Friday 26th of April 2024

English Tamil
Advertiesment


ආණ්ඩුව Lock Dawn වන බව හිටපු සභානායකත් තහවුරු කරයි


2020-04-30 7729

 

ව්‍යවස්ථාව කඩා මෛත්‍රීපාල සිරිසේන වගේ අවලංගු කාසියක් නොවනු   

 

කොරෝනා අස්සේ ආණ්ඩුව මැතිවරණ උන්මාදයකින් පෙළෙනවා 

 

මැතිවරණ තබා මිනිස් ජීවිත අහිමි වුණොත් එහි වගකීම නියෝග දුන් අය ගත යුතුයි

 

150 (03) අනුව ඒකාබද්ධ අරමුදලින් ජනපතිට මුදල් ගනු බැහැ 

 

අභිනව පාර්ලිමේන්තුවට රැස් වන දිනයක් නැහැ

 

 

 

(සුජිත් මංගල ද සිල්වා) 

   

රටේ උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය සහ ව්‍යවස්ථා ප්‍රශ්නය හමුවේ වහාම පාර්ලිමේන්තුව රැස් කර රාජ්‍ය සේවා සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමට ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව ක්‍රියා නොකළ හොත් වියදම් කිරීමට මුදල් නොමැතිව ශ්‍රී ලංකා ආණ්ඩුව නියත ලෙසම "Lock Dawn" වන්නේ යැයි පාර්ලිමේන්තුවේ හිටපු සභා නායක, අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගේ මුරණ්ඩු වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර අවලංගු කාසියක් බවට පත් නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.

හිටපු සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී බ්‍රහස්පතින්දා (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.  

රටේ උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය හමුවේ වහාම පාර්ලිමේන්තුව රැස කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සාමූහික ඉල්ලා සිටී විපක්ෂය, පාර්ලිමේන්තුව එසේ නොකැඳ වුවහොත් රාජ්‍ය සේවය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමේ ප්‍රශ්නයක් මතු වන බව ද අප එතුමාට පැහැදිළිව පෙන්වා දුන්නා. ඊට පිළිතුරු ලබා දෙමින් රජයේ ඇමතිවරයෙකු කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (03) වගන්තිය යටතේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් සඳහා රාජ්‍ය සේවය වෙනුවෙන් අවශ්‍ය මුදල් ඒකාබද්ධ අරමුදලින් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකි බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (03) වගන්තියේ සඳහන් වන්නේ, "යම් කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම් කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමට-වැය කිරීමට- නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය." යනුවෙනුයි.

ඒ අනුව මේ කතාව කියා රජයේ ඇමතිවරයාගෙන් අප අසන්නේ එක ප්‍රශ්නයයි...අභිනව පාර්ලිමේන්තුව රැස් වන්නේ කවදාද..? එහෙම නිශ්චිත දවසක් තිබෙනවා ද..? නැහැ...අභිනව පාර්ලිමේන්තුව රැස් වන දිනයක් නැහැ.මහ මැතිවරණය 2020 ජූනි 20 වැනිදාට යොදා තිබෙනවා. එමනිසා ව්‍යවස්ථාවේ 150 (03) වගන්තිය යටතේ රාජ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය මුදල් ඒකාබද්ධ අරමුදලින් මුදල් වෙන් කර ගැනීමට ජනාධිපතිවරයාට හැකියාවක් ඇත්තේ නැහැ. ව්‍යවස්ථාවේ මේ වගන්තිය අනුව එතුමාට එසේ මුදල් වෙන් කර ගත හැක්කේ අභිනව පාර්ලිමේන්තුව රැස් වන දිනයේ සිට මාස තුනක් ඇතුළත දී පමණයි. 

අභිනව පාර්ලිමේන්තුව රැස් වන දිනයක් තවමත් ප්‍රකාශ කර නොමැති තත්ත්වය හමුවේ ව්‍යවස්ථාවේ 150 (03) වගන්තිය වලංගු නොවන අතර රාජ්‍ය සේවා සඳහා මුදල් වෙන් කර ගැනීමට රජයට තිබෙන අවසාන දිනය වන්නේ 2020 අප්‍රේල් මස 30 වැනිදායි. එම දිනය පසු වී දිනයක් හෝ දින දෙක තුනක් පසුවීමෙන් අනතුරුව හෝ පාර්ලිමේන්තුව රැස් කර රාජ්‍ය සේවා සඳහා මුදල් වෙන් කර නොගත හොත් වියදම් කිරීමට මුදල් නොමැතිව ආණ්ඩුව නියත ලෙසම "Lock Dawn" වනවා.

මේ ඉරණමට ඇමරිකා එක්සත් ජනපදය ද මීට අවුරුද්දකට පමණ උඩ දී මුහුණ දුන් අතර ඊට හේතු වුයේ ජනපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ අය-වැය කොංග‍්‍රස් සහ සෙනට් මණ්ඩලවලදී සම්මත නොවීමයි. ඒ අනුව ජනපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් එරට සියලුම රාජ්‍ය ආයතන වසා දැමූ අතර ඒ හේතුවෙන් මුළු ඇමරිකාවම  "Lock Dawn" වුණා. අනතුරුව කොංග‍්‍රස් සහ සෙනට් මණ්ඩලවල අඩියක් පස්සට ගෙන ජනපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ අය-වැය සම්මත කර දුන් නමුත් එරට එම "Lock Dawn" තත්ත්වය දින 35ක් පැවතුණා.

මේ තත්ත්වය තේරුම් ගෙන පාර්ලිමේන්තුව යළි කැඳ වන්නේ නම් එහිදී ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට වගකීමක් ඇතිව සහය ලබා දීමට සහතික වී සිටින විපක්ෂය ආණ්ඩුව පෙරළීමට හෝ ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට කටයුතු නොකරන අතර ආණ්ඩුවට අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමටත් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කර මර්දනය කිරීමට අවශ්‍ය නව නීති සම්මත කර ගැනීමටත් අවශ්‍ය උපරිම සහය ලබා දෙනවා.

ඒ අනුව විශාල ජන වරමකින් බලයට පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අප ඉල්ලා සිටින්නේ, සියලු කරුණු කාරණා පැහැදිළිව පෙළ ගැසී තිබෙන තත්ත්වය හමුවේ එම නීත්‍යානුකූල තත්ත්වයන් නොසලකා හිටපු ජනාධිපතිවරයා වගේ මුරණ්ඩු වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර අවලංගු කාසියක් බවට පත් නොවන ලෙසයි. සිය ජන වරම ආරම්භ කරන කාලයේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාත් මෛත්‍රීපාල සිරිසේන මහතා වගේ අවලංගු කාසියක් වනවාට අප කැමති නැති අතර අපව විශ්වාස කර පාර්ලිමේන්තුව කැඳ වන්නැයි අප එතුමාගෙන් ඉල්ලා ඒ නිසයි.

COVID -19 වසංගතයට සාර්ථකව මුහුණ දෙන ඉන්දියාව වගේ රටවල් එම වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරමින් මර්දනය කිරීම සඳහා යොදා ගෙන තිබෙන්නේ වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයින්, පරිපාලන නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන් පමණක් බව ද කිව යුතුයි. චීන මායිමේ සිටින තායිවානය COVID -19 වසංගතයට චීනයේ පැතිර යන බව 2019 දෙසැම්බර් මාසයේ දී දැන ගත් වහාම 2020 ජනවාරි වන විටම එරට ගුවන් තොටුපොළ වසා දැමූ අතර ඒ නිසාම අද එරට කොරෝනා රෝගීන් ඇත්තේ නැහැ. ඒ වගේ සියලු පාර්ශවයන් පෙන්වා දුන් කරුණු තේරුම් ගෙන ආණ්ඩුව අපේ රටේ ගුවන් තොටුපොලත් 2020 ජනවාරි මාසයේ වසා දැමුවා නම් මේ COVID -19 වසංගතයට අපේ රට බිලි නොවන අතර ඇත්ත වශයෙන්ම ප්‍රමාද වී ඒ තීරණ ගැනීම ගැන ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි.

කොරෝනා අස්සේ මැතිවරණ උන්මාදයෙන් පෙළෙන ආණ්ඩුවට අප කියා සිටින්නේ මේ භයානක අනතුර පෙනි පෙනී ඒ ගැන නොතකා මහ මැතිවරණය පැවැත්වීමෙන් මිනිස් ජීවිත හානි වුණොත් ඒ ජීවිත සඳහා රජය සහ නියෝග දුන් අය වග කිව යුතු අතර ඒ අයට ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් කළ හැකියි.    

          

Advertiesment