Friday 26th of April 2024

English Tamil
Advertiesment


එජාපය දෙකඩ වී විනාශ වන්නේ රනිල් හිටියොත් විනා ගියොත් නොවේ


2019-12-22 7797

එජාපයයි-පාක්ෂිකයයි අවුරුදු ගණනාවක ශාපයෙන් ගැළවීම ලැබිය යුතු කාලය උදා වෙලා

 

බැඳුම්කර කොල්ලයට ධූරයෙන් ඉල්ලා අස් විය යුතුව තිබුණේ රනිල් විනා රවී නොවේ

 

බැඳුම්කර හොරුන් හෙළිකරන ලෙස ජනපතිගෙන් ඉල්ලනවා

 

 

(සුජිත් මංගල ද සිල්වා)

"ඇත්තටම එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී විනාශ වනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ තව දුරටත් රැඳී සිටියොත් විනා නායකත්වයෙන් ඉල්ලා අස් වී ගෙදර ගියොත් නොවේ යැයි රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර මහතා අවධාරණය කර සිටියි.

අවුරුදු ගණනාවක් මුළුල්ලේ අත් විදින මේ දේශපාලන ශාපයෙන් සහ පිළිලයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් ගැළවීම ලැබිය යුතු කාලය උදා වී ඇතැයිද සුදත් චන්ද්‍රසේකර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ ගම්පහ කිරිල්ලවලදී සෙනසුරාදා (21)එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් නවෝදා ලංකා ව්‍යාපාරයේ ක්‍රියාකාරී හමුවේදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සුදත් චන්ද්‍රසේකර මහතා මෙසේ ද කීය.

"ආණ්ඩු බලය තිබියදීත් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණය වගේම ඊට පෙර පැවති පළාත් පාලන මැතිවරණය ද පරාජයට පත් වුණේ මහා බැංකු බැඳුම්කර සිද්ධිය ප්‍රධාන විපක්ෂය මඟින් ආණ්ඩුවට එල්ල කෙරුණු මහා පරිමාණ දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා වගේ ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනතාව ප්‍රතික්ෂේප කරන කුණු වුණු සහ පිළිකුල් නායකත්වය නිසයි.

මේ මහා බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳව චෝදනාව එවකට විපක්ෂය අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ආණ්ඩුවට එල්ල කරද්දී රනිල් වික්‍රමසිංහ කළේ මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට රවී කරුණානායක මහතාට බලපෑම් කර ඇඟ බේරා ගැනීමයි.ඒ අනුව රවී කරුණානායක මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වුණේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විධිමත් පරීක්ෂණයකින් පසුව වැරදි කරුවා ලෙසට ඔප්පු වීමෙන් නොව විපක්ෂයේ හුදු චෝදනාව මතයි.

මේ මහා බැංකු බැඳුම්කර කොල්ලයේ මහා මොලකරුවා ලෙසට විපක්ෂය ඍජුව චෝදනා එල්ල කළේ රනිල් වික්‍රමසිංහ මහතාට වන නිසා ඒ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුව තිබුණේ රවී කරුණානායක මහතා නොව රනිල් වික්‍රමසිංහ මහතායි.

මේ මහා බැංකු බැඳුම්කර සිද්ධිය අදාළව සිදු කෙරුණු වෝහාරික විගණන වාර්තාව වගේම ශ්‍රී ලංකන් එයාර් සමාගමේ දුෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරුණු ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාව ද මේ වන විට එළි දක්වා තිබෙනවා.ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අප ඉතා වගකීමෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ මහා බැංකු බැඳුම්කර කොල්ලය ඇතුළු දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලට එක්සත් ජාතික පක්ෂ නායකයා ප්‍රධාන මැති ඇමතිවරුන් වග කිව යුතු බවට මේ වාර්තාවලට අනුව හෙළිදරව් වී තිබෙනවානම් ඒ කවුරුන්ද යන්න පිළිබඳව රටට ජනතාවට හෙළිදරව් කර ඒ අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.

එවිට එක්සත් ජාතික පක්ෂයට සහ එම පෙරමුණට දේශපාලන වශයෙන් නිවැරදි විය හැකි අතර හොරුන් කවුරුන්ද කියා දැන ගැනීමෙන් පසුව එක්සත් ජාතික පාක්ෂිකයින්ට හිත හදා ගැනීමට ද හැකියාව තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් නියත ලෙසම ඉල්ලා අස් වී ගෙදර යා යුතු කාලය ඇත්තටම මේ වන විට ඉක්ම ගොස් තිබෙනවා.ජනාධිපතිවරණ දෙකක් පරාජයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ තුනක් සඳහා නායකයා ලෙස තමා ඉදිරිපත් නොවී පොදු අපේක්ෂකයින් දෙදෙනෙකු සහ අවසාන වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ඉදිරිපත් කළා. ඇත්තටම ඔහු එසේ කළේ තමාට ජනාධිපතිවරණයක් ජය ගත නොහැකි අතර තමා රටේ ජනතාවගෙන් වගේම පාක්ෂිකයින්ගෙන් ප්‍රතික්ෂේප වී ඇති බව අපටත් වඩා හොදින් ඔහු දන්නා නිසයි.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ තව දුරටත් රැදී සිටියොත් සිදු වන්නේ ඉදිරි මහා මැතිවරණය පමණක් නොව ඊට පසුව පැවැත්වෙන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය ඇතුළු ඒ මතිවර තුනම අන්ත ලෙස පරාජයට පත් වීමට පක්ෂයට සහ පාක්ෂිකයාට සිදු වීමයි. තමා නායකත්වයෙන් ඉල්ලා අස් වී ගෙදර ගියොත් එක්සත් ජාතික පක්ෂය දෙකඩ කැඩී විනාශ වනු ඇතැයිද එම නිසා සියලු දෙනා එකට ඒකරාශී කර පක්ෂය සමගි සම්පන්න කරන තුරු තමා නායකත්වයේ රැඳී සිටිය යුතු බවට ද වන මතය රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල තහවුරු කිරීමට අසාර්ථක උත්සාහයක දී සිටිනවා.ඔහු එසේ කරන්නේ ඇත්තටම පක්ෂයට සහ පාක්ෂිකයාට තිබෙන ආදරයකට නොව වරදාන සහ වරප්‍රසාද භුක්ති විදිමින් මරණ මංචකය දක්වාම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ එල්ලී සිටීමට තිබෙන කෑදරකම, බල ලෝභය සහ අත්මාර්ථකාමිත්වය නිසයි.

ඇත්තටම එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී විනාශ වනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ තව දුරටත් රැඳී සිටියොත් විනා නායකත්වයෙන් ඉල්ලා ඇස් වී ගෙදර ගියොත් නොවන බව පැහැදිලිව කිව යුතුයි.ඇත්ත වශයෙන්ම මේ දේශපාලන ශාපයෙන් සහ පිළිලයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් ගැළවීම ලැබිය යුතු කාලය උදා වෙලා."

Advertiesment