Friday 26th of April 2024

English Tamil
Advertiesment


රත්ගම පිපාසයෙන් පෙළෙයි


2020-01-13 7674

 

බීමටයි-නෑමටයි මිනිස්සුන්ට වතුර නැහැ  බීමටයි-නෑමටයි මිනිස්සුන්ට වතුර නැහැ  

 
(ජයකාන්ත ලියනගේ - බළපිටිය)  

රත්ගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මුණුගොඩ පාර සහ කලුපේ පාර අවට ප්‍රදේශවලට නල  ජලය නිසි ලෙස නොලැබීම නිසා ජනතාව මහත් දුෂ්කරතාවයන්ට පත්ව තිබේ. දැනට දින පහක සිට සීනිගම විමලබුද්ධි මහා විද්‍යාලයටද පානීය ජලය නොලැබීම හේතුවෙන් එහි දරුදැරියන්ද මහත් අපහසුතාවයකට පත්ව ඇත. 

පසුගිය වැසි කාලයේ හොදින් වතුර ලැබීම හේතුවෙන් ඇතැම් නිවෙස්වල පාවිච්චි කරන ලද ළිං වසා දමා ඇත. ඒ හේතුවෙන් එම නිවෙස්වල ජනතාවද දැඩි පීඩාවට පත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විමලබුද්ධි විදුහලේ මුරකරු වන කේ එච් මහින්දරත්න  මහතා මෙසේ කීය.

"මේ දිනවල අපේ පාසැලට වතුර එන්නෙම නෑ. මීට පෙර රාත්‍රී 12.00 ට විතර ටැංකිය බාගෙට පිරුණා. ඒත් දැන්  දැන් දවස් පහක විතර ඉඳලා  වතුර එන්නෙම නැහැ.1995 වගේ තමයි මේ ප්‍රදේශයට වතුර ලැබුණේ. ඒ දවස්වල හොදට වතුර තිබුණා. වැඩි වශයෙන් වතුර කපන්නේ සංචාරකයින් පැමිණෙන සීසන් එකට. හික්කඩුව සංචාරක පුරවරයට වතුර දෙන කරාම ඇරලා අපේ ප්‍රදේශවලට වතුර දෙන කරාම වසා දැමීම මේකට හේතුව කියලයි අපි හිතන්නේ. කොහොම වුණත් අපි කියන්නේ අපිට වතුර ටික දෙන්න කියලයි. ලොකු ලොකු හෝටල්වලට කුමක් හෝ හේතුවක් නිසා ප්‍රමුඛතාවය ලැබෙන බව කිව යුතුයි."

ශ්‍යාමලී සෙනෙවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය.

"මම පදිංචි වෙලා ඉන්නේ සීනිගම පාර, කලුපේ, හික්කඩුව යන ප්‍රදේශයේ. මගේ මහත්මයා උදේ 7.00 වන විට වැඩට යනවා. දරුවන් දෙදෙනා පාසල් යනවා. අපේ ගෙදරට නම් රාත්‍රී 12.00 න් පස්සෙ  වතුර ටිකක් එනවා. රාත්‍රී අවදියෙන් ඉඳල  ඒක බූලිවලට පුරව ගන්නවා. උදේ වැඩ ටික කළාම ඒ ටික ඉවරයි. රෙදි ටික හෝදන්න නාන්න වතුර ඇත්තේම නැහැ."

හික්කඩුවේ පදිංචි හඳුන්නෙත්ති සිරිසේන මහතා මෙසේ පැවසීය.

"මම අංශභාග රෝගියෙක්. දැනට අවුරුදු දෙකක් වෙනවා, ලෙඩ වෙලා. දැනට මාස දෙකක් තිස්සේ වතුර නැහැ. කලිනුත් එහෙමයි. උදේ 6.00 ට විතර අපිට වතුර නතර වෙනවා. ආපහු රාත්‍රී කාලයේ වතුර ටිකක් එනවා. ඒ අතර කාලේ තමයි මේ බැරල් එක පුරව ගන්නේ. උදේ පාන්දර කවුරුත් කරාම ඇරියම අපිට වතුර එන්නෙම නැහැ. මේ ප්‍රශ්යනට කවුරුහරි විසඳුමක් ලබා දෙනවා නම් ලොකු පිනක්. මම නාන්නෙ සතියට දවසක් විතර. පැය 24 පුරාම වතුර දෙනව නම් ලොකු පිනක්."

සීනිගම විමලබුද්ධි විදුහලේ විදුහල්පති ඒ ඩබ් ජයවික්‍රම මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය.

"අපේ පාසලේ දරුවන් හාරසියයකට ආසන්න පිරිසක් ඉන්නවා. ඒ දරුවන්ට දින පහක (05) සිට වතුර නැහැ. ඇතැම් දරුවන්ගේ ගෙවල්වලත් වතුර නැහැ. සමහර තැන්වල ලිං තියෙනවා. ඒවායින් ටැංකි පුරව ගෙන තියෙනවා. ඒත් ඒ තැන්වලට වතුර ගන්න  දරුවන් යැවීම අනාරක්ෂිතයි. අපි ගැටලුවකට මුහුණ පාල තියෙනවා.

විමලබුද්ධි විදුහලේ ක්‍රීඩා භාර ආචාර්යවරයා පැවසුවේ ඉදිරියේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සඳහා මේ දිනවල පුහුණුවීම් කටයුතු සිදු කරන බවත් වතුර නැති ප්‍රශ්නය නිසා දරුවන්ට මහත් ගැටලුවක් සිදුවී ඇති බවත්ය."

රත්ගම  ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් ප්‍රීති කුමාර මහතා මෙසේ පැවසීය.

"මේ මගේ බල ප්‍රාදේශයයි. වතුර ප්‍රශ්නය නිසා දැන් අපිට ගෙදර ඉන්නත් බැරි වෙලා තියෙනවා. මිනිස්සු අපිටයි දොස්  කියන්නේ. රාත්‍රී කාලයට විතරක් ආපු වතුරත් දැන් සමහර තැන්වලට එන්නෙ නැහැ. අපි මේ ගැන නිතරම ප්‍රාදේශීය සභාවේ කතා කරනවා. ප්‍රාදේශීය සභාවෙ සභාපතිතුමා ජල සම්පාදන මණ්ඩලය සමඟ මේ ගැන කතා කරල ඉක්මනින් විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවත් පැවසූවා."

මේ පිළිබදව ජල සම්පාදන මණ්ඩලයේ නම සදහන් කිරීමට අකමැති නිලධාරිණියකුගෙන් විමසූ විට මෙසේ පැවසීය. 

"විමලබුද්ධි විදුහලට ජලය නොමැති බවට මේ දක්වා කිසිදු දැනුම් දීමක් කර නැහැ. ඉංජිනේරුවරයා මේ අවස්ථාවේ කාර්යාලයේ නැහැ. ඔහු ආපසු දැනුම් දෙන්නම්. ඉංජිනේරුවරයා පැමිණි පසු මේ ගැන ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නම්. අපිට දැනුම් දුන්නානම් මීට පෙර විසදුමක් ලබා ගන්න තිබුණා."

Advertiesment