Friday 26th of April 2024

English Tamil
Advertiesment


නීලකාස කම්බ හොරුන්ට නොබියව කතානායක බැඳුම්කර වෝහාරිකය එළියට අදියි


2020-01-21 7776

පාර්ලිමේන්තුවේ බලය යළිත් තහවුරු කර පෙන්වයි 

 

රටටයි-ජනතාවටයි සාධාරණය ඉටු කරයි 

 

සියල්ලටම වඩා උත්තරීතර මහ ජන පාර්ලිමේන්තුවයි  

 

පාර්ලිමේන්තුව ගිනියම් වෙයි 

 

කතානායකට පක්ෂ විපක්ෂ හරසර   

 
(සුජිත් මංගල ද සිල්වා)

මුළු රටක් ආන්දෝලනයට පත් කළ ප්‍රශ්න ගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරුණු වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කරමින්, පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය සහ ස්වාධීනත්වය යළි යළිත් තහවුරු කිරීමට කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා නොබියව ගත් තීරණය මේ වන විට ජාතික සහ ජාත්‍යන්තර අවදානයට වගේම සංවාදයට ද ලක් වෙමින් තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ත දැන ගැනීමට සුවහසක් ජනී ජනයා අතර පැවති පිපාසය සංසිඳුවමින් කරු ජයසූරිය මහතා ගත් මේ ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනා ඔහු වෙත සිය ගෞරව ප්‍රණාමය පුද කර සිටියහ.

මේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කරමින් කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියේ තමා මේ තීන්දුව ගත්තේ මහ ජන මුදල් පාලනය පිළිබඳ පූර්ණ බලය පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති බවට වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන විධිවිධානද, විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සතු බලතලද,පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 136 ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල සහ කිසිදු බාහිර පාර්ශ්වයකගේ මැදිහත්වීමකින් තොරව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ස්වාධීනව තීරණ ගැනීමට තිබෙන අයිතිය අවධාරණය කරමින් හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතා ලබා දුන් ඓතිහාසික තීරණයද සැලකිල්ලට ගනිමින් බවය.

සියල්ලටම වඩා උත්තරීතර වන්නේ පරමාධිපත්‍ය බලය හිමි මහ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුව බව යළි යළිත් පසක් කරමින් වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ අඟහරුවාදා (21) සභා ගත කරමින් කතානායක කරු ජයසූරිය මහතා කළ ඓතිහාසික කතාව සම්පූර්ණයෙන් මෙසේය. 

"පොදු ව්‍යපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව‍ වෙත මේ වන විට ලැබී ඇති, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වර්ෂයේදී සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව විමර්ශනය කර ඒ සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි, අදාළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව පිළියෙළ කරන ලද වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරයන්ගේ දැන ගැනීම පිණිස පාර්ලිමේන්තුවේ සභා ගත කරන ලෙස මන්ත්‍රීවරයන් බොහෝ දෙනෙකු විසින් 2020 ජනවාරි 03 වැනි දින සභාගර්භයේදී සහ ඉන් පිටතදීත් දිගින් දිගටම කරන ලද ඉල්ලීම්ද,  2020 ජනවාරි 13 වැනි දින පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හා දේශපාලන පක්ෂවල නියෝජිතවරයන් මා සමඟ පැවති රැස්වීමේදී කරන ලද ඉල්ලීම් ද, සැලකිල්ලට භාජනය කර ඒ සම්බන්ධව මාගේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දීමට මම අදහස් කරමි.

2015 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද ප්‍රශ්න ගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2016 වර්ෂයේදී සිදු කරන ලද විමර්ශනයේදී, එකී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදු කොට  ඒ තුළින් රජයට සිදුවූ නිශ්චිත අලාභය හෝ පාඩුව කොපමණද යන්න සොයා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් නිර්දේශ ලබාදී තිබුණි.

ඉන් අනතුරුව, මෙකී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනයන් සිදු කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයවීමෙන් මෙකී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව “වෝහාරික විගණනයක්” සිදු කිරීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් ලබා දෙනු ලබන වාර්ෂික වාර්තාව සහ එකී ගිණුම් පිළිබඳ නිරීක්ෂණයන් පොදු ව්‍යාපර පිළිබඳ කාරක සභාව විසින් සලකා බලන ලද අවස්ථාවේදී, මෙම වෝහාරික විගණනය පැවැත්වීම හා ඊට සම්බන්ධ කටයුතු, එහි ක්‍රියාදාමයන් සහ ඊට වැය වන පිරිවැය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කාරක සභාව හමුවේ විස්තරාත්මකව කරුණු දැක්වීම් ද සිදුකරන ලද බව අනාවරණය කරගන්නා ලදී. 

එවැනි විගණනයක් සිදු කිරීම සම්බන්ධව විශේෂ නිපුණතාවයක් හා සුදුසුකම් ඇති ජාත්‍යන්තර පාර්ශ්වයක් විසින් සිදු කරන ලද එම වෝහාරික විගණනයට අදාළ අවසන් වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී තිබූ අතර එම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස එකී කාරක සභාවේ සභාපතිවරයා විසින් ලිඛිතව කරන ලද ඉල්ලීමට අනුව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි, භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව පැවැත්වෙන සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධිකරණ ක්‍රියාදාමයන්ට අගතියක් නොවන අයුරින් එකී කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ට පමණක් ලබාදීම සඳහා එම වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී. 

ඉන් අනතුරුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් කැඳවීමට කටයුතු සූදානම් කර තිබූ නමුදු, 2019.12.02 දින අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය, වාරාවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග විධිවිධාන ප්‍රකාරව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ක්‍රියාත්මකවීම අහෝසි විය.

අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නැවත ස්ථාපිත කොට එම කාරක සභාව විසින් මෙම වාර්තාව සම්බන්ධව ඉදිරි කටයුතු කිරීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවීමට ඉඩකඩ ඇති බැවින් එකී කාරක සභාව ක්‍රියාත්මකව නොපවතින මෙම කාලය තුළ එවැනි කාරක සභාවන්හි භාරකරු ලෙස මා වෙත පැවරී ඇති බලතල සහ වගකීම්, මා විසින් මෙහිදී  සැලකිල්ලට භාජනය කරන ලදී. 

ඒ අනුව, විශේෂයෙන් මහජන මුදල් පාලනය පිළිබඳ පූර්ණ බලය පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති බවට වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානද, විශේෂයෙන්ම ඒ සම්බන්ධව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සතු බලතලද සමඟ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 136 ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල මෙන්ම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් කිසිදු බාහිර පාර්ශ්වයකගේ මැදිහත්වීමකින් තොරව ස්වාධීනව තීරණ ගැනීමේ අයිතිය අවධාරණය කරමින් මාගේ පූර්වගාමී, හිටපු කථානායක ගරු අනුර බණ්ඩාරනායක මහතා විසින් ලබාදෙන ලද ‍ඓතිහාසික තීරණයද මෙහිලා විශේෂයෙන් සැලකිල්ලට භාජනය කරන ලදී.

එලෙසම, මෙම වෝහාරික වාර්තාව පිළියෙල කිරීම සඳහා  ජාත්‍යන්තර සහ දේශීය මට්ටමේ විශේෂඥයින්ගේ සහාය ලබාගැනීමට විශාල පිරිවැයක් දරා ඇති බැවින් මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ට පමණක් ලබාදීමට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීතුමන්ලා වෙත ලබාදීම යෝග්‍ය බව මම විශ්වාස කරමි. 

තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14අ ව්‍යවස්ථාව ප්‍රකාරව  තොරතුරු වෙත ප්‍රවේශවීමේ මූලික අයිතිවාසිකම කෙරෙහිද ම’විසින් මෙහිදී අවධානය යොමු කරන ලද බවත් සඳහන් කරනු කැමැත්තෙමි.

ඊට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව වූ “වෝහාරික විගණන වාර්තාව” අද දින සභාගත කිරීම යෝග්‍ය බවට මම තීරණය කරමි.

තවද, මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළව දැනටමත් ආරම්භ කර තිබෙන සහ ඉදිරියේදී ආරම්භවීමට නියමිත අධිකරණ ක්‍රියාමාර්ග විධිමත් හා නීත්‍යානුකූල තත්ත්වයන් යටතේ පවත්වාගෙන යාමට මෙම තීරණය කිසිදු ආකාරයකින්, එකී අධිකරණමය ක්‍රියා මාර්ගයන්ට බාධාවක් හෝ බලපෑමක් සිදුවීමට අවකාශයක් ඇති නොවන බව මාගේ විශ්වාසයයි."

 

 

 

Advertiesment