Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


ජවිපෙ අවසන් ගමන් යැවූ හැටි


2024-05-06 14318

 

දැන් ජවිපෙ දේශපාලන මණ්‌ඩලයේ මහත්වරු කැදවන මාලිමාවේ ආසන සංවිධානවලදී කරන්නේ හරි අපූරු කතාවක්.ජාතික ජන බලවේගය කියන්නේ විවිධ පාක්ෂිකයින් එකට එකතුවුන සංවිධානයක්.මේකේ යුඑන්පී,ශ්‍රී ලංකා,පොහොට්ටු ඇතුළු විවිධ තැන්වල හිටපු අය ඉන්නවා....ඒ කතාව එයාලා අවධාරණය කරන්නේ ඒ සංවිධානවල ඉන්න ජවිපෙ සෙට් එකට.ජවිපෙ කියන්නේ මාලිමාවේ එක කොටසක් විතරයි කියලා දැන් පැහැදිලිවම කියනවා.

හැබැයි ජවිපෙ පහල සෙට් එක තවමත් හිතාගෙන ඉන්නේ මාලිමාව කියන්නේ ජවිපෙන් කොන්ට්‍රෝල් වෙන පක්ෂයක් කියලා.ජවිපෙ සමාජිකයාගේ ඒ සිතිවිල්ල කඩන්න ජවිපෙ නායකයන් මේ දවස්වල බැහැලම වැඩ.තවමත් මාලිමාවේ බලවේග අතර දේශපාලන ආධ්‍පත්‍යය දරන්නේ ජවිපෙ සාමාජිකයයි.දැන් මාලිමාවේ ලේකම් විදිහට ඉන්නේ මහාචාර්ය නිහාල් අබේසිංහ.නිහාල් අබේසිංහ ඉතිහාසයේ ජවිපෙ එක්ක සම්බන්ධයක් තිබුණ කෙනෙක්.හැබැයි 94:න් පස්සේ සෝමවංශ කොතනකදීවත් නිහාල් අබේසිංහව පක්ෂයට හරි පක්ෂ බහුජන ක්‍රියාවලියට හරි සම්බන්ධ කරගත්තේ නෑ.

නිහාල් අබේසිංහගේ මිත්‍රයා සම්බන්ධ කරගත්තෙත් නෑ. නිහාල්ගේ මිත්‍රයා ඉතිහාසයේ එක්තරා තැනකදී කරපු පාවාදීමක් නිසා සෝමවංශ එයාව සම්බන්ධ කරගත්තේ නෑ.ඒ පාවාදීම සම්බන්ධ සාක්ෂි තවම තියනවා.හැබැයි එයා දැන් පෙනී ඉන්නේ ඉතිහාසයේ හිටපු ජවිපෙ වීරයෙක් විදිහට. නිහාල්ව සම්බන්ධ කර නොගන්න සෝමවංශ තීරණය කරන්නේ නිහාල් ඉන්දියාව එක්ක කරපු ගනුදෙනුව ගැන සෝමවංශට පැහැදීමක් නොතිබුණ හින්දයි. සෝමවංශ එයාලව ආශ්‍රය කළේ අතේ දුරින්.2004 න් පස්සේ සෝමවංශගේ නායකත්වයෙන් යුතු ජවිපෙ දේශපාලන මණ්‌ඩලය ජවිපෙ කේඩරීය තත්වයෙන් බහුජන ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය පදනම දැම්මා.

ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා.2004 දී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 41 ක්. පලාත් සභා මන්ත්‍රීධූර 81 ක්,පලාත් පාලන මන්ත්‍රීධූර සිය ගණනක් ජවිපෙට හිමිවුනා.එදා මෙදාතුර ජවිපෙට ආව උපරිම සහ හොඳම අවස්ථාව ඒක.එදා ජවිපෙ කියන්නේ මහජන නියෝජිතයින් 500 ක් විතර හිටපු දේශපාලන පක්ෂයක්.ජවිපෙ මේ වර්ධනය වීම ගැන විදෙස් ඔත්තු සේවා දිගටම ඇහැගහගෙන හිටියා.ඒක සෝමවංශ ඉතා හොදින් දැනගෙන හිටියා. රටේ රාළලාට සෝමවංශ කියපු විදියට ඒ ඔත්තු සේවා අයිති රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් ජවිපෙ වර්ධනය ගැන අපේ රටේ හිටපු නායක නායිකාවන් එක්ක පවා කතා කරලා තිබුණා.

ජවිපෙ වර්ධන පාලනය කරන්න ජවිපෙ හිටපු ආණ්ඩු ඇතුලෙත් විවිධ පියවර ගත්තා.චන්ද්‍රිකා එල්ටීටීඊයට සුනාම් සහන මණ්ඩලය දුන්නොත් ජවිපෙ ආණ්ඩුවෙන් අයින් වෙනවා කියද්දී චන්ද්‍රිකා කිව්වේ ජවිපෙ ගියත් සුනාමි සහන මණ්‌ඩලය දෙනවා කියලා.ඒක නිසා ජවිපෙට එදා චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ඉවත්වීම හැර වෙන උත්තරයක් තිබුණේ නෑ. කොහොම උනත් ජවිපෙ මහින්දව ජනාධිපති විදිහට පත් කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් එක්ක  ඉස්සරහට යන්න හදන කොට ඒකට විරුද්ධ කුමන්ත්‍රණය දියත් වෙන්නේ ජවිපෙ ඇතුලෙන්මයි.

එදා ජවිපෙ දේශපාලන මණ්‌ඩලය ගත්ත තීන්දුව මධ්‍යම කාරක සභාව කැන්වසින් කරලා පරද්දන්න ටිල්වින්,අනුර,විජිත,ප්‍රේම කුමාර ඇතුළු පිරිස කටයුතු කළා.එදා ජවිපෙට බහුජන ව්‍යාපාරයක් විදිහට ඉස්සරහට යන්න තිබුණ අවස්ථාව මෙයාලා අහුරලා දැම්මා. ඒ අවස්ථාව නැති කරන්න බාහිර වගේම අභයන්තර පාර්ශවත් මුල්වෙලා තියනවා. ජවිපෙට බහුජන ව්‍යාපාරයක් විදිහට ගොඩනැගෙන්න ඕනි වාසිදායක තත්වය මේ හැම වෙලාවෙම නිර්මාණය වෙලා තිබුණා.

උදාහරණයක් ගත්තොත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුලේ ශ්‍රිලනිප ඡන්දදායකයා හැම දිස්ත්‍රික්කින්ම වැඩිම මනාපයෙන් ජවිපෙ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට සහ පලාත් සභාවලට යැව්වා.මේ සියල්ල වෙද්දී ජවිපෙ අභයන්තරයේ ටිල්වින්ගේ, අනුරගේ,විජිතගේ,ප්‍රේම කුමාරගේ මතයට විරුද්ධ මත දරන ජවිපෙ නායකයන් විනාශ කිරීමේ අභයන්තර කුමන්ත්‍රණයත් දියත් වෙමින් තිබුණා.ඒ කියන්නේ ජවිපෙ බහූජන ව්‍යාපාරයක් කරන්න මහන්සි වුන අයට ගේම දෙන්න පටන් ගත්තා.

එතකොට ටිල්වින් ඇතුළු කණ්ඩායම හිටියේ ජවිපෙ කේඩරීය පක්ෂයක් විදිහට තියාගෙන ඉස්සරහට යන්න.මේ කුමන්ත්‍රණයේ පළවෙනි ගොඳුර බවට පත්වෙන්නේ නන්දන ගුණතිලක. නන්දන කියන්නේ 88/89 මර්ධනය කරපු පක්ෂ ගොඩගන්න ඉස්සෙල්ලාම අත ගහපු තුන්දෙනාගෙන් එක්කෙනෙක්.අසීමිත කැපකිරීම් කරපු නායකයෙක්.අන්තිමට නන්දන ජවිපෙන් ඉල්ලා අස්වෙලා කාලයක් නිහඩ වුනා. ඇත්තටම නිහඩ වෙන්නේ ජවිපෙ නන්දන පස්සෙන් එලවපු නිසයි.ඊට පස්සේ ටිල්වින්,අනුර කල්ලියේ ගොදුර බවට පත්වෙන්න පක්ෂ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ.

විමල් සෝමවංශ එක්ක බිඳවන්නේ අනුර,ටිල්වින් කල්ලිය.විමල් පක්ෂයෙන් එලියට වැටුනට පස්සේ ජවිපෙ නාදුනන තුවක්කුකාරයා විමල් පස්සෙන් පැන්නුවා.විමල්ට පිට කොන්දක් තියනවා නං දැන් ඒ කතාව රටට කියන්න ඕනි.විමල් ඇතුළු පිරිස එළියට බැස්සට පස්සේ ජවිපෙ ඇතුලේ ආධිපත්‍යය වෙනුවෙන් සටන් කරපු ඒ කණ්ඩායම අතර බෙදීමක් ඇති වෙනවා.ප්‍රේම කුමාරලා වෙන් වෙලා යනවා.ලාල් කාන්ත ටිල්වින් - අනුර කල්ලියට යටත් වෙනවා.මේ කල්ලියේ ඊළඟ ගොදුර බවට පත්වෙන්නේ සෝමවංශ අමරසිංහ.

අන්තිමට සෝමවංශත් ජවිපෙන් අයින් වෙනවා. ජවිපෙ බහුජන ව්‍යාපාරයක් විදිහට ගොඩනගන්න වෙහෙසුණු ඒ වෙනුවෙන් එක මතයක හිටිය කිසිම නායකයෙක් අද ජවිපෙ ඇතුලේ නෑ.ඇත්තටම මේක කුමන්ත්‍රණයක් නෙවෙයිද?මේ කරලා තියෙන්නේ විදේශ ඔත්තු සේවාවකට ඕනි විදිහට ජවිපෙ දුර්වල කරලා හීලෑ කරගැනීම නෙවෙයිද?දැන් විදෙස් බලවේග මැදිහත් වෙලා ජවිපෙ අභයන්තරිකව දිය කරලා ඉවරයි.

දැන් ජවිපෙ ඉන්නේ ජවිපෙ අධ්‍යාත්මය රහිත,ඒ සංස්කෘතිය දන්නේ නැති,ඒ විනය නැති,ඒ දැනුම නැති බිස්නස් කල්ලියක්.එහෙම කරලා ජවිපෙ මුළුමනින්ම හීලෑ උනාට පස්සේ දැන් ඉන්දියාවේ හිටිය නිහාල් අබේසිංහලා ඇවිල්ලා මාලිමාව නමින් බහුජන ව්‍යාපාරයක් හදලා.අද ඒක ඇතුලට රිංගගෙන ඉන්නේ එදා ජවිපෙට බහුජන ව්‍යාපාරයක් බවට පත්වෙන්න නොදී විප්ලවීය ජීවගුණය ගැන මහ ඉහලින් කතා කරපු ඊනියා බැටළු හම පෙරෝගත්ත වෘක්කයින්.

මිට අවුරුදු 20 කට උඩදී ජවිපෙට දැවැන්ත බහුජන ව්‍යාපාරයක් වෙන්න තිබුණ අවස්ථාව අහුරලා දැන් අනුරලා,ටිල්වින්ලා රතු රෙදි උනා දාලා,විජේවීරවත් කුණු බක්කියට වීසිකරලා මාලිමාව නැමති ඉන්දු - ඇමරිකා දේශපාලන ලයින් එකට සමපාත කෙමනක් අටවලා.දැන් ජවිපෙ නායකයන් කියන්නේ ජවිපෙ කියන්නේ මාලිමාවේ කොටසක් විතරයි කියලා.ඉතින් ඉතිරි ටික සිද්ධ වෙන්න යන්නේ තව පෝය කීපයක් විතරයි.මාලිමාව යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන ජවිපෙට මාලිමා ලේකම් නිහාල් අබේසිංහගේ අණසකට යටත් වෙන්න වෙනවා.

ඔයාලා කල්පනා කරන්නකෝ නිහාල් අබේසිංහ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා.ඇත්තටම මහා දැවැන්ත ආධ්‍යාත්මයක් සහිත පක්ෂයකට කරපු විනාශයේ තරම තේරෙන්න තව පොඩි කාලයක් යයි.එදාට රටේ රාළලා හිටියත් නැතත් මේ ඇත්ත ලියලා තියන්න ඕනි.

හරි එහෙනම් ගිහින් එන්නම්,

ජයවේවා..!

මීට,

රටේ රාළ.

Advertiesment