක් ජනප්‍රියයි. මම කොයිම වෙලාවකවත් හිතන්නේ නැහැ අපරාදේ එයාලා වගේම මටත් දේවල් කරන්න තිබුණා කියලා. මොකද අපි තුන්දෙනා අතර තරගයක් නැහැ. ඒ වගේම මම ඒ කාලයේදී මගේ ජීවිතයට අධ්‍යාපනය කියන දේ දිනා ගත්තා. මට පසුතැවීමක් නැහැ. අක්කයි නංගියි හොඳ නිර්මාණවලට දායක වුණා. එයාලට හොඳ අධ්‍යක්ෂවරුන් යටතේ වැඩ කරන්න ලැබුණා. ඒ දෙන්නාගේ ගමන හරියාකාරව හදාගෙන ඉස්සරහට ඇවිත් දැන් හොඳ තැනක ඉන්නවා. ඒ ගැන මට සතුටුයි.

පවුලට එකතු වෙන්න ඉන්න නළු මස්සිනා (සාරංග දිසාසේකර) ගැනත් කතා කරමු?

අහ් සාරංග අයියා. (සිනාසෙමින්) එයා අපේ පවුලට ගොඩක් එකතුයි. එයාට නංගිලා නැති නිසා ශනූටයි මටයි ගොඩක් ආදරෙයි. අයියා කෙනෙක් විදිහට ඕනේම පෞද්ගලික දෙයක් සාරංග අයියා එක්ක කතා කරන්න පුළුවන්. මට ඉස්සර ඉඳන්ම අයියා කෙනෙක් හිටියා නම් කියලා හිතුණා. අයියා කෙනෙක් හිටියා නම් අපි තුන්දෙනාට ආරක්ෂාවත් වැඩියි. දැන් සාරංග අයියාගෙන් ඒ හැමදේම අපිට ලැබෙනවා. ඉතින් අපි බොහොම සුහදව සතුටින් ඉන්නවා. ඒ දෙන්නා ළඟදීම විවාහ වෙනවා.

දිනක්ෂියි, ශනුද්‍රියි Youtube දෙකක් කරනවා. ශේෂාද්‍රිට youtubeඑකක් පටන් ගන්න අදහසක් නැද්ද?

මම එහෙම ලොකුවට youtube  එක පස්සෙන් යන කෙනෙක් නෙමෙයි. අක්කයි නංගියි නිර්මාණශීලීව ඒ වැඩේ කරනවා. මම එහෙම ලොකුවට තාම  youtube එකට යොමු වෙලා නැහැ. නමුත් ක්‍රිෂාන්ගේ youtube channel එක Sheshadri - Chrishan  කියලා නම් කරලා තියෙනවා. ක්‍රිෂාන් අලුතෙන් music video එකක් කළා. ඒකත් ඒ  channel එකෙන් තමයි release කළේ. Youtube  එක හරහා සමාජයට හොඳ දෙයක් කරන්න අවශ්‍යතාවක් ආවොත් ඉදිරියේදි මම කරනවා.

කලා ක්ෂේත්‍රයේ හොඳම යාළුවෙක් ඉන්නවාද?

මගේ හොඳම යාළුවෝ ඉන්නේ ඉස්කෝලේ අය. ක්ෂේත්‍රයේ මම බොහොම සමීපව ආශ්‍රය කරන කීපදෙනෙක් ඉන්නවා. රයිනි චාරුකා ඒ අතරින් එක්කෙනෙක්. මමයි ගොඩාක් ආදරය කරන කෙනෙක්. රයිනියි මම හැමදාම කතාබහ කරන දෙන්නෙක් නෙමෙයි. අපි නිතර මුණගැහෙන අය නෙමෙයි. මට අවශ්‍ය වෙලාවේදි යාළුවෙක් විදිහට හිටියා. ඒක මට හරි වටිනවා. ඊට අමතරව අසේකා විජේවර්ධන (චන්න විජේවර්ධනගේ දියණිය) අපේ පවුලේම යාළුවෙක් එයා.

කාලයක් නිහඬව ඉඳලා හාහාපුරා කියලා පටන් ගත්ත වැඩ කටයුතු මොනවාද?

මුලින්ම කළේ ක්‍රිෂාන්ගේ music video එක. මීට අවුරුදු එකොළහකට කලින් මම music video  එකක රඟපෑවා. මේ මගේ දෙවැනි music video  එක. ඒක ක්‍රිෂාන් පෙරේරා ගායනා කරන "මායාවී ආ" කියන සිංදුව. සතිෂ් රත්නලාජ් තමයි video  එක කළේ. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ප්‍රේක්ෂකයන්ගෙන්. ගොඩක් අය මාව ඒ විදිහට දකින්න ලැබෙන එක සතුටුයි කියලා ප්‍රතිචාර ලැබුණා. රංගනය පැත්තෙන් චිත්‍රපටවලට මට ආරාධනා ලැබුණා. නමුත් කොරෝනා වසංගතය නිසා ඒ දේවල් ටික කාලයකට නතර වුණා.

ශේෂාද්‍රි නැවත සිනමාවට එන්න බලාපොරොත්තු වෙන නිර්මාණ මොනවද?

චිත්‍රපට තුනකට ආරාධනා මේ වෙද්දි ලැබිලා තියෙනවා. තුනටම මම පිටපත කියවලා කැමැත්ත පල කළා. සමහර වෙලාවට ඒ තුනම කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.

කාල වෙලාව අනුව තෝරලා බේරලා හොඳ නිර්මාණ කීපයකට දායක වෙනවා.

ශේෂාද්‍රිව ගොඩක් දැකලා තියෙන්නේ ප්‍රධාන ධාරාවේ සිනමා නිර්මාණ හරහා. විකල්ප ධාරාවේ සිනමා නිර්මාණ කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

හොඳ නිර්මාණයකට දායක වෙන්න පුළුවන් නම් මට ඒක ප්‍රධාන ධාරාවද විකල්ප ධාරාවද කියලා අදාළ නැහැ. හොඳ චරිතයක් නම් මම ඒක කරනවා. මම තහංචි දාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. මට ආරාධනා ආපු චිත්‍රපට තුනෙන් එකක් විකල්ප ගනයට අයිති චිත්‍රපටයක්. ඇත්තටම මම නිර්මාණ සිනමා නිර්මාණ බෙදලා වෙන් කරන්න කැමති නැහැ. එතනදි අපි බලන්න ඕනේ චරිතය සහ ඒ හරහා අපිට කරන්න පුළුවන් පරාසය ගැන විතරයි.

පෙම්වතියගේ චරිතයෙන් මිදිලා චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස වැඩ කරන්න අදහසක් තියෙනවාද?

අනිවාර්යයෙන්ම. රංගන ශිල්පිනියක් වුණාම එක චරිතයකට කොටු වෙන්නේ නැතුව විවිධ චරිත භාර අරගෙන රඟපාන්න පුළුවන් වෙන්න ඕනේ. මමත් ඒ විදිහට පෙම්වතියගේ චරිතයට කොටු වෙන්න කැමති නැහැ. වෙනස් චරිත භාර අරගෙන කරන්න මමත් කැමතියි.

 

 

 

-සරසවිය-

Advertiesment