Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


බුදු ගුණ පමණක් නොව බුදු නැණ ද හඳුනා ගනිමු


2019-07-02 3385

බුදුරජාණන් වහන්සේ කියල අපි නම් කරන්නේ මහා ගුණ සාගරයක්, මහා ඥාණ සාගරයක්, සම්මා සම්බුදු අමා මෑණියන් වහන්සේගේ ලොව්තුරු ගුණයත්, ලොව්තුරු ඥාණයත් කාටවත් කියල මෙනෙහි කරල අහවර කරන්නට ලැබෙන එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරගෙන, මෙනෙහි කරගෙන යනකොට වෙලාවකට හිතෙනවා මේ වගේ ගුණවතෙක් මේ වගේ නැණවතෙක් මේ තුන් ලෝකයේ පහළ වුණා ද කියලා. ඒ තරමටම පින්වතුණේ පුදුමයි. මේ තරම් කෙලෙස් බහුල ලෝකයක මේ තරම් නපුරු දුර්දාන්ත සිතුවිලි බහුල ලෝකයක, මේ තරම් අසහාය ගුණවතෙක්, අසහාය ඥාණවන්තයෙක් පහළ වුණා නම් ඒක පින්වතුණේ වාසනාව නෙවෙයිද ?

බුදුරජාණන් වහන්සේම දේශනා කළ, මහණෙනි, හරියට මම නෙළුම්,මානෙල් මලක් වගේ. නෙළුම් මානෙල් මල ගොහොරු මඩෙන් දුර්දාන්තයෙන් ඈත් වෙලා ජලය මත විකසිතව බැබළෙනවා වගේ කෙලෙස් බහුල මේ ලෝකය තුළ ඉපදිලා මේ කෙලෙස් බහුල ලෝකයෙන් ඈත්වෙලා, රාගයෙන් ද්වේශයෙන් වෛරයෙන්, පළිගැනීමෙන් මදමානයෙන් ඈත්වෙලා විරාගිකව නික්ලේශීව මේ ජන සමාජය මැද බැබළෙනවා.

මමත් මේ මනුස්ස ලෝකෙ තමයි ඉපදුනෙ නමුත් මිනිසුන් අතර මම ජීවත් වුණාට සියලූ ක්ලේශයන් ප‍්‍රහීන කළ නිසා මා හැඳින්විය යුතු හොඳම නම නම් උත්තරීතර මනුස්සයෝ කියල අප පින්වතුන්ලාට තේරෙනවා. පින්වතුන්ලා අපි මේ කෙලෙස් බරිත ලෝකයේ ජීවත් වෙනවා තමයි ඒ වුණාට අපි නිකලෙස් වෙන්ට මොන වෙහෙස ගත්තත් හෝද හෝදා මඬේ දානවා වගේ, නැවත නැවත ඇතුල් වෙන්නේ මේ කෙලෙස් බහුල ජන සමාජයටම නෙවෙයි ද, මේ රාගාධික ලෝකයේ විරාගීව ජීවත්වෙන්නට පුළුවන් නම් ද්වේශ බහුල ලෝකයේ මෛත‍්‍රීයෙන් ජීවත් වෙන්නට පුළුවන් නම් පළිගන්න ලෝකයේ මෙත් වඩමින් ජීවත් වෙන්ට පුළුවන් නම්, හරි අමාරුයි තමයි පින්වතුනේ, ඒ වුණාට සංසාරෙ අපි මේව පුරුදු කරන්නට එපායැ.

බුදුරජාණන් වහන්සේ වන්දනා කරන මොහොතක් ගානෙ හිත්වල මතුවෙන්ට  ඕන මමත් මේ ගුණ ධර්ම වැඩිදියුණු කරගන්නවා. වෙනදාට වඩා මමත් හොඳ වෙනවා. එහෙමනෙ අපි නිතරම හිතන්නට  ඕනෙ. බුදුරජාණන් වහන්සේගේ ඥාණය තව එකක්. නව අරහදී බුදු ගුණ පින්වතුන්ලා අපි නිතර නිතර මෙනෙහි කරනවා ඒක බුදුරජාණන් වහන්සේගේ ගුණයයි. බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු සන්තානය තුළ මතුවෙච්ච ඒ උත්තම දැනුම් සම්භාරයට කියනව තෙසැත්තෑ ඥාණ කියල පින්වතුන්ලා අපි බුදුරජාණන් වහන්සේගේ ගුණයට කොච්චර වැන්දත් ඇතිය කියල හිතෙනවද ?

අරහං - රහසින්වත් පව් නොකළ නිසා බුදුරජාණන්වහන්සේ අරහං නම් වන සේක. මේ වචනෙ විස්තර පින්වතුන්ලා දන්නවනෙ. අරහං කියල මෙනෙහි කරන්නට මෙනෙහි කරන්නට බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් කළේ නෑ කියල හිතට දැනෙන්නට දැනෙන්නට තමනුත් බුදුරජාණන් වහන්සේ අතරත් මොනතරම් වෙනසක් දැනෙනවාද බුදුරජාණන් වහන්සේගේ පාමුල තැවරුණු දුවිල්ලක් තරම්වත් අනේ මම වටින්නෙ නෑ නේද ?

බුදුරජාණන් වහවන්සේ මේ ජන සමාජයේ මෙච්චර කලක් ජීවත් වෙලා රහසින්වත් නපුරු සිතුවිල්ලක් හට නොගත්තා නම් ඒ උතුම් තැනට කවදාද මම යන්නෙ. සියලූම ධර්ම තනිවම අවබෝධ කර ගත්තා. ලෝකයාටත් අවබෝධ කරලා දුන්නා. ගුරුවරයෙකු නොමැතිව සියලූම ධර්මය වටහා ගත්තා. ත‍්‍රි විද්‍යා, අෂ්ඨ විද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් සමන්විත වුණා. යා යුතු සුන්දර නිවන් මඟ වැඩම කළා. සියලූ ලෝකය යථා ස්වභාවයෙන් දැන ගත්තා. දමනය කළ හැකි පුද්ගලයන් දමනය කළා. දෙවියන්ගේත්, මිනිසුන්ගෙත් එකම ශාස්තෘන් වහන්සේ බවට පත් වුණා.

චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගත්ත විතරක් නෙවෙයි. ලෝකයාටත් තේරුම් කරල දුන්නා. මේ ලෝකයේ කිසිවෙකුටත් සම නොවන තරම් මහා භාග්‍ය ධර්මයන්ගෙන් සමන්විත වුණා. මේවා බුදුරජාණන් වහන්සේ තුළ තිබුණ ගුණ ධර්මයි. බුදුරජාණන් වහන්සේගේ ගුණවලට නව අරහදී ගුණ කියල කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණ දැනුම් සම්භාරයට කියනවා ඥාණ ගුණ වන්දනා කරනවා වගේම ඥාණ ගුණ වන්දනා කරන එකෙන් ලොකු පිහිටක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු ඥාණ නුවණ හැත්තෑ තුනයි. ඒ හැත්තෑ තුනක් වූ ඥාණයන් සිහි කර වන්දනා කරන කොට තමන්ගේ ඥාණය මෝරනවා. තමන්ගේ නුවණ මෝරනවා. ගුණය ඥාණය මෙනෙහි කරන්ට මෙනෙහි කරන්ට තමා තුළ ගුණ හටගත්තා නම් තමා තුළ ඥාණ හටගත්තා නම්  ඕනෑ කරන්නෙ ඒ ටික නොවෙයිද ?

පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරාධිපති

කොලොන්නාවේ සිරි සුමංගල හිමි

 

Advertiesment