Friday 26th of April 2024

English Tamil
Advertiesment


තුර්කියට බැටේ දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් සැර සෙයි


2019-10-15 8026

තුර්කි සිරියානු යුද්ධය මානව ඛේදවාචකයක් 

 

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවතට  

 

ඉතියෝපියානු නායකයා ලොවටම දුන් ආදර්ශය 

 

හැට වසරකට පසු ජපනා මුහුණ දෙන මහා සුළි කුණාටුව

(තුෂාල් විතානගේ )

මේ සතියේ ලෝකය ප‍්‍රකට සිදුවීම් කිහිපයකට මුහුණ දුන්නා. ඒ අතර තුර්කිය විසින් සිරියාව අක‍්‍රමණය කිරීම තව දුරටත් ගෝලීය මාධ්‍ය අවධානය දිනා ගනිද්දී, මහා බි‍්‍රතාන්‍ය තව දුරටත් "බ්‍රෙක්සිට්" අවුලේ පැටලී සිටියා. ඒ අතර "නොබෙල් සම්මාන ප‍්‍රදානය ලෝකයේම අවධානය දිනා ගත්තා. එහෙත්... අනපේක්ෂිත ලෙස ජපානය මුහුණ දුන් "හගිබිස්" කුණාටුව ඒ සියලු සිද්ධීන් හමුවේ ලෝකයේ විශේෂ අවදානය දිනා ගත්තා.

හැට වසරකට පසු ජපනා මුහුණ දෙන මහා සුළි කුණාටුව

ජපානයට සුළි කුණාටු, භූමි කම්පා, නායයැම් අලුත් අත්දැකීමක් නොවෙයි. ඒවා ජපන් ජන ජීවිතයේම අංග බවට පත්ව තිබෙන නිසා ඒවාට මුහුණදීමට ජපන් සංස්කෘතිය, ආර්ථිකය පමණක් නොවෙයි ජපන් අධ්‍යාත්මය ද අපූරුට හුරු වී සිටිනවා. එනිසා දෙවන ලෝක සංග‍්‍රාමයෙන් බිමට සමතලා වී යළි විශ්මිත ලෙස නැගී සිටියා වාගේ මේ ස්වභාවික ආපදා හමුවේ ජපනා දවසෙන් දෙකෙන් යළි සුපුරුදු තත්ත්වයට පත්වෙනවා. කෙහොම වුණත් මෙවර නම් ජපානයේ සුළි කුණාටුව ලෝක අවධානය වැඩි වැඩියෙන් දිනා ගන්න තවත් සුවිශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි "ලෝක රග්බි" ශූරතාව මේ දිනවල ජපානයේ පැවැත්වීම. අනපේක්ෂිත කුණාටුව නිසා එහි තරග රැසක් අත්හිටුවීමට සිදු වූ නිසා රග්බි ලෝලීන් ඉන්නේ දැඩි කම්පනයෙන් බවයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ.

ජපන් මාධ්‍ය වාර්තාවලට අනුව "හගිබිස්" කණාටුවෙන් මේ වන විට පුද්ගලයින් 23 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 17 දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටිනවා. සිදු වූ දේපොළ විනාශය ඩොලර් බිලියන ගණනක් බවයි ජපන් මාධ්‍ය කියන්නේ.ජපන් රජයේ වාර්තාවලට අනුව සහන මෙහෙයුම් සඳහා හමුදා භටයින් 27,000ක් යොදවා තිබෙනවා.

"හගිබිස්" මාරාන්තික කුණාටු ප‍්‍රහාර හමුවේ මධ්‍යම නගානෝ ප‍්‍රාන්තයේ සුප‍්‍රසිද්ධ "බුලට් දුම්රියක්" සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම ජපනුන්ගේ පමණක් නොවෙයි ජාත්‍යන්තර අවධානය පවා දිනා ගත්තා. කොහොම වුණත් පසුව ජපන් සහන සේවකයින් විසින් හෙළිකොප්ටර් යානා මගින් දුම්රිය මගීන් බේරා ගැනීමට කටයුතු කළා.තම රට වැසියන් මුහුණ දුන් ව්‍යසනය ගැන සිය කණගාටුව පළ කළ ජපන් අගමැති "ෂින්සෝ අබේ" කියා සිටියේ "රජය උපරිමයෙන් කටයුතු කරනු ඇති" බවයි.

විනාශයේ තරම

ඉහතින් සඳහන් කළ ආකාරයට පුද්ගලයින් 23 දෙනකු මිය ගොස් ඩොලර් බිලියන ගණනක හානියක් කළ "හගිබිස්" කුණාටුව ටෝකියෝවට දැඩි බලපෑමක් කළා. බිලියන දහයකට අධික ජනතාවක් වාසය කරන ජපානයේ අග නගරය වන තෝකියෝවේ නිවාස 150,000කට ආසන්න ප‍්‍රමාණයක් විදුලිය විසන්ධි වීම නිසා අඳුරේ පසු වන අතර කුණාටුවේ බලපෑම් හමුවේ අවංලගු කළ දුම්රිය සහ ගුවන් ගමන් ඉරිදා (13) වන විට යළි යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටියා.

වර්ෂාව පිළිබඳ වාර්තා

"හගිබිස්" කුණාටුව හමා ඒමට පෙර වාර්තා නිකුත් කරමින් ජපාන කාලගුණ විද්‍යා අංශ නිවේදනය කළේ කුණාටුවේ බලපෑමෙන් ටෝකියෝව ඇතුළු ප‍්‍රදේශවලට මිලි මීටර් 500කට අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි. ඒ බව සනාථ කරමින් පසුගිය ගිය දින දෙක තුළ සුප‍්‍රකට "ෆුජි" ගිනි කන්ද අසල පිහිටි "හැකෝන්" නගරයට මිලි මීටර් 1000කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණු අතර එය පැය 48ක් තුළ ජපානයෙන් වාර්තා වූ ඉහළම වර්ෂා පතන අගය ලෙස සැලකෙනවා. ඒ අතර "හගිබිස්" බලපෑම නිසා ජපානයේ ඇතැම් ප‍්‍රදේශවලට වාර්ෂික වර්ෂාපතනයෙන් සියයට 40කට ආසන්න ප‍්‍රමාණයක් පසු ගිය දින දෙක තුළ ලැබී තිබෙනවා. මේ අරුම පුදුම වර්ෂාපතනය ගැන සිය විශ්මය පළ කළ, ටෝකියෝවට වයඹ දෙසින් පිහිටි "හිගාෂි මට්සුයාමා" නගරයේ ගොවියෙක් ප‍්‍රකාශ කළේ, "මීට පෙර අපට මේ වාගේ වර්ෂාවක් ලැබිලා නැහැ...අපේ කුඹුරු සහ වගා බිම් සම්පූර්ණයෙන්ම ගංවතුරෙන් යටවී තිබෙනවා" යනුවෙනුයි. 

රග්බි සහ ෆෝමියුලා තරග

මේ වන විට රග්බි ලෝලීන්ගේ මුළු අවදානය ජපානයට යොමුව තිබෙන බව මීට ඉහතින් සඳහන් කළා. ඒ කුණාටුවේ බලපෑම හමුවේ රග්බි ලෝක කුසලානයේ තරග කිහිපයක් අවලංගු කිරීමට සිදු වූ නිසයි. එහෙත් ජපානය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වීමට නියමිත තරගය ඉරිදා (13) නියමිත පරිදි පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඒ අතර මේ දිනවල ජපානයේ පැවැත්වෙන "ෆෝමියුලා වන් ග‍්‍රෑන්ඞ් ප‍්‍රී" සඳහා සුදුුසුකම් ලැබීමේ තරග කිහිපයක් ද කඩාකප්පල් වූ නමුත් එහි ජය "වල්ටේරි බොටාස්" විසින් දිනා ගත්තා.

තුර්කි - සිරියානු යුද්ධය

ඇමෙරිකාව විසින් සිරියාවෙන් සිය හමුදා ඉවත්කර ගැනීමත් සමග අවස්ථාවාදී ලෙස තුර්කිය විසින් සිදු කළ උතුරු සිරියානු ආක‍්‍රමණයට මේ වන විට දින ගණනක් ගතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට තුර්කිය අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරමින් සිටින අතර තවත් බොහෝ දේ සිදු වෙමින් තිබෙනවා.

මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවදානයක් දිනා ගෙන තිබෙන්නේ තුර්කිි ප‍්‍රහාර හමුවේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට (අයි.එස්) අනුබද්ධ සිය ගණනක් විදේශිකයින් උතුරු සිරියාවේ කඳවුරකින් පළා ගිය පුවතයි."ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට" අනුවද්ධව කටයුතු කළ සිය ගණනක් විදේශිකයින් උතුරු සිරියාවේ කඳවුරකින් පළා ගොස් තිබෙනවා.

"ඔව්, තුර්කි ප‍්‍රහාර හමුවේ "අයින් ඉසා" අවතැන් කඳවුරේ සිටි අයි.එස්. කල්ලියට සම්බන්ධ විදේශිකයින් එහි ගේට්ටුවට පහර දුන්නා. ඔවුන් පළා ගියා" කුර්දි බලධාරීන් රොයිටර් සමග පවසා තිබුණා."තුර්කි ප‍්‍රහාර හමුවේ 100,000කට අධික ජනතාවක් තම නිවාස අතහැර පළා ගොස් තිබෙනවා...එමෙන්ම පළා යමින් සිටිනවා" එක්සත් ජාතීන් පවසනවා.

උතුරු සිරියාවේ  සිදු වන තුර්කි ප‍්‍රහාර ගැන විචාරකයින් කියන්නේ සිරියානු දේශසීමාව තුළට කිලෝමීටර් 30ක ආරක්ෂිත කලාපයක් නිර්මාණය කර ගැනීමට තුර්කිය දියත් කළ ප‍්‍රහාර නිසා යළි මානව ඛේදවාචකයක් නිර්මාණය වන බවයි.

"අයින් ඉසා" කඳවුරේ සිදු වුණේ කුමක්ද ?

අයින් ඉසා සරණාගත කඳවුරෙන් පළා ගිය පිරිස් පිළිබඳ තවත් තොරතුරු මාධ්‍ය හමුවේ නිරාවරණය වෙමින් තිබෙනවා. මේ පිළිබඳ කුර්දි බලධරීන් සඳහන් කරන සංඛ්‍යා ලේඛන වන්නේ පළා ගියේ 100කට ආසන්න පිරිසක් බවයි. එහෙත් එය 800කටත් වඩා වැඩි බවයි මධ්‍යස්ථ වාර්තා කියන්නේ.

"මෙහි අවතැන් පුද්ගලයින් 12,000ක් පමණ සිටිනවා. ඔවුන් අතර විදේශීය කාන්තාවක් සහ  ජිහාඞ් සබඳතා ඇති ළමුන් 1000ක් පමණ සිටිනවා. අපේ නිරීක්ෂණය අනුව යතුරුපැදිවල නැග ගත් මුහුණු ආවරණය කර ගත් පිරිස් නිරන්තරයෙන් කඳවුර වටා යනවා. ඒත් දැන් එහි විදේශීය කාන්තාවන් නැහැ. එය හිස් වෙලා" සේව් ද චිල්ඩරන් ආයතනයේ ප‍්‍රකාශිකාවක් බී.බී.සීය සමග පැවසුවා.මේ අතර බී.බී.සී වාර්තාවක සඳහන් වන්නේ "ඔව් රැඳවියන් කඳවුරෙන් පළා ගොස් තිබෙනවා. ඒත් ඔවුන් කොතැනට ද පළා ගියේ කියලා තහවුරු වූ වාර්තා නැහැ" යනුවෙනුයි.

කුර්දි අභියෝගය

මේ අතර 12,000කට අධික අයි.එස් සැකකරුවන් භාරයේ රඳවා ගෙන සිටින කුර්දි නායකයින් ද අර්බුදයකට මුහුණ දී සිටිනවා."අපේ භාරයේ සිටින මේ සැකකරුවන් දහස් ගණනකගේ ආරක්ෂාව සහතික කළ නොහැකියි. සිරකරුවන් සුරක්ෂිතව රඳවා ගැනීම ගැන කවුරුන් හෝ සැලකිල්ලක් දක්වන්නේ නම් ඔවුන් පැමිණ විසඳුමක් ඉදිරිපත් කළ යුතුයි. ඔවුන් දෙන විසඳුම අපි සාදරයෙන් පිළිගන්නවා" ජ්‍යේෂ්ඨ කුර්දි නිලධාරී රෙදුර් සෙලිල් පැවසුවා.

ඔහු වැඩි දුරටත් මෙසේද කියනවා.

'දැනට අපි භාරයේ අයි.එස්. සැකකරුවන් 12,000ක් පමණ සිටිනවා. ඔවුන්ගෙන් වැඩි පිිරිසක් බන්ධනාගාර 07ක රඳවා තිබෙනවා. මෙහි වැදගත් කරුණ වන්නේ මේ පිරිසෙන් 4000ක් විදේශිකයින් වීමයි" එහෙත් ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ මේ බන්ධනාගාර ගැන නිශ්චිත තොරතුරු නැති බවයි. ඒවා තුර්කි දේශසීමාව ආසන්නයේ ඇතැයි විශ්වාස කරනවා.

මේ අර්බුදය ගැන තුර්කිය ද සිය අවදානය කර තිබෙනවා."අපේ ප‍්‍රහාර අතරතුර අල්ලා ගන්නා අයි.එස් සිරකරුවන් ගැන වගකීම අපි භාර ගන්නවා" තුර්කි බලධාරීන් කියනවා.

ආක‍්‍රමණයේ වත්මන් තත්ත්වය

උතුරු සිරියානු ආක‍්‍රමණය ගැන තුර්කි ජනාධිපති එර්ඩෝගන් පසුගිය දා පැහැදිලි කිරීමක් කළා. ඔහු පවසන්නේ තුර්කි හමුදා සහ ප‍්‍රධාන දේශසීමා නගරය වන "රාස් අල් - අයින්" හි පාලනය අත්පත් කර ගෙන කිලෝමීටර් 120ක් දුරින් පිහිටි "අල් අබියාඞ්" නගරය ද වටලා ඇති බවයි.එහෙත් තුර්කි ජනපතිවරයාගේ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන එස්.ඞී.එෆ් නිලධාරීන් කියන්නේ තුර්කි හමුදා නැවත "රාස් අල් අයින්" නගරයට පළවා හැරි බවයි.මේ අතර අල් අබියාඞ් අවට දරුණු ගැටුම් වාර්තා වන බව ද ඔවුන් සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ තුර්කිය එහි පාලනය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගෙන සිටින බවයි.

ජාත්‍යන්තර කරන්නේ කුමක්ද ?

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කියන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් තුර්කියේ ක‍්‍රියාකාරීත්වය නතර කිරීම සඳහා ප‍්‍රබල පීඩනයක් එල්ල කරමින් සිටින බවයි.මේ අතර පසුගිය සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රංශය කියා සිටියේ තුර්කියට කරන සියලු අවි ආයුධ අපනයන වහාම නතර කරන බවයි. මෙවැනි ප‍්‍රවේශයක් ප‍්‍රංශයට පෙර ජර්මනිය විසින් ද ගෙන තිබූ අතර ඔවුන් තුර්කියට කරන අවි අපනයන සීමා කිරීමට පියවර ගෙන තිබුණා.

එහෙත් ප‍්‍රංශ සහ ජර්මන් බලපෑම් තුර්කි ජනපතිවරයා විසින් වහාම බැහැර කළා."නැහැ, මෙම ක‍්‍රියාමාර්ග මගින් තුර්කියේ මිලිටරි ක‍්‍රියා මාර්ග නතර වන්නේ නැහැ. ඔවුන් තුර්කිය ගැන බරපතළ ලෙස වරදවා වටහා ගෙන සිටින බවයි මෙයින් පෙනී යන්නේ" එර්ඩෝගන් අවධාරණයෙන් කියා සිටියා.

මේ අතර ඇමෙරිකානු ජනපතිවරයාට දිගින් දිගටම කුර්දි ජාතිකයින්ගෙන් විවේචන එල්ල වෙමින් තිබෙනවා."ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමෙරිකානු හමුදා ඉවත්කර ගැනීම මගින් කුර්දි ජාතිකයින්ව පාවා දුන්නා" යැයි ඔවුන් චෝදනා කරනවා.     

මේ අතර ඩොනල්ඩ් ට‍්‍රම්ප් අලු යෝජනාවක් කර තිබෙනවා. ඒ ඇමෙරිකාව, තුර්කිය සහ කුර්දි ජාතිකයින් අතර ගිවිසුමක් අත්සන් කළ යුතු බවයි.මේ අතර අවශ්‍ය නම් තුර්කියට එරෙහිව සම්බාධක පැනවීමට ඇති සූදානම ද ඩොනල්ඩ් ට‍්‍රම්ප් බැහැර කර නැහැ. පසුගිය ඉරිදා සුපුරුදු ලෙස ට්වීටර් පණිවුඩයක් මගින් ඔහු  කියා සිටියේ තුර්කියට එරෙහිව සම්බාධක පැනවීම ගැන තමා කටයුතු කරමින් සිටින බවයි.

බොරිස් ජොන්සන් සහ බ්‍රෙක්සිට්

මහා බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතව ඇති ඔක්තෝබර් 31 වැනිදාට  තවත් ඇත්තේ සති කිහිපයක් පමණයි.මේ අතර බී.බී.සී වාර්තාවල සඳහන් වන්නේ බි‍්‍රතාන්‍ය අගමැතිවරයා බ්‍රෙක්සිට් ගැන ධනාත්මක ප‍්‍රවේශයක් විශ්වාස කරන බවයි.

"අපේ, බි‍්‍රතාන්‍යයේ සියලු අවශ්‍යතා සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමග ගිවිසුමකට එළඹීමට ඉදිරි මාවතක් දැකිය හැකියි" බොරිස් ජොන්සන් තම කැබිනට් සගයන්ට කියා ඇති බව බී.බී.සී වාර්තාවල සඳහන් වනවා."යුරෝපා සංගමයේ සහ බි‍්‍රතාන්‍ය නිලධාරීන් දිගින් දිගටම සාකච්ඡා පවත්වනවා. ඒ නිසා තවමත් සැලකිය යුතු වැඩ ප‍්‍රමාණයක් කළ යුතුව තිබෙනවා." යැයි ද ඔහු සිය කැබිනට් සගයන්ට අනතුරු අඟවමින් කියා සිටියා.

මේ අතර අගමැතිවරයාගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් විපක්ෂයේ ලේබර් පක්ෂය කියා සිටියේ "හානිකර  ඕනෑම දේකට අපි නියත වශයෙන්ම විරුද්ධ වෙනවා" යනුවෙනුයි.මේ සමග සිවිල් සමාජ ව්‍යාපාර ද සිය අදහස් දක්වා තිබෙනවා. එහි ප‍්‍රබල ක‍්‍රියාකාරිනියක වන "ලෝන්ග් බෙලි" බී.බී.සීය සමග පවසා ඇත්තේ, "ටෝරිවරුන්" ඔවුන්ගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බොහෝ දුර ගොස් ඇතැයි අපි සිතන්නේ නැහැ" යනුවෙනුයි.ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ නායක "නිකොලා ස්ටර්ජන්" පවසා ඇත්තේ බොරිස් ජොන්සන් විසින් නියම කරන ලද වැඩපිළිවෙළට අපි ඡන්දය දෙන්නේ නැහැ’ කියායි.

දැඩි තාක්ෂණික සාකච්ඡා

මේ අතර මහා බි‍්‍රතාන්‍යය සහ යුරෝපා සංගමය අතර දිගින් දිගටම සිදු වන සාකච්ඡා විචාරකයින් දකිනුයේ "අධි තාක්ෂණික සාකච්ඡා" වශයෙනුයි. ඒවා පසුගිය ඉරිදා (13) ද දිගටම සිදු වුණා.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන "හවුස් ඔෆ් කොමන්ස්" නායක ජේකබ් රිස් - මොග් කියන්නේ 'සාකච්ඡා අතරතුරදී සම්මුතියක් ඇතිවීම නොවැළැක් විය හැකි බව"යි."එක්සත් රාජධානිය යුරෝපා සංගමය සමග ඇති සම්බන්ධතාවය සහතික කිරීම සඳහා බොරිස් ජොන්සන් විශ්වාස කරන බව අප ද විශ්වාස කරනවා" ඔහු කියා සිටියා.

මේ වන විට බ්‍රෙක්සිට් ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් දින දර්ශනයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.ඒ අනුව 2019 ඔක්තෝබර් 31 වැනිදා එකඟතා පිළිබඳ ගිවිසුමක් ඇතිව හෝ නැතිව එක්සත් රාජධානිය යුරෝපා සංගමවෙන් ඉවත් වනු ඇත.

නොබෙල් සාම ත්‍යාය ඉතියෝපියාවට

ඉතියෝපියාව ගැන ශ්‍රී ලංකාවේ අපිට සේම ජාත්‍යන්තර ප‍්‍රජාවට ඇත්තේ යහපත් ආකල්පයක් නොවෙයි. නියඟය, නිමක් නැති සිවිල් යුද්ධ, දුෂිත දේශපාලනඥයින් වැනි ඍණාත්මක දේවල්වලින් ඉතියෝපියාවට අඩුවක් නැහැ. ඒ වගේම ඉතියෝපියාව සහ අසල්වැයි "එරිත‍්‍රියාව' අතර පැවැති දීර්ඝ කාලීන දේශසීමා යුද්ධය ගැනත් තිබෙන්නේ අඳුරු මතකයක්.

ඒත් ඒ සියල්ල අබිබවා පසුගිය සතියේ ලෝකයේම අවධානය ඉතියෝපියාවට යොමු වුණා. ඒ 100 වැනි නොබෙල් සාම ත්‍යාගයේ මෙවර හිමිකරු බිහි වුණේ ඉතියෝපියාවෙන් නිසයි. ඉතියෝපියාවේ අගමැතිවරයා වන්නේ 43 හැවිරිදි "අබී අහමද්". ඔහුයි 2019 වසරට අදාළ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කිව්වේ.

අබී අහමද්ට නොබෙල් සාම ත්‍යාගය හිමි වන බවට කළ නිවේදනයේ මෙසේ සඳහන් වුණා.ඒ "සාමය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සාක්ෂාත් කර ගැනීමට දැරූ උත්සාහය වෙනුවෙන්..." යනුවෙනුයි.

අබී අහමද්ට ලෝකයේ ඉහළම පිළිගැනී හිමි වුණේ වුණේ ඔහු කළ මහා වික‍්‍රමයක් නිසයි. ඒ වසර 20ක් පුරා අසල්වැසි එරිත‍්‍රියාව සමග පැවැති දේශසීමා යුද්ධය අවසන් කර පසුගිය වසරේ (2018) සාම ගිිවිසුමකට එළඹීමට ඔහු සමත් වූ නිසයි.

අබී අහමද්ට අභියෝග කළ අය

ලෝකයේ සාමය වෙනුවෙන් පිරිනැමෙන ඉහළම සම්මානය වන්නේ "නොබෙල් සාම ත්‍යාගය"යි. මේ සමග පිරිනැමෙන ඩොලර් 900,000ක මුදලට වඩා අති විශාල වටිනාකමක් නොබෙල් සාම ත්‍යාගලාභියෙකුට ( ඕනෑම නොබෙල් ත්‍යාගලාභියෙකුට) හිමි වෙනවා.

ස්වීඩන් මාධ්‍ය වාර්තාවලට අනුව මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා පුද්ගලයින්  223ක්, සංවිධාන 78ක් ඇතුළුව නම් 301ක් නිර්දේශ වී තිබුණා. ඒ අතර දේශගුණ විපර්යාස වෙනුවන් හඬ නගන ස්වීඩන් ජාතික 'ගේ‍්‍රටා තන්බර්ග්ගේ" දැරියගේ නම පවා තිබුණා.ඒ සියලු දෙනා පාරජය කරමින් අබී අහමද්  නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කිව්වා.

ඔහු කළ වෙනස

අබී අහමද් කළ වෙනස වූයේ එරිත‍්‍රියාව සමග දේශසීමා යුද්ධය නිමා කිරීම පමණක් නොවෙයි. ඔහු 2018 අපේ‍්‍රල් මස බලයට පත් වූ වහාම රට තුළ ලිබරල් ප‍්‍රතිසංස්කරණ රැසක් ක‍්‍රියාත්මක කරමින් පසුගිය දැඩි පාලනය අවසන් කළා. ඒ සමග ප‍්‍රතිවාදී දේශපාලන ක‍්‍රියාකාරීන් දහස් ගණනක් බන්ධනාගාරවලින් නිදහස් කළ අතර පිටුවහල් කළ ඉතියෝපියානුවන් යළි මවුබිමට ගෙන්වා ගැනීමට ද පියවර ගත්තා.

සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය

නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට ද සාම ත්‍යාගයට නොදෙවෙනි වටිනාකමක් හිමව තිබෙනවා.ඒ අනුව මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනා ගත්තේ පෝලන්ත ලේඛිකාවක වන "ඔල්ගා ටොකාර්චුක්" සහ ඔස්ටි‍්‍රයානු ජාතික "පීටර් හැන්දික්" විසිනුයි.2018 වසරේදී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලබාදීම සිදු නොවුණ නිසා මෙවර 2018 සහ 2019 සාහිත්‍ය ත්‍යාග දෙකම පිරිනැමීම විශේෂත්වයක්.ඒ අනුව 2018 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය "ඔල්ගා ටොකාර්චුක්"ට ද 2019 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය "පීටර් හැන්දික්"ට  ද හිමි වුණා.එහෙත් පීටර් හැන්දික්ට නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිවීම මේ වන විට දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. ඊට හේතුව වශයෙන් සඳහන් වන්නේ ඔහු 1990 යුගෝස්ලාව්යාවේ යුද්ධය පවතින අවස්ථාවේ සර්බියානු ආණ්ඩුවට සහයෝගය දැක්වීමයි.

රසායන විද්‍යාවට පිදෙන නොබෙල් ත්‍යාගය ගැන ද ලෝකයේ ඉහළ ම අවධානයක් තිබෙනවා. ඒ ලෝකයේ ඉදිරි ගමනට රසායන විද්‍යාව මගින් සිදු වන අනුපමේය දායකත්වයයි.2019 වසරේ රසායන විද්‍යාවට පිදෙන නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ "ලිතියම් අයන් විදුලි කෝෂ" වැඩි දියුණු කිරීම වෙනුවෙන් කටයුතු කළ රසායන විද්‍යාඥයින් තිදෙනකුටයි.

ඒ ජෝන් බී. ගුඬේනෝ, එම්. ස්ටැන්ලි විටින්ගැම් සහ අකිරා යෝශිනෝ යන විද්‍යාඥයින් තිදෙනායි.මේ අතර ජෝන් බී ගුඬේනෝ මෙතෙක් නොබෙල් ත්‍යාගයක් හිමිවූ වයස්ගතම පුද්ගලයා වශයෙන් සැලකෙනවා.

භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය

භෞතික විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගය ද විද්‍යාඥයින් තිදෙනකුට හිමිවීම විශේෂත්වයක්. ඒ අනුව ජේම්ස් පිබ්ල්ස්, ඩිඩියර් කෙලොස් සහ මයිකල් මේයර් විසින් එම සම්මාන දිනා ගත්තා. ඔවුන්ට සම්මානය හිමි වන්නේ "විශ්වයේ ආරම්භය පිළිබඳ අතිශය වැදගත් කරුණු" සොයා ගැනීම හේතුවෙනුයි.

කායික විද්‍යාව

වෙනස් වන ඔක්ෂිජන් මට්ටම ශරීරයේ ශෛලවලට දැනෙන ආකාරය සහ ඒවා හැඩගැසීම පිළිබඳ කළ සොයා බැලීම් වෙනුවෙන්, ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ සහ ෆ‍්‍රැන්සිස් ක‍්‍රික් ආයතනයේ සර් පීටර් රැට්ක්ලිෆ්,හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ විලියම් ක්ලින් සහ ජෝන් හොප්කින්ග් විශ්ව විද්‍යාලයේ ග්‍රෙග් සෙමෙන්සා නොබෙල් ත්‍යාග දිනා ගත්තා.ඔවුන්ගේ සොයා ගැනීම් තුළින් රක්ත හීනතාව සහ පිළිකා රෝගවලට නව ප‍්‍රතිකාර ක‍්‍රම නිර්මාණය කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

Advertiesment