Friday 26th of April 2024

English Tamil
Advertiesment


ලොව වඩාත් ම අනතුරුදායක ගුවන් තොටුපළේ තවත් මාරාන්තික ගුවන් අනතුරක්..!


2019-06-25 7837



ලෝකයේ වඩාත් අනතුරුදායක ගුවන් තොටුපළක් ලෙස සැලකෙන නේපාලයේ ලුක්ලා ගුවන් තොටුපළේදී ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.




එවරස්ට් කඳු කලාපයට පිවිසෙන්නන් වැඩි පිරිසක් ගොඩ බසින ලුක්ලා ගුවන් තොටුපළේදී මෙම අනතුර සිදුව ඇත්තේ, අදාළ ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන අසල නවතා තිබූ හෙලිකොප්ටර් යානයක ගැටීමෙනි.




එහි ගුවන් යානා ධාවන පථය ඉතා කෙටි එකක් වන අතර, එය කඳුවලින් වට වී ඇති හෙයින් ගුවන් යානා පියාසර කරවීම මෙන් ම ගොඩ බැස්වීම ද අතිශය දුෂ්කරය.




අදාළ ගුවන් යානයේ නියමුවා සහ හෙලිකොප්ටර් යානය අසල සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබේ.




අනතුරෙන් හානියට පත් යානා දෙක ම එවරස්ට් කඳු කලාපයට කඳු නගින්නන් සහ සංචාරකයින් ප්‍රවාහනය කරන සමාගම් දෙකකට අයත් ඒවාය.




මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එම අවස්ථාවේ කාලගුණය ද යහපත්ව පැවති බව බලධාරීහු පවසති.



ලොව වඩාත් අනතුරුදායක ගුවන් තොටුපළ!




නේපාලයේ ලුක්ලා ගුවන් තොටුපළ පිහිටා ඇත්තේ, මුහුදු මට්ටමේ සිට මීටර් 2845ක් (අඩි 9333) ඉහළිනි.






මෙම ස්ථානයේ මීට පෙර සිදුවූ ගුවන් අනතුරක්




එම ගුවන් තොටුපළේදී 2008 වසරේ ගුවන් යානයක් ගොඩ බැස්වීමේදී අනතුරට ලක් වීමෙන් ජර්මන් ජාතිකයින් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මීට වසර දෙකකට පෙර ද එවැනි ම අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.




එහි පිහිටි එක් ගුවන් ධාවන පථයක් මීටර් 700ක බෑවුමක් සහිත කඳු මුදුනක පිහිටා තිබේ. එසේ ම, මෙම ගුවන් තොටුපළ තද සුළං සහ අඳුරු වලාකුළු හේතුවෙන් නිරන්තරයෙන් වසා දැමීමට සිදුවේ.




ලුක්ලා ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩ බැස්වීමට අවසර ඇත්තේ, පළපුරුදු ගුවන් නියමුවන්ට පමණි. එම ගුවන් නියමුවන් කෙටි ගුවන් යානා ධාවන පථවල ගුවන් යානා පියාසර කරවීම් සහ ගොඩ බැස්වීම් 100කට අධික සංඛ්‍යාවක් සිදු කර තිබීම අනිවාර්ය වන අතර එවැනි තත්ත්වයන් මත නේපාලය තුළ අවම වශයෙන් වසරක කාලයක සේවා පළපුරුද්දක් තිබිය යුතුය.




මෑත වසරවලදී සංචාරකයින්ගේ පැමිණීම අතිශයින් ඉහළ යාමත් සමග හිමාලය කරා පියාසර කරවන ගුවන් ගමන් වාර සංඛ්‍යාව විශාල ලෙස වැඩි වී තිබේ.




මේ අතර, නේපාලය ගුවන් ගමන් ආරක්ෂාව අවම රටක් බව වාර්තා අනුව පෙනී යයි. පසුගිය පෙබරවාරි මාසයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක් වීමෙන් එරට සංස්කෘතික කටයුතු, සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය රබීන්ද්‍ර අධිකාරි ඇතුළු පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.




සියලු නේපාල ගුවන් සමාගම්වල ගුවන් යානා සිය ගුවන් කලාපයට ඇතුළු වීම යුරෝපා සංගමය විසින් තහනම් කරනු ලැබ තිබේ.



(BBC සිංහල සේවය)


Advertiesment