Friday 26th of April 2024

English Tamil
Advertiesment


සජිත්ට එරෙහිව රනිල්-රවී වෙනුවෙන් වෘත්තීයවේදීහූ පෙළ ගැසෙති 


2020-07-17 7602

"ප්‍රසන්න-කෙනඩි" මහැදුරෝ පෙරමුණ ගනිති

 

වෘත්තීයවේදීන්ගේ රටේ ප්‍රශ්නවලට රවී උත්තර දෙයි 

 

එජාපයේ "Digital" ආර්ථිකය මෛත්‍රී වැනසූ හැටි 

 

වෘත්තීයවේදීන් එජාපය ප්‍රශ්න කරයි-රවී උත්තර දෙයි 

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

රට පුරා විසිර සිටින ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීයවේදීන් විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂය, එහි නායක රනිල් වික්‍රමසිංහ සහ උප නායක රවී කරුණානායක යන මහත්වරුන් සමග මේ වන විට ඒකරාශී වෙමින් සිටිති.

මෙම වෘත්තීයවේදීන් මෙසේ එක්සත් ජාතික පක්ෂය, රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායක යන මහත්වරුන් සමග එකට ඒකරාශී වෙමින් සිටින්නේ, රටේ ජාතික දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙකඩ කළ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට, ආණ්ඩුවට සහ හමුදාකරණයට එරෙහිව සර්වප්‍රකාර ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙනි.

ඉදිරි මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීමේ ප්‍රතිපත්තිමය තීරණය මත එම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් "Grand Solis" හෝටලයේ දී අඟහරුවාදා (14) රැස්වූ රටේ ඉහළම පෙළේ වෘත්තීයවේදීන් 100ක් මේ බව අවධාරණය කර සිටී අතර එක්සත් ජාතික පක්ෂයට, රනිල් වික්‍රමසිංහ මහතාට සහ රවී කරුණානායක මහතාට සහය පළ කරමින් තව තවත් වෘත්තීයවේදීන් එකට ඒකරාශී කිරීමට ඔවුහූ එහිදී එකඟ වූහ.

එක්සත් ජාතික පක්ෂය, රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායක ඇතුළු එම පක්ෂයේ කිසිදු නායකයෙකු සමග මීට පෙර සහසම්බන්ධ වී නොමැති මේ වෘත්තීයවේදීන් මෙසේ එකට ඒකරාශී කර ගැනීම සඳහා නායකත්වය ලබා දෙමින් මූලිකත්වය ගෙන ක්‍රියා කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයින් වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සහ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ, කළමනාකරණ අධ්‍යන සහ වාණිජ්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන යන මහත්වරුන්ය.

ඒ අනුව මේ අවස්ථාවට රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරමින් වෛද්‍යවරුන්, බැංකුකරුවන්, වරලත් ගණකාධිකාරීවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, ප්‍රවීණ දේශකයින්, ගිණුම්කරුවන්, කළමණාකරුවන්, ආයතන ප්‍රධානීන්, ක්‍රීඩා විශේෂඥයින්, ව්‍යාපාරිකයින්, සිවිල් ක්‍රියාකාරීන් සහ තාක්ෂණවේදීන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන වෘත්තීයවේදීන් 100ක් සහභාගී වී සිටියහ.

රටේ අනාගත ඉරණම, ආර්ථිකය, දේශපාලන සංස්කෘතිය, සමාජය, සංස්කෘතිය සහ එක්සත් ජාතික පක්ෂයේ පැවැත්ම සම්බන්ධයෙන් මෙම වෘත්තීයවේදීන් රවී කරුණානායක මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඔහු ඊට පිළිතුරු ලබා දුනි.

එම පිළිතුරු අනුවපිළිගත හැකි දේශපාලන ප්‍රතිපත්ති සහ කොන්දේසිවලට යටත්ව මේ මහා මැතිවරණයේ දී පමණක් නොව ඉදිරියේදීත්  රවී කරුණානායක මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය පළ කිරීමට එකඟ වූ වෘත්තීයවේදීහු එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් ද එල්ල කළහ.

 

 

 

    

Advertiesment