Saturday 27th of April 2024

English Tamil
Advertiesment


සිව් මසක් සඳහා ජනපතිට කෝටි 240ක්-ජවිපෙ විරෝධය


2019-10-26 7592

ජනපතිගේ දවසක වියදම කෝටි 2යි

 

විශ්‍රාමික දිවියේ සන්තෝසම කෝටි 800යි

 

(සුමුදු පෙරේරා)

පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් අතුරු සම්මත ගිණුම මඟින් ඉදිරි මාස හතර සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය වියදමට පමණක් රුපියල් කෝටි 240ක් වෙන් කර ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරෙමුණ චෝදනා කර සිටියි.

ඒ කියන්නේ ඉදිරි මාස හතර ඇතුළත එක් දිනයක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ එක් දිනක වියදම රුපියල් 2ක් වන බව පෙන්වා දුන් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව පොළොන්නරුවට වී සරල ජිවිතයක් ගත කරන බවට ජනතාව හමුවේ පොරොන්දු දුන් ජනාධිපතිවරයාට ඒ කියන සරළ දිවිය ගෙවීම සඳහා දවසකට රුපියල් කෝටි 2ක් වැය වන්නේ යැයි ද ප්‍රශ්න කළේය.

විජිත හේරත් මහතා මේ අදහස් පළ කළේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කොළඹදී සිකුරාදා (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේද කීය..

පසුගිය 23දා පාර්ලිමේන්තුවේදී ලබන අවුරුද්දේ මුල්මාස හතරට අදාළව වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් අනුමත කරගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඊට විරෝධය පෑවා. නමුත් එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා පොදු පෙරමුණ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකට සහයෝගය දීලා සම්මත කරගත්තා.

මේ තුළින් ජනාධිපතිවරයාට පමණක් රුපියල් කෝටි 240ක් ඒ කියන්නේ දවසකට රුපියල් කෝටි 02ක් තනි පුද්ගලයෙකුගේ නඩත්තුවට වෙන්කරගෙන තිබෙනවා. මහජන මුදල් මේ තරම් විශාල ප්‍රමාණයක් පුද්ගලයෙකුගේ නඩත්තුවට වැය කරන්නේ ජනතාව මත අසීමිත බදු බරක්, ජීවන වියදම් බරක්, ණය බරක් පටවා තිබෙන තත්ත්වයක් තුළ. ඒ වගේම සාමාන්‍ය ජනතාවට මුළු ජීවිතයටම වැය නොකරන මුදලක් මහජන ධනයෙන් තනි පුද්ගලයෙකුගේ දවසක වියදමට දරන එක කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. මීට අමතරව ජනාධිපතිවරයා විශ්‍රාම යනකොට වරප්‍රසාද පැකේජයක් කැබිනට් මණ්ඩලයේදී සම්මත කරදී තිබෙනවා. නිල නිවාසයක්, ආරක්ෂක වාහන, පුද්ගලික වාහන, ඉන්ධන දීමනා වගේ දේවල්වලින් රුපියල් කෝටි 800ක පැකේජයක් අනුමත කරගෙන.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විශ්‍රාම යන අවස්ථාවේ පාර්ලිමේන්තුව ආසන්නයේ අක්කර භාගයක ඉඩමක් වෙන්කර ගත්තා. දියවන්නාව මැද මාලිගයක් ඉදිකරන්න අත්තිවාරම් දැම්මා. කණු හිටෙව්වා. ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ නාස්තිකාර වියදම්, ගොවි ණය කපා හරින්න, සහන මිලට පොහොර දෙන්න යොදවන්න බලකළා. ඒ වගේම 2007 මැයි මාසේ 03 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් විශ්‍රාම යන ජනාධිපතිවරයෙකුට ලබාදිය යුතු පහසුකම් ගැන නිර්දේශයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව වාසය කරන්න සුදුසු නිවාසයක් නැත්නම්, විශ්‍රාමිකයාට සරිලන මුදලක් වැයකරන නිවාසයක් ලබාදීම, පෞද්ගලික ලේකම්වරයෙකු පත්කර ගැනීම, කැබිනට් ඇමතිවරයෙකුට සමාන ආරක්ෂාවක් ලබාදීම, කාර්ය මණ්ඩලය උපරිම වශයෙන් පස්දෙනෙකුට හයදෙනෙකුට ලබාදීම නිර්දේශ දී තිබෙනවා.

අද කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගෙන තිබෙන පැකේජය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවටත් විරුද්ධව යාමක්. බලයට පත්වෙන විට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වේ විශ්‍රාම ගියාම පොළොන්නරු ගිහින් කුඹුරු කොටන බවයි. මෙතන තියෙන විශේෂත්වය සජිත් ප්‍රේමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් මේ නාස්තිකාර වියදම් අනුමතකර දීමයි. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අවුරුදු 71ක් පුරා ජනතාව මත බදු පටවාගෙන ආ මේ පාලන ක්‍රමය වෙනස් කරන්න පෙළ ගැසෙන්න කියලා. ජනාධිපතිවරණ වේදිකාවේ සජිත් ප්‍රේමදාස ජනතාවට කප්පරක් පොරොන්දු දෙනවා. අනිත් පැත්තෙන් මේ නාස්තිකාර වියදම්වලටත් අත උස්සනවා.

ගෝඨාභය රාජපක්ෂ,සජිත් ප්‍රේමදාස දෙන්නා තරගයට එකිනෙකා පරාදකරමින් ලබාදෙන පොරොන්දු ගැන පත්තරවල කාටුන් ශිල්පීන් උපහාසයට ලක්කර තිබෙනවා. අපේ ගැමියෝ යමක් අපේක්ෂාවෙන් භාරහාර වෙනකොට රූපයට රූපයක් දෙනබව කියනවා වගේ මේ දෙගොල්ලෝම පොරොන්දු දෙනවා. රූපයට රූපයක් දෙනවා කියලා. පස්සේ පරණ තහඩු කෑල්ලක් දීලා භාර ඔප්පුකරනවා වගේ අද සජිත් ප්‍රේමදාසත් ගෝඨාභය රාජපක්ෂත් රූපයට රූපයක් දෙන බව කියමින් යනවා. නමුත් ජාතික ජන බලවේගය ප්‍රතිපත්තියක් සහිතව රටක් ගොඩනගන අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට අනුර දිසානායක සහෝදරයා ඉදිරිපත් කර තිබෙනවා. විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන් වෘත්තීයවේදීන් එකතුවී අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, කෘෂිකාර්මික, සංස්කෘතික කටයුතු ජාතික සමගිය වගේ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රතිපත්තිමය කරුණු ඉදිරිපත්කර තිබෙනවා. ජනතාව මේ සියල්ල දැන් බුද්ධිමය සංවාදයකට ලක්කරමින් ඉන්නවා.

රට හදන රට ගොඩනඟන මේ ප්‍රතිපත්ති මත ඉදිරි සැලසුම් සකස්කර ක්‍රියාත්මක කරන ජාතික ජන බලවේගයට පාලන බලය ලබාදෙන්න ජනතාව විශ්වාසයෙන් සහ ධෛර්යයෙන් පෙරට එමින් සිටිනවා. පොරොන්දුවලට නොරැවටී මේ පෙරට එන ජනතාව එක්ක එකතුවන ලෙස අපි රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අද ජනතාව මත පැටවී තිබෙන සියලුම ආකාරයේ පීඩාවන්ගෙන් සැබෑ ලෙසම මිදිය හැක්කේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවීමෙන් පමණයි.

ඒ වගේම තවත් මූලික කාරණාවක් ගැන අපේ ස්ථාවරය පැහැදිලි කරන්න තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු මාස කීපයක් කරගෙන ගියා. රාජපක්ෂ කණ්ඩායම මුලදී ඒ කමිටුවට සහභාගී කරන බව දන්වා තිබුණා. එහෙම කියලා පස්සේදී ඒ අදහස වෙනස්කර ගත්තා. ඒ වෙනකොට රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට විරුද්ධව එල්ලවී තිබූ චෝදනා ගැනත් මේ කාරක සභාවේ විමර්ශනය කරන බව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කිව්වා. නමුත් ඒ ඇමතිවරයාට විරුද්ධව පාර්ලිමේන්තු කාරක සභාවේ විමර්ශනය කිරීමට අපි අපේ විරුද්ධත්වය ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ කණ්ඩායම මේ බව පෙන්වා තේරීම් කාරක සභාව වර්ජනය කළා. නමුත් එහි කටයුතු විනිවිද පෙනෙන ආකාරයට කරගෙන ගියා. මාධ්‍ය මඟින් රටේ ජනතාව ඒ වගකිව යුත්තෝ කවුද කියලා දැනගත්තා. ඒ නිසා ඒ කමිටුවේ ක්‍රියාවලිය සුබවාදී එකක් නිසා අපේ නලින්ද ජයතිස්ස සහෝදරයා ඒක නියෝජනය කළා.

නමුත් ඒ කමිටුවේ නිර්දේශ සකස් කිරීමේදී ජනාධිපති, අගමැති, ආරක්ෂක අංශ ප්‍රධානීන් මේ ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන වගකිවයුතු බව සඳහන් කළත්, එම වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාරගත යුතු බව සඳහන් කෙරෙන්නේ නැහැ. එතනදී වංගු ගහලා ගිහින් තිබෙන්නේ. අපේ නලින්ද ජයතිස්ස සහෝදරයාට පමණක් ඒක වෙනස්කරන්න බැහැ. ඒ නිසා ආණ්ඩුව වගකිව යුතු බව නිර්දේශවල සඳහන් නොවීම බරපතළ අඩුපාඩුවක්. ඒ තත්ත්වය යටතේ වුවත් බොහෝ දේ හෙළිවී තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට නිර්දේශ අටක් ඉදිරිපත් කර තිබෙනවා. නෛතිකව තිබෙන ඉඩ අහුරාලීමත් මේ මඟින් කර තිබෙනවා. ඒ නිසා අඩුපාඩුකම් මැද්දේ වුවත් කරගෙන ගිය කමිටුවේ ක්‍රියාවලිය නිසා රටේ ජනතාව මේ සැබෑ වග උත්තරකාරයන් හඳුනාගත්තා. අනාගතයේදී මේ වගේ තත්ත්වයක් ඇති නොවෙන්න මහජන ආරක්ෂාව තහවුරු කෙරෙන පාලනයක් පිහිටුවා ගන්න කියලා ඉල්ලීමක් කරන්නත් මේ අවස්ථාව යොදාගන්නවා. එවැනි පාලනයක් බිහිකළ හැක්කේ මේ ජනාධිපතිවරණයේදී අපේ අනුර සහෝදරයා ජයග්‍රහණය කරවීමෙන් පමණයි. ඒ වෙනුවෙන් සියලුම දෙනාට පෙළ ගැසෙන ලෙස ආරාධනා කරනවා.

මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්...

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ලබාදෙන පහසුකම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කඩකිරීමට විරුද්ධව නැවත අධිකරණයට යාමේ අවස්ථාව තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයා විශ්‍රාම ගන්නකොට මේ ලබාදී තිබෙන සියලු දේවල් අපේ රටේ ජනතාව මත අමතර බර පැටවීමක්. ඔහු රටේ ජනතාවගේ අනාගතය ගැන කල්පනා නොකළාට ඔහුගේ පෞද්ගලික අනාගතය ගැන තුන්කල් බලා කටයුතු කර තිබෙනවා. අවුරුදු 71ක් පුරා පිරිහී, කුණුවී, ඕජස් ගලන මේ දේශපාලන බඩගෝස්තරවාදය අවසන් කිරීමට කාලය ඇවිල්ලා තියෙන බව ජනතාවට අවධාරණය කරන්න කැමතියි. ජනතා විමුක්ති පෙරමුණ මූලික වී ගොඩනඟාගත් පුළුල් ජනතා මධ්‍යස්ථානය හැටියට ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයෙන් පසුවත් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වෙනවා.

කාරක සභා වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවේ මහින්ද රාජපක්ෂ කණ්ඩායම ඒක ප්‍රතික්ෂේප කරන්නේ රවුෆ් හකීම් ඇමතිවරයාත් තේරීම් කාරක සභාවේ සිටිය බව කියමින්. නමුත් ඔවුන් තේරීම් කාරක සභාවෙන් ඉවත්ව ගියේ රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට ඉදිරපත් කර තිබූ දෝෂාභියෝගය විමර්ශනය කරන බවට අගමැතිවරයා කළ ප්‍රකාශය නිසයි. මේ අය මැතිවරණ වේදිකාවේ ජනතාව බියවැද්දීමට මේ විදිහේ එක එක කතා කියනවා. ජනතාව අතර කටකතා පතුරුවලා නැති භීතියක් හදනවා. මේ කටකතා පිටුපස පැහැදිලිවම බංකොලොත් දේශපාලන බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒ අයට ඕනෑවෙලා තිබෙන්නේ මළමිනී මතින් ඡන්දය අරගෙන බලයට එන්න. මේ පහත් උත්සාහය අපි පිළිකුලෙන් හෙළා දකිනවා.

අද සැබෑ අවංක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතුවෙලා නැහැ. ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් පවුල් පාලනයට විරුද්ධයි. ඒ වගේම ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් එක්සත් ජාතික පක්ෂයටත් විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ආවේ මිස්ටර් ක්ලීන් කියලා. මාසයක් යන්න පෙර මහ බැංකුව බිඳලා, එයාගේ ක්ලීන් බව රටට පෙන්නුවා. දැන් සජිත් වටේ එකතුවෙලා ඉන්නෙත් ඒ කණ්ඩායම ම තමයි. පිරිසිදු පාලනයක් බිහිකරන බව කියන්නේ පක්ෂය පවා පාවාදී පැනගිය තිස්ස අත්තනායක වගේ අය ළංකරගෙනයි. මේ අයට කවදාවත් රට ගැනවත් ජනතාව ගැනවත් හැඟීමක් නැහැ. ඒ නිසා අවංක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා මේ වෙනකොට ජාතික ජන බලවේගය වටා එකතුවෙමින් සිටිනවා.

මේ වෙලාවේදි ඔබ ඒ ප්‍රශ්නය අහපු එක හොඳයි. මේ 26 වෙනිදාට ඔක්තෝබර් කුමන්ත්‍රණයට අවුරුද්දක් පිරෙනවා. ඒ කුමන්ත්‍රණයට මුල් වටේදීම හවුල් වී පක්ෂයෙන් පලා ගිය ආනන්ද අලුත්ගමගේ, දිනේෂ් ගංකන්ද, වගේ පිරිසක්. නිසා කුමන්ත්‍රණය වඩාත් ශක්තිමත් වුණා. ඒ වැනි වටපිටාවක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ නිසා දැන් සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිමය තීරණ පවා පාවාදෙමින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බව සජිත් ප්‍රේමදාස දැන් කියනවා. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විශ්වාසය බිඳ වැටිලා. ඒ නිසා විශ්වාසය බිඳවැටී කලකිරීමට පත්වී සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරුකර ගන්න ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන්න පුළුවන්. ඔවුන්ට යථාර්ථවාදී නැවුම් බලාපොරොත්තු සහිතව අප වටා එකතු වෙන ලෙස ආරාධනා කරනවා.

 

Advertiesment