Saturday 27th of April 2024

English Tamil
Advertiesment


GMOA කපටි උගතුන්ට හිටපු සුව ඇමතිගෙන් අතුල් පහරක්


2020-02-11 7770

සියලු ඖෂධ ගැන තීන්දු තීරණ ගන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වන අතර ඊට බලපෑම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට තබා ජනාධිපතිවරයාටවත් නොහැකි යැයි ද, "GMOA" කපටි උගතුන් එම කාරණය උවමනාවෙන්ම අමතක කරන්නේ රට නොමඟ යැවීමට යැයි ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ආනයනය කළ යුතු ඖෂධ මොනවාදැයි තීරණය කළේත්,කරන්නේත් වෛද්‍ය ක්ෂේත‍්‍රයේ විශේෂඥයන් විනා බලයේ සිටි හෝ සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නොවේ.ඖෂධ මාෆියාවට එරෙහිව සටන් කර, සමාගම්හී ඒකාධිකාරය බිඳ දමා,බෙහෙත් මිල අඩු කිරීමට කටයුතු කිරීම දක්ෂ සෞඛ්‍ය ඇමතිවරයෙකුට කළ හැකි මැදිහත්වීමයි.

දීර්ඝ කාලයක් තිස්සේ, එක් ඖෂධ සැපයුම් සමාගමක ඒකාධිකාරයකට හසුව, රෝගීන් වෙත සෙත සැලසීමට ඇති මහා ධනස්කන්දයක් ගිල දමමින් තිබූ, "Tratsuzumab"  ඖෂධය මිලදී ගැනීමේ මාෆියාව අවසන් කිරීමට වසර 2016 දී මට හැකි විය.

රුපියල් 280,000ක මිලකට රජය විසින් මිලදී ගනිමින් තිබූ එම ඖෂධය, එම සමාගම විසින්ම  රුපියල් 165,000 මුදලකට රජය වෙත ලබාදීමට මිල අඩු කරනු ලැබූවේ, ඒකි සමාගම සතුව තිබූ ඒකාධිකාරය බිඳීම සඳහා, වෙනත් ඖෂධ සමාගම් වෙතද මෙම ඖෂධය සැපයීමට අවස්ථාව විවෘත කිරීමෙනි.දෙවනුව පැමිණි සමාගම,ඉහත ඖෂධය රුපියල් 144,000ක මුදලකට ලබාදීමට කැමැත්ත පළ කිරීම, පෙර කී පළමු සමාගම රුපියල් 165,000 දක්වා තම මිල අඩු කිරීමට හේතුවයි.

ජාත්‍යන්තර වෙළඳ පොළේ මිල ගණන් සලකා බැලීමෙන් පසුව, තව දුරටත් එම ඖෂධය අඩු මිලට ලබා ගත හැකි බව තේරුම්ගත් මා, රුපියල් 95,000ක උපරිම මිල සීමාවකට එය යටත් කරන්නේ, ඒ ඉතිරි කර ගන්නා මුදලින් ද අසරණ පිළිකා රෝගීන්ට ප‍්‍රතිකාර සැපයීමේ අරමුණෙනි.

මම සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාර ගන්නා මොහොත වන විට, රජයේ රෝහල්වලින් පිළිකා රෝගියෙකුහට වියදම් කළ හැකි  උපරිම මුදලක් (ඖෂධ වටිනාකමක්) නියම කර තිබූ බව දන්නේ රටේ සුළුතරයක් පමණි. පිළිකා රෝගියෙකු වෙත ලබාදුන් ඖෂධ වටිනාකම රුපියල් ලක්ෂ 15ක සීමාවට පැමිණි පසු, රෝහල්වලින් ලබා දුන්නේ වේදනා නාශක ඖෂධ පමණි. සැබවින්ම 2015ට පෙර පිළිකා රෝගීන් මිය ගියේ, රෝගය උත්සන්න වීමටත් වඩා නිසි ප‍්‍රතිකාර ලැබීමට ප‍්‍රතිපාදන වෙන් නොකර තිබූ නිසාවෙනි.

නමුත්, සෞඛ්‍ය ඇමතිවරයා ලෙස මගේ පළමු තීන්දුවලින් එකක් ලෙස, රුපියල් ලක්ෂ 15 සීමාව ඉවත් කර රෝගියා සුව වන තුරු හැකි උපරිම ඖෂධ සහ ප‍්‍රතිකාර ලබාදීම ආරම්භ කළ අතර ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගනු ලැබුවේ, ඉහත කී ලෙස ඖෂධ සමාගම් කිහිපයක් විසින් ගිල ගනිමින් තිබූ අධික මහ ජන ධනස්කන්ධය ඉතිරි කිරීමෙනි.

දෙවැනියට පැමිණි සමාගමේ, වෙනත් ප‍්‍රතිජීවක ඖෂධයක් සම්බන්ධ කරුණක් නිසා, එම සමාගම විසින් සපයන සියලු ඖෂධ අසාදු ගත කිරීමට "NMRA" ආයතනය කටයුතු කර ඇති නමුත්  ඉහත කී පිළිකා ඖෂධය සම්බන්ධව ගෙවුණු වසර 5 තුළදීම කිසිදු පැමිණිල්ලක් ලැබී නැත.සැලකිය යුතුම කාරණය නම්,  පසුගිය නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණයෙන් පසු බලයට පත්වූ වත්මන් රජය යටතේ ද එම ඖෂධ සමාගමෙන් මිලදී ගැනිමට කටයුතු කිරීමයි. 

දේශපාලන හෙංචයියන්ගේ මුසාවලට නොරැවටී, රටේ ජනතාව තේරුම්ගත යුතුම කරුණ නම්, රජය මිලදී ගන්නා ඖෂධ ගැන තීරණය ගන්නේ "පවතින ආණ්ඩුව" නොව ජාතික ඖෂධ නියාමන අධිකාරිය  "NMRA" ආයතනය බවයි. එවක සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම සිදු කළේ,  එක් සමාගමක් විසින් ගිල ගනිමින් සිටි "රටේ රෝගීන් සඳහා වියදම් කිරීමට ඇති අධික මහජන ධනයක්" රජය වෙත ඉතිරි කර දීමට කටයුතු කිරීම පමණි.

"Tratsuzumab" ඖෂධය සැපයීමට දෙවැනි වර ඉදිරිපත් වූ සමාගමේ ඖෂධයේ ගුණාත්මකභාවය ගැන චෝදනා කරන "පොහොට්ටු අතකොලු වෛද්‍ය සංගමය" උවමනවෙන්ම නොදන්නවා සේ සිටින කාරණය නම්, රජය වෙත මිලදී ගන්නා ඖෂධ මොනවාද සහ ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව තීරණ ගනු ලබන්නේ "ජාතික ඖෂධ නියාමන අධිකාරය" හෙවත්  "NMRA" නම්  විද්වත් මහාචාර්යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදි ආයතනය විසින් බවයි. 

එම විශේෂඥයන් වෙත බලපෑම් කිරීමට සෞඛ්‍ය ඇමතිවරයාට තබා ජනාධිපතිවරයාටවත් නොහැකි බව "GMOA" කපටි උගතුන්, රටක් නොමඟ යැවීමට උවමනාවෙන්ම අමතක කරන කාරණයයි.තම දේශපාලන උවමනාවන් වෙනුවෙන්, කරුණු විකෘති කරමින් ජනයා නොමඟ යැවීමට යම් පිරිසක් කටයුතු කළද, අනාගතයේ දිනෙක  අප සිදු කළ මැදිහත්වීම පිළිබඳව  සැබෑ තක්සේරුව මුළු රටෙන්ම ලැබෙනු ඇත..!

Advertiesment