Friday 26th of April 2024

English Tamil
Advertiesment


චීනයේ වාර්ෂික ආර්ථික වර්ධනයේ පසුබෑම නිසා ලෝකයේ තුනෙන් එකකට බලපෑම්..!


2019-01-22 7676

1990 වසරෙන් පසුව චීනයේ අවම වාර්ෂික ආර්ථික වර්ධනය පසුගිය වසරෙන් වාර්තා වී ඇති අතර එය ගෝලීය ආර්ථිකයට බලපානු ඇතැයි බිය පළ වේ.

සඳුදා (ජනවාරි 21) එළිදැක්වූ නිල සංඛ්‍යා ලේඛන අනුව 2018 වසරේදී චීනයේ ආර්ථික වර්ධන ප්‍රතිශතය 6.6% කි.

දෙසැම්බර් මාසය තෙක් මාස තුනක කාලය තුළ ආර්ථික වර්ධනය 6.4% ක් ලෙස වාර්තා වී ඇති අතර ඊට පෙර කාර්තුවේ එම අගය 6.5% ක් ලෙස වාර්තා වී තිබේ.

මෙම දත්ත මීට පෙර පළ කර තිබූ පුරෝකථනවලට වඩා මඳක් ඉහළින් පවතින අතර ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයේ දුර්වල වර්ධනය පිළිබඳව මතු කළ කරුණු තහවුරු වී තිබේ.

චීනයේ ආර්ථික වර්ධනයේ මන්දගාමීබව ගෝලීය ආර්ථිකයට එල්ල විය හැකි පහරක් බවට මත පළ වී තිබේ. ඇමෙරිකාව සමග පවතින වෙළෙඳ යුද්ධය ද ඊට බලපා ඇත.

BBC

ගෝලීය ආර්ථික අර්බුදයෙන් පසු කර්තුවකදී සිදු වූ දුර්වලතම වර්ධනය සඳුදා නිකුත් වූ නිල සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.

බීජිං පාලනය විසින් නිකුත් කෙරෙන ඒක පුද්ගල ආදායම පිළිබඳ සංඛ්‍යා සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස නිරීක්ෂකයන් උපදෙස් දෙන අතර ඉහත කී දත්ත එරට ආර්ථික වර්ධනයේ ගමන් පථය පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වනු ඇතැයි සැලකේ.

විශ්ලේෂණය

ආසියානු කලාපයේ ව්‍යාපාරික පුවත් වාර්තාකාරිනී කරිෂ්මා වස්වානි පෙන්වා දෙන්නේ, චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී වීම යනු ලෝකයේ ම ආර්ථික වර්ධනය මන්දගාමී වීමක් බවය.

එය සමස්ත ලෝකයේ තුනෙන් එකක පමණ කොටසකගේ රැකියා, අපනයන ඇතුළු ආර්ථික ක්‍රියාවන්ට බලපානු ඇතැයි ඇය පවසයි.

අනතුරු ඇඟවීම්

Getty Images

චීනයේ ආර්ථික වර්ධනයේ මන්දගාමීත්වය පිළිබඳව ජාත්‍යන්තර සමාගම් කිහිපයක් පසුගිය මාස කිහිපයේදී අනතුරු අඟවා තිබිණ.

මේ මස මුලදී ඇපල් සමාගම අනතුරු ඇඟවූයේ, චීන ආර්ථිකයේ දුර්වලත්වය හේතුවෙන් සිය අලෙවිය පහත වැටෙනු ඇති බවටය.

ඇමෙරිකාව සමග පවතින වෙළෙඳ යුද්ධයේ බලපෑම ගැන මෝටර් රථ නිෂ්පාදන සමාගම් මෙන් ම වෙනත් සමාගම් ද අදහස් පළ කර තිබිණි.

අපනයන ඉලක්ක කර ගත් නිෂ්පාදන ආර්ථිකය වෙනුවට දේශීය පරිභෝජනය ඉලක්ක කර ගත් නිෂ්පාදන කෙරෙහි යොමු වීමට චීන රජය ක්‍රියාකරමින් සිටී.

චීනයේ ප්‍රතිපත්ති සම්පාදකයෝ ද මාස කිහිපයක සිට ආර්ථිකය නගා සිටුවීම සඳහා සහය වන පියවර සඳහා යොමු වී සිටිති.

ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනම් කිරීම, ඇතැම් බදු කපා හැරීම සහ බැංකු පවත්වා ගත යුතු මූල්‍ය රක්ෂිත අඩු කිරීම යන පියවර ඒ අතර වේ.

කෙසේ වෙතත්, කැපිටල් ඉකොනොමික්ස් චයිනා (Capital Economics China) ආයතනයේ ආර්ථික විද්‍යාඥ ජූලියන් එවන්ස් පැවසුවේ, "චීන ආර්ථිකය 2018 වසරේ අවසානයේ දුර්වලව පැවතියත් බොහෝ දෙනෙකු බිය පළ කළාට වඩා හොඳ මට්ටමක රැඳී තිබුණු" බවය.

 

(BBC)

Advertiesment