Friday 26th of April 2024

English Tamil
Advertiesment


අශිෂ්ඨත්වයට එරෙහි ශිෂ්ඨත්වයේ අරගලය -Pad Man-


2019-11-04 7639

ඒකාධිපති රෙජීමය වහලුන් එක්ක උතුම් මාතෘත්වයට අපහස කළ හැටි මෙන්න..!

 

"ගෝඨාභය රාජපක්ෂ කාන්තාවන්ගෙන් සමාව ගත යුතුයි"

 

සියයට 53ක් වූ කාන්තාවන්ගෙන් සියයට 64කට "Pad" ගන්න සල්ලි නැහැ
 

 
(අනුරුද්ධ බංගදෙණිය)

බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ ආකාරයටම මෙවර ජනාධිපතිවරණය "ප‍්‍රතිපත්ති විරහිත මඩ ව්‍යාපාරයක්" බවට පත්ව තිබෙනවා. දැවැන්ත පෞද්ගලික මාධ්‍ය මාෆියාවක සහ සමාජ මාධ්‍ය මෙහෙයුමක කොන්දේසි විරහිත සහාය ලැබෙන ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමස්ථ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේම තිබෙන්නේ ඒ අය දශක ගණනාවක් පුරා සාර්ථකව අත්හදා බලා ඇති "ගොබෙල්ස් මාධ්‍ය" භාවිතයයි.මේ වන විට එහි ද සීමාවන් අතික්‍රමණය කරමින් "අශිෂ්ඨත්වය" සිය කේන්ද්‍රීය ප‍්‍රචාරක අවිය බවට ඒකාධිපති රෙජීමය පත් කර ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවන්ගේ "සනීපාරක්ෂක තුවා" නැති නම් "Pad" සම්බන්ධ කතාව ඉදිරියෙන්ම තිබෙනවා.

දස වසරකට ආසන්න කාලයක් මේ රටේ විධායක ජනාධිපති ධූරය දැරුව මහින්ද රාජපක්ෂ, කාන්තාවන් විෂයෙහි අතිෂය සංවේදී යැයි අප විශ්වාස කරන ඇයගේ "ඔසප් වීම" හා සම්බන්ධ ස්වභාවික සිදුවීම ජනපතිවරණ වේදිකාවේදී තළු මරන ආකාරයට ගැන අද බොහෝ දෙනෙක් අතර ඇත්තේ දැඩි පිළිකුළක්.

"සජිත් පේ‍්‍රමදාස ඊයේ පෙරේදා තව එකක් නිකන් දුන්නා. ඒක ගන්නත් පෝලිමේ යන්න වෙනවා කූපන් එක අරන්...අම්මයි බිරිඳයි දරුවෝ එක්ක ප‍්‍රවෘත්ති බලන කොට අම්මා මගේ දිහා බලලා නැගිටලා ගියාලු...දුව කාමරයට ගියා. බිරිඳ මගේ දිහා බලලා දෙයියන්ගේ පිහිටයි කිව්වලු...මේ විදියට විහිළුවලින් ජනතාව සන්තෝෂ කරන එකයි කරන්න යන්නේ" - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ - 2019 ඔක්තෝබර් 30, රුවන්වැල්ල ජනහමුව.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා සහ "පොහොට්ටු" කල්ලිය කියන ආකාරයට අනාගත අගමැතිවරයා කාන්තාවන්ගේ අතිෂය ස්වභාවික ක‍්‍රියාවලියක්,නොඑසේ නම් උතුම් මාතෘත්වය හා ඍජුව සම්බන්ධ කාරණයක් මේ ආකාරයෙන් පටු සහ හාස්‍ය ජනක ලෙස ලඝු කරන්නේ මේ ස්වභාවික ක‍්‍රියාවලිය සමග පොදුවේ කාන්තාවන් මුහුණ පාන දුෂ්කර වගේම වේදනාකාරී තත්ත්වය ගැන කිසිවක් නොදැන නොව හිතාමතාම දේශපාලන වාසිය පමණක් අපේක්ෂාවෙන් බවයි බොහෝ දෙනෙක් කියන්නේ.

"සිරිමාවෝ අගමැති වුණොත් මාසෙකට සැරක් අගමැති පුටුව හෝදන්න වෙයි කියලා කාන්තාවට අවමන් කළේ පුතාණෝගේ පියා තමයි. ඒ පියාණෝගේම පුතානෝ සනීපාරක්ෂක තුවා නොමිලයේ දෙනවාලු. ශ්‍රී ලංකාවේ වෙළෙද පොළේ සනීපාරක්ෂක තුවා නිපදවන්නේ ඒ පුතාට ගෙඩිය පිටින්ම කඬේ යන මාධ්‍ය ආයතනයක අයිතිකාරයා. කාන්තාව ගැන අනුකම්පාව දැනුනා වගේ මේ කරන්න යන්නේ තමාට උදව් කරන අයට උදව්වක්. පුතාණෝගේ සනිපාර්ක්ෂක තුවාය දෙන්නත් රටක් තියෙන්න ඕනේ" - විමල් වීරවංශ-2019 ඔක්තෝබර් 30, රුවන්වැල්ල,ජන හමුව.

මේ කතාව කියන්නේ වගකීම් විරහිත ප‍්‍රලාප දෙඩවීමේ කප් ගසා ඇති විමල් වීරවංශ. නැවතත් ඔහු උත්සාහ කරන්නේ මේ සනීපාරක්ෂක තුවා කතාව ඔහුගේ කුමන්ත‍්‍රණ න්‍යායට ගොනු කරලා බිල්ලෙක් මවන්නයි.

"අපි අයන් මෑන්ලා-සුපර් මැන්ලා වගේ අය ගැන අහලා තියෙනවා.මේ වෙන කොට නම් අලුත්ම මෑන් බවට "පෑඞ් මෑන්" පත් වෙලා.රූපවාහිනිය බලන් ඉන්න කොට මේ උන්නැහේගේ කතාව අහලා අම්මයි තාත්තායි නැගිටලා යනවා.තමාගේ මහත්තයාට කියලාවත් අපේ කාන්තාවෝ ගෙන්න ගත්තේ නැති එක මේ මනුස්සයා ගෙනත් දෙන්න හදනවා.ඒ කියන්න සජිත් ප්‍රේමදාස මහත්තයාත් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද ගණන වැඩි කරමින් ඉන්නවා" - රෝහිත අබේගුණවර්ධන,2019 ඔක්තෝබර් 30, රුවන්වැල්ල ජන හමුව.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ වේදිකාව අරක් ගෙන සිිටින තවත් "වාචාලයෙකු" වන රෝහිත අබේගුණවර්ධනට අනුව ශ්‍රී ලංකාවේ සැමියා සහ බිරිද අතර තිබෙන්නේ අන්ත පසුගාමී "තලේබාන්" මාදිලියේ සම්බන්ධතාවක් බවයි පෙනී යන්නේ.

මේ අතර මේ කතාවටම ඌණ පූරණයක් එක්කළ තවත් ප‍්‍රකට වාචාලයෙකු වන ඩලස් අලහප්පෙරුම පසුගිය දා කියා සිටියේ කාන්තාවන්ට වසරකටම රුපියල් 1500ක් පමණ වැය වන මේ පොරොන්දුව විකාර රූපී එකක් බවයි.

ඒත් මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම නොදන්න කරුණ වන්නේ ශ්‍රී ලංකාව අප සිතන තරම් සුන්දර හෝ මානුෂික එකක් නොවන බවයි.

යළිත් ඍජුවම මේ "Pad" කතාවම ගත හොත් පසු ගිය කාලය පුරාම කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ සහ අධ්‍යයන කටයුතුවල නිරත වූ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා ප්‍රධාන කණ්ඩායමක් කියා සිටියේ "ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 53%ක් කාන්තාවන්...ඒ සංඛ්‍යාවෙන් 64% ඉක්ම වූ පිරිසක් "විධිමත් සනීපාරක්ෂක තුවා" භාවිතා නොකර රෙදි කැබලි,පුළුන් සහ කඩදාසි වැනි විකල්ප ක‍්‍රම කෙරේ තදින් යොමුව සිටිනවා.ඒ දිළිඳු බව,සමාජ ආකල්ප සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳ අනවබෝධය නිසා" බවයි.

මෙහිදී මහාචාර්යවරයා ප්‍රධාන එම කණ්ඩායම තව දුරටත් පෙන්වා දුන්නේ, සාමාන්‍යයෙන් කාන්තාවකට මසකට අවශ්‍ය වන්නේ සනීපාරක්ෂක තුවා පැකට් එකක් වුවත් ගෘහ ඒකකයක සිටින වැඩි විය පත් කාන්තාවන් ගණන ඉහළ යන විට මේ සඳහා දැරිය යුතු මිල ද සාපේක්ෂව ඉහළ යන බවයි.

"හොඳ උදාහරණයක් ගන්න...අපේ දේශපාලනඥයින් පක්ෂව විපක්ෂව පොදුවේ සමෘද්ධිය වැනි සමාජ සුබ සාධනවලට ප‍්‍රමුඛ අවදානයක් දෙනවා. ඒ කියන්නේ මාසයකට රුපියල් 3,000ක් හෝ ඊට අවම සහනාධාරයක් ලබන පවුල් ලක්ෂ 15ක් මේ රටේ ඉන්නවා. ශ්‍රී ලංකාවේ සමස්ථ ගෘහ ඒකක ගණන ලක්ෂ 55ක් පමණ යැයි සැලකුවත් ශ්‍රී ලංකාවේ සමස්ථ පවුල්වලින් 30%කට ආසන්න පිිරිසක් මාසිකව රුපියල් 3,000ක් නොඉක්මන සහනාධාර ලබනවා. මේ පවුල් ඒකකයක අවම වශයෙන් කාන්තාවන් දෙදෙනකු සිටින බවට ගණන් බැලුවත් ඔවුන් මේ සමෘද්ධිය හෝ ජනසවිය වේවා ඒ මුදලින් මාසිකව අවම වශයෙන් 10%ක් තමන්ගේ සනීපාරක්ෂක තුවා වෙනුවෙන් වැය කළ යුතුයි. ඒත් අපි දන්නවා ශ්‍රී ලංකාවේ පොදුවේ කාන්තා ජනගහණය 53%ක් වන විට ඇතැම් ගෘහ ඒකකවල කාන්තාවන් තිදෙනෙකුට වැඩිය සිටින අවස්ථා බහුතරයක් තිබෙනවා. ඒ අනුව අපිට ඇත්තටම ඔවුන්ට යන විදයම ගණනය කළ හැකියි නේද..? " යනුවෙන් මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා ප්‍රධාන විශ්ව විද්‍යාල ආචර්ය කණ්ඩායම මහින්ද රාජපක්ෂ,විමල් වීරවංශ,ඩලස් අලහප්පෙරුම සහ රෝහිත අබේගුණවර්ධන ඇතුළු කල්ලියට නොපෙනෙන පැත්තක් නිරාවරණය කරමින් ප්‍රශ්න කර සිටිනවා.

"වතු කම්කරු කාන්තාවගේ මාසික වැටුප රුපියල් 20,000ට අඩුයි. කම්කරු ස්ත‍්‍රීන්ගේ සහ ඇඟළුම් කම්හල්වල සේවය කරන තරුණියන්ගේ වැටුපත් රුපියල් 20,000ට අඩුයි. මෙවැනි තත්ත්වයක් යටතේ අත්තටම සනීපාරක්ෂක තුවා සඳහා මාසිකව දැරීමට සිදු වන වියදම ඔවුන්ට අමතර බරක්. ඒ නිසයි මම මුලින්ම සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ 53%ක් වූ කාන්තාවන්ගෙන් 64%ක් ම තවමත් විධිමත් සනීපාරක්ෂක තුවා භාවිතවයට යොමු වෙලා නැත්තේ" යනුවෙන් මහාචාර්යවරයා පැවසුවා.

මිත්‍යාව සහ හිස්බව වැපිරීම

මහින්ද රාජපක්ෂලා, විමල් විමල් වීරවංශලා, රෝහිත අබේගුණවර්ධනලා සහ ඩලස් අලහප්පෙරුමලා සනීපාරක්ෂක තුවා ගැන සංවාදය ආරම්භ කිරීමට පෙර මෙරට ප‍්‍රමුඛ කාන්තා පුවත්පතක ප‍්‍රධාන කර්තෘවරයාව සිටි "තිලක් සේනාසිංහ" ඉරිදා ජාතික පුවත්පතකට ලියූ ලිපියක් හරහා සමාජ මාධ්‍ය අතර සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් දැඩි සංවාදයක් ඇති වුණා.

මෙම සංවාදයට එක් වෙමින් බී.බී.සී සිංහල සෙවය විශේෂ වාර්තාවක් පළ කරමින් මෙසේ සඳහන් කළා. "සනීපාරක්ෂක තුවා එළිපිට මිල දී ගැනීම කාන්තාවන්ට නුසුදුසු දෙයක්, බවට පසුගියදා පුවත්පතක සඳහන් වීමත් සමග ඔසප් වීම සහ ඒ පිළිබඳ ඇති මිථ්‍යා මත ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල කතිකාවක් ගොඩනැගිණි. ඔසප් වීම මුල් කර ගෙන කාන්තාවකගේ පවිත්‍ර සහ අපවිත්‍ර බව මැනීමේ චාරිත්‍ර වර්තමාන සමාජයේ පවා බහුලව දැකිය හැකිය. ඔසප් වීම ආරම්භ වූ දින සිට එම දැරිය පුරුෂයන්ගේ ඇස ගැටීම වළක්වමින් දින ගණනාවක් නිවසින් බැහැරට යෑමට නොදී විවිධ චාරිත්‍ර ඉටු කිරීම ශ්‍රී ලාංකීය සමාජයේ අදටත් එලෙසින්ම දැකිය හැකිය. සති කීපයක ඇවෑමෙන් ,කොටහළු මඟුල් ගෙයක්, සංවිධානය කර සිය දියණිය වැඩිවියට පා තැබීම සැමරීමට ද බොහෝ දෙනෙක් ක්‍රියා කරති.

කෙසේ වෙතත්, කාන්තාවන්ගේ ඔසප් වීම ගැන ශ්‍රී ලාංකීය සමාජයේ ප්‍රසිද්ධියේ කතා කරන්නේ අතලොස්සක් පමණි. මෙම මාතෘකාව සඟවා තැබිය යුතු බවටත්, ඔසප් දිනවල භාවිත කරන සනීපාරක්ෂක තුවා සහ "ටැම්පොන්" (tampon යනු ඔසප් වීමේ දී පිටවන රුධිරය උරා ගැනීමට යෝනි මාර්ගයට ඇතුළු කරන පුළුන්වලින් තැනූ ඇබයක්) ඇතුළු විවිධ නිපැයුම් එළිපිට විකිණීම පවා සමාජ සම්මතයන්ට පටහැණි බවටත් විශ්වාස කරන පිරිසක් ද සිටිති.

ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙ ඳසැලක සනීපාරක්ෂක තුවා පැකට් විකිණීමට ඇති ස්ථානය අසලින් විනිවිද නොපෙනන දුඹුරු පැහැ බෑග් තබා තිබෙන ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙනු දක්නට ලැබිණි. මෙම ක්‍රියාවට බොහෝ විවේචන එල්ල වුවද, තවමත් ශ්‍රී ලංකාවේ බොහෝ වෙළෙඳ සැල්වල සනීපාරක්ෂක තුවා පැකට් කඩදාසිවල ඔතා දෙන අතර එය සඟවා රැගෙන යෑමට බොහෝ දෙනෙකු කැමැත්ත පළ කරති" සිය වාර්තාව මගින් බී.බී.සීය පැහැදිළිව දක්වා සිටින්නේ, මාසික ශුද්ධිය සිදු වන කාලය ඇතුළත කාන්තාවන් විවිධ වර්ගයේ සනීපාරක්ෂක තුවා සහ "ටැම්පොන්’ භාවිත කරන අතර රුපියල් 500කට ආසන්න ගණනකට විකිණීමට ඇති සනීපාරක්ෂක තුවා සෑම මසකම මිල දී ගැනීමට අපහසු කාන්තාවන් රෙදි, පුළුන් සහ කඩදාසි වැනි ආදේශක භාවිත කරනු බවයි.

අද සනීපාරක්ෂක තුවාවල මිල සහ ඒ සඳහා වාර්ෂිකව දැරීමට සිදු වන මිල පිළිබඳ අතිෂයෝක්ති කතා කියන ඩලස් අලහප්පෙරුමලා මේ කතාව නොදන්නවා විය හැකි වුවත් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිළිබඳ ගැටලුවේ නියම ස්වභාවය දන්නා කිසිවෙකු "නොමිලයේ සනීපාරක්ෂක තුවා" ලබා දෙන බවට සජිත් ප්‍රේමදාස කළ ප‍්‍රකාශයට එරෙහි නොවන බව සත්‍යයකි.

මේ සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සිදු කෙරුණු ප‍්‍රකාශයක් ද බී.බී.සීය උපුටා දක්වා තිබෙන අතර එම ප්‍රකාශයේ මෙසේ සඳහන් වනවා. "ශ‍්‍රී ලංකාවේ වැඩිවියට පත් පාසල් දැරියන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මාසික ශුද්ධිය සිදු වන කාලය ඇතුළත පාසල් යාමෙන් වැළකී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2015 දී සිදු කළ සමීක්ෂණයකට අනුව සැකසුණු වාර්තාවක සඳහන් වේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ගෙන් 60%ක් ඔසප් වීමේ දී පිට වන රුධිරය අපිරිසිදු ලෙස සිතන අතර, 80%ක් සිතන්නේ එම කාලය ඇතුළත ස්නානය කිරීම නොසුදුසු බව යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සිදු කළ සමීක්ෂණයක දැක්වේ. දකුණු ආසියානු රටවල සෑම සිසුවියන් තිදෙනෙකුගෙන් එක් අයෙක්ම ඔසප් කාලය ඇතුළත පාසල් නොපැමිණෙන අතර, ශ්‍රී ලංකාවේ තත්වය මීට වඩා බරපතලයි."

මේ වාතාවරණය අතිෂය සානුකම්පිත තත්ත්වයක් බව පැහැදිළියි. දැරියන් නියත වශයෙන්ම මාසිකව දින කිහිපයක් පාසල් නොයාම ගැන මහින්ද රාජපක්ෂ ප්‍රධාන රෙජීමය නොදන්නවා විය හැකිය. එහෙත් ඇත්ත ඒකයි... දැරියන් මේ ආකාරයෙන් පාසල් නොයාමට හේතුව ද බී.බී.සීය විග‍්‍රහ කර තිබෙන්නේ මෙලෙසයි.

‘‘රුපියල් 500කට ආසන්න ගණනකට විකිණීමට ඇති සනීපාරක්ෂක තුවා සෑම මසකම මිල දී ගැනීමට අපහසු කාන්තාවන් රෙදි කැබලි සහ පුළුන් වැනි ආදේශක භාවිත කරනු ලබයි. එවැනි ආදේශක පැළඳ ගෙන යාමේ දී මෙන්ම පිරිසිදු කිරීමේ දී ඇති වන දැඩි අපහසුතා මඟ හැරීම සඳහා මාසික ශුද්ධිය සිදු වන කාලය ඇතුළත සිය දෛනික කටයුතුවල යෙදීමෙන් සහ නිවසින් බැහැරට යාමෙන් වැළකී සිටීමට සමහර කාන්තාවෝ පෙළඹෙති."

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර මාසික ශුද්ධිය හා බැඳුණු අගහිඟකම් ගැන "රොයිටර්" පුවත් සේවයේ පළ වූ ලිපියකට කරුණු දක්වමින් කොළඹ කිතුල්වත්තේ පදිංචි රිෆ්කා තරුණිය පැවසුවේ ඔසප් කාලය ඇතුළත රෙදි වර්ග භාවිත කිරීමෙන් දැඩි අපහසුතාවලට මුහුණ දුන් බවයි.

"අපි වතුර ලබා ගන්නේ පොදු පයිප්පයකින්. ඔසප් කාලයේ දී අඳින රෙදි සෝදා ගන්න පෝලිමක ඉන්න ඕනේ...අපි ඒවා සඟවා ගෙන යන්නේ. ඒ වගේම ලැජ්ජාව නිසා ඒවා වේලන්නෙත් හොරෙන්...ගොඩක් වෙලාවට ඒ රෙදි හරියට වේලෙන්නේ නැතුව තද ගතියකට හැරෙනවා’’ ඇය වැඩි දුරටත් පවසා සිටින්නීය.

මේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ දැරියන් සිය ඔසප් සමයේ මුහුණ පා සිටින සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂලා රජකම් කරන යුගයක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ජාත්‍යන්තර මාධ්‍යයේ නිරීක්ෂණයට ලක් වූ ආකාරයයි.

ඔසප් වීම සමග බැඳුණු අගහිඟකම්. ගැන පසුගිය වසරේ ලොව පුරා රටවල අවදානය යොමු විය. බ්‍රිතාන්‍යයේ ද සෑම කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම නිෂ්පාදන මිල දී ගැනීමට අපහසු බව පසුගිය වසරේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි විය. 2018 සැප්තැම්බර් මස වන තෙක් ආනයනය කරන සනීපාරක්ෂක තුවාවලට විශාල බද්දක් අය කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ අතර, ඒ හේතුවෙන් එම පැකට්ටුවක සිල්ලර මිල තවත් ඉහළ ගියේය. මේ වන විට අදාළ බදු මුදල පහත හෙළීමට රජය ක්‍රියා කර තිබේ. කෙසේ නමුත්, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, අයර්ලන්තය, කෙන්යාව, උගන්ඩාව සහ එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවල සනීපාරක්ෂක තුවා සඳහා යොදා තිබූ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ක්‍රියා කර තිබේ.

අතිෂය ප‍්‍රාථමික වැඩවසම් ආකල්පවල සිටින "පිරිමි ඔළු" සිතන ආකාරයට වඩා ශ්‍රී ලංකාවේ තත්ත්වය සංකීර්ණ බව ඉහත වාර්තා සහ මූලාශ‍්‍ර ඇසුරින් අපට පහසුවෙන් වටහා ගත හැකියි.

"ඇත්තටම කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා භාවිතය ගැන මීට මාස කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ යම් සංවාදයක් ආරම්භ වුණා. එහිදී අප නොසිතූ තරම් සංවේදී කතා එළියට ආවා. අප හිතන්නේ මාසයකට වරක් රුපියල් දෙතුන් සියයක් වියදම් කිරීම මහ ලොකු වැඩක් ද කියලයි. ඒත් ප‍්‍රශ්නය වන්නේ ඇතැම් අඩු ආදායම්ලාභී පවුල්වලට එම මුදල මාසිකව සැලකිය යුතු වියදමක් වීමයි. කාන්තාවන් දෙදෙනකු සිටින අඩු ආදායම්ලාභී පවුල්වලට මේ මුදල මාසිකව දැරිය යුතු සැලකිය යුතු බිලක්. මේ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි ගෝලීය වශයෙන් දැකිය හැකි පොදු තත්ත්වයක්. ඒ සඳහා ගෝලීය විසඳුම් අවශ්‍යයි. ඒ වගේම ඉන්දියාවේ "Pad Man" දුන්නා වගේ නිර්මාණාත්මක විසඳුම් අවශ්‍යයි" කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් එසේ සඳහන් කළා.

ඇය මෙහිදී දැඩිව අවධාරණය කරන්නේ මේ සංවාදය සමග ඔසප් වීම හා බැඳුණු මිත්‍යා විශ්වාස සහ මත ද මුලිනුපුටා දමන සංවාදයක් ආරම්භ කළ යුතු බවයි. "පුදුමයි, සිය දියණිය වැඩිවියට පත්වීම උත්සවශ‍්‍රීයෙන් සමරන සමාජයක මේ වාගේ පටු ආකල්පයක් සිය බිරිඳගේ, දියණියගේ ස්වභාවික ක‍්‍රියාවලියක් සම්බන්ධයෙන් අනුගමනය කිරීම. මේ හරහා අපට යළි යළි අවධාරණය කරන්නේ අපි සමාජයක් වශයෙන් කොතරම් පසුගාමීද යන්නයි. නවීන සමාජයක් ගැන කතා කරන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවෙම මේ වගේ අන්ත වැඩවසම්, ස්ත‍්‍රීන්ව හෙළා දකින ප‍්‍රකාශ සිදුවීම ගැන ගෝඨාභව රාජපක්ෂ මහතා වඩාත් සංවේදී විය යුතුයි" ඇය වැඩි දුරටත් සඳහන් කළා.

ඉන්දියාවේ "Pad Man" සජිත් ප්‍රේමදාසව අගය කරයි "Pad Man" යනු ඉන්දියාවේ ප‍්‍රකට චරිතයක්. ඔසප් සමයේ සිය බිරිඳ විඳවපු වධ වේදනා සහ අපහසුතා පිළිබඳ කණස්සල්ලට පත් "අරුණාචලම් මුරුගනාදම්" නම් තරුණ ඉන්දිය ජාතික සැමියා පහසුවටත්, ලාභයටත් මිලදී ගත හැකි සනීපාරක්ෂක තුවායක් නිර්මාණය කරමින් ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය ජාතික කාන්තාවන්ට සහනයක් ලබා දුන්නා.

"Pad Man" යන ආදරණීය නාමයෙන් හඳුන්වන මේ මිනිසා 2019 නොවැම්බර් සෙනසුරාදා (02) සිය මුහුණු පොතේ සටහනක් තබමින් සජිත් පේ‍්‍රමදසව අගය කර තිබුණේ මෙහෙමයි.

"ලොව පුරා සිටින නායකයින් කාන්තාවන්ගේ ඔසප් සනීපාරක්ෂාවේ වැදගත්කම මනාව වටහා ගෙන තිබීම හොඳ වෙනසකි. මෙවැනි නායකයින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ වෙනුවෙන් වූ විවිධ මුල පිරීම් නිවේදනය කරයි.

මෑතකදී ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දැරියන්ගේ සහ කාන්තාවන්ගේ ඔසප් සනීපාරක්ෂාව ගැන දැනුවත් කිරීමේ වැදගත්කම ගැන හඬ අවදි කළේය. ඔහු එරට නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමතිවරයා වේ.තමා "Pad Man" ලෙස හැඳින්වීම ගැන ඔහු සතුටු වන අතර කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබාදීම ඔහුගේ මැතිවරණ පොරොන්දුවකි.

මේ ජාතික නායකයින් ඔසප් සනීපාරක්ෂාව ගැන හඬ අවදි කරන නියෝජිතයන් වීමට කාලයයි.බංග්ලාදේශය ද සරණාගත කාන්තාවන් සහ ගැහුණු දැරිවියන් උදෙසා ඔසප් සමයේ සනීපාරක්ෂාව ගැන දැනුවත් කිරීමට මේ වන විට පෙළඹී තිබේ."

හමාර කිරීම

වර්තමානයේ ප‍්‍රකෝටිපතියන් වී සිය බිරිඳ ඩිස්නිලන්තේ සවාරි ගසන තැනට පත්ව ඇති පැරණි විප්ලවකරුවෙකු වන විමල් වීරවංශට "මහින්ද සරණං ගච්ඡමි" කියන්න පෙර සිය බිරිඳ මාවරමණ්ඩියේ පුංචි "Communication" එකක් දමා ගෙන සිටි යුගය සිහිපත් වේ නම් හෝ, රෝහිත අබේගුණවර්ධන හෙවත් "රත්තරං මල්ලිට" දුම්රියේ වැඩ පෙන්නූ යුගය සිහිපත් වේ නම් හෝ ඩලස් අලහප්පෙරුමට 1994 ට පෙර යුගය සිහිපත් වේ නම් 'Pad" ගැන වාචාල සහ අශික්කිත කතා නොකියන බව සහතිකය.

මහත්වරුනි.., ඔබලාගේම පාලන සමය පදනම් කර ගෙන 2015 එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සකස් කෙරුණු විමර්ශන වාර්තාව සොයා ගෙන කියවන්න... "රුපියල් 500කට ආසන්න ගණනකට විකිණීමට ඇති සනීපාරක්ෂක තුවා සෑම මසකම මිල දී ගැනීමට අපහසු කාන්තාවන් රෙදි, පුළුන් සහ කඩදාසි වැනි ආදේශක භාවිත කරනු ලබයි. එවැනි ආදේශක පැළඳ ගෙන යාමේ දී වගේම පිරිසිදු කිරීමේ දී ඇති වන දැඩි අපහසුතා මඟ හැරීම සඳහා මාසික ශුද්ධිය සිදු වන කාලය ඇතුළත සිය දෛනික කටයුතුවල යෙදීමෙන් සහ නිවසින් බැහැරට යාමෙන් වැළකී සිටීමට සමහර කාන්තාවෝ පෙළඹෙති..’’ මහින්ද රාජපක්ෂ මහතාණෙනි..,ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි.., මෙන්න කතාව.

 

 

Advertiesment