Friday 26th of April 2024

English Tamil
Advertiesment


ආණ්ඩුවට එරෙහිව රනිල්-කරූ-සජිත් එක් නොවුණොත් පාක්ෂිකයින් ශාප කරයි 


2020-01-24 7607

"තනතුරු පසු පස යා යුතු නැහැ-තනතරු අප පසු පස ආ යුතුයි"

 

පාක්ෂිකයින් අපේක්ෂාව පක්ෂයේ සමගියයි 

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පාක්ෂිකයින් කියා සිටින්නේ රනිල් වික්‍රමසිංහ,කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන නායකයින් තිදෙනාම සමගි සම්පන්නව එකට එක්ව ආණ්ඩුවට එරෙහිව ඉදිරියට ආ යුතු බව යැයි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව කියා සිටියේ "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී බදාදා (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂමන් කිරිඇල්ල මහතා මෙසේද කීය.  

එක්සත් ජාතික පාක්ෂිකයින් බලාපොරොත්තු වන්නේ පක්ෂයේ සමගියයි.ඒ අය කියා සිටින්නේ සියලු නායකයින් එකට එක්ව ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විජයග්‍රහණය කරවීම සඳහා ක්‍රියා කළ යුතු බවයි.අපේ පාක්ෂිකයින්ගේ මේ බලාපොරොත්තු සහ ඉල්ලීම් ඉටු කිරීමට අප අපොහොසත් වුණොත් පාක්ෂිකයින් ඉදිරියේ අප වැරදිකරුවන් බවට පත් වනවා.ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ එහි දේශපාලන අනාගතය විනාශ කළා කියා ඒ අය කවදා හෝ අපට ශාප කරාවි.

එම නිසා තනතුරු,වරදාන සහ වරප්‍රසාද පසු පස හඹා නොයා අප සියලු දෙනාම පාක්ෂිකයින් වෙනුවෙන් අපේ පොදු දේශපාලන හතුරා වන ආණ්ඩුවට එරෙහිව එකට එක් විය යුතු කාලය එළැඹ තිබෙනවා.සියලු දෙනා කළ යුත්තේ තනතුරු පසු පස හඹා යාම නොව සිය වගකීම,යුතුකම සහ කාර්ය භාරය ඇප කැප වී අවංකවම ඉටු කිරීමයි.එවිට සුදුස්සාට සුදුසු තැන ලැබෙනු ඇති අතර තනතුරු අප පසු පස හඹා එනු නියතයි.

ජනතාව කියා සිටින්නේ සහ ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ,කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන නායකයින් එකට එක්ව සමගි සම්පන්නව ඉදිරියට ආ යුතු බවයි.පාක්ෂිකයින්ට වැදගත් වන්නේ පුද්ගලයින් නොව එක්සත් ජාතික පක්ෂයේ සියලු නායකයින්ගේ සමගිය සහ පක්ෂයේ ජයග්‍රහණයයි. 

Advertiesment