දේපල බදු දීමට අදාල නීතියේදී එම දේපලේ හිමිකරු එනම් දේපල බදු දෙන තැනැත්තා බදු දීමනාකරු ලෙසත් දේපල බදු ගන්නා තැනැත්තා බදු ගැණුම්කරු ලෙසත් හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ඉඩම්, නිවාස, කඩකාමර වැනි දේ දේපල හිමිකරුවකු විසින් කිසියම් බදු මුදලකට බදු ගැණුම්කරුවකු වෙත යම් නිෂ්චිත කාලයක් සඳහා බද්දට ලබා දිය හැකි අතර දේපල බද්දට ලබාදීම සම්බන්ධයෙන් බදු ඔප්පු හා බදු ගිවිසුම් නොතාරිස්වරු විසින් සකසණු ලබයි. යම් දේපලක් බදු ගැණුම්කරුවකු විසින් බද්දට ලබා ගැනීමෙන් පසු එකී දේපල බදු ගැණුම්කරු විසින් භුක්ති විඳි. ඉහතකී පරිදි දේපල භුක්ති විඳින බදු ගැණුම්කරුවකු එකී බදු දේපලෙන් ඉවත් කිරීම සිදු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පවතින නෛතික ප්‍රතිපාදන 2023 අංක 1 දරණ බද්දට දී ඇති පරීශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත තුළ විස්තර වේ.
මෙම පනතේ 2(1) උපවගන්තිය ප්‍රකාරව බදු දීමනාකරුවකුට අදාල බදු දේපල පිහිටා ඇති ස්ථානයට අදාල අධිකරණයේ හෝ, බදු ගැණුම්කරු පදිංචිව සිටින ස්ථානයට අදාල අධිකරණයේ හෝ නඩුවට අදාල නඩු නිමිත්ත උද්ගතවූ ස්ථානයට අදාල අධිකරණයේ හෝ ප්‍රශ්නගත බදු ගිවිසුම අත්සන් කරන ලද ස්ථානයට අදාල අධිකරණයේ නඩුවක් පැවරිය හැකි බව දක්වා ඇත.
බදු ඔප්පුවේ හෝ බදු ගිවිසුමේ දක්වා ඇති නිෂ්චිත බදු කාලසීමාව අවසන් වීමෙන් පසු බදු ගැණුම්කරු විසින් බදු දීමනාකරු වෙත දේපලේ භුක්තිය භාරදී එකී දේපලෙන් ඉවත්වීම සිදුවේ. නමුත් යම් බදු ගැණුම්කරුවකුට අදාල නිෂ්චිත කාල සීමාව අවසන් වීමෙන් පසුවද අදාල දේපල බද්දට ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් එකී ඉදිරි කාලය සඳහා නැවත බදු ඔප්පුවක් හෝ බදු ගිවිසුමක් අත්සන් කරනු ලබයි. එසේ නැවත නැවත බදු ඔප්පු හෝ බදු ගිවිසුම් පිළියෙල කරමින් බදු ගැණුම්කරුවකුට දිගින් දිගටම දේපල භුක්ති විඳීමට හැකියාව පවතී.
නමුත් බදු කාලය අවසන් වීමට පෙර යම් බදු ගැණුම්කරුවකු බදු ඔප්පුවේ හෝ බදු ගිවිසුමේ සඳහන් කොන්දේසි උල්ලංඝනය කරන්නේ නම් බදු දීමනාකරුට බදු ගිවිසුම අවසන් කිරීමේ නිවේදනයක් බදු ගැණුම්කරු වෙත නිකුත් කර බදු ගැණුම්කරු දේපල භුක්ති විඳීම අවසන් කිරීමට හැකි අතර එබඳු අවස්ථාවකදී අදාල බදු ඔප්පුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත් ඉරු වල අවලංගු කිරීමක් සිදු කරනු ලබයි.
නමුත් දේපල බද්දට ලබාදී ඇති නිෂ්චිත කාලය අවසන් වීමෙන් පසු බදු ගැණුම්කරු බදු දේපලින් ඉවත් නොවී දිගින් දිගටම බදු දේපලේ රැඳි සිටින අවස්ථාවක එකී බදු ගැණුම්කරු බදු දේපලෙන් ඉවත් කිරීම සඳහා හෝ බදු කාලසීමාව තුළදී වුවද යම් බදු ගැණුම්කරුවකු බදු ගිවිසුමේ හෝ බදු ඔප්පුවේ සඳහන් කොන්දේසි කඩ කරන අවස්ථාවකදී ඉහතකී ආකාරයට බදු දීමනාකරු විසින් බදු ගිවිසුම අවසන් කිරීමේ නිවේදනයක් බදු ගැණුම්කරු වෙත නිකුත් කිරීමෙන් පසුවද බදු ගැණුම්කරු දිගින් දිගටම බදු දේපලේ රැඳී සිටින්නේ නම් බදු දේපලේ සන්තකය බදු දීමනාකරු වෙත නැවත ලබා ගැනීමට මෙම පනත යටතේ නඩු පැවරිය හැකි බව පනතේ 3 වන වගන්තියේ දක්වා ඇත. ඒ අනුව මේ පනත යටතේ පවරන නඩුවක පැමිණිලිකරු බදු දීමනාකරු වන අතර විත්තිකරු බදු ගැණුම්කරු වේ.
මෙම පනත යටතේ නඩුවක් පැවරීමේදී පැමිණිල්ල සමඟ බදු දේපලේ සන්තකය පැමිණිලිකරු වෙත හිමිවිය යුතු බවට දිවුරුම් ප්‍රකාශයක් (4(1)(අ) වගන්තිය) හා නයිසයි තීන්දු ප්‍රකාශයේ කෙටුම්පත (4(1)(ආ) වගන්තිය) විශේෂයෙන් ඇතුළත් විය යුතු අතර ඊට අමතරව බදු ඔප්පුව හෝ බදු ගිවිසුමේ පිටපත්ද නඩුවට අදාල අනෙකුත් ලේඛණද ගොනු කළ යුතු වේ. අදාල නයිසයි තීන්දු ප්‍රකාශයේ ආකෘතිය පනතේ පළමු වන උපලේඛණයේ දක්වා ඇත. මෙම පනත යටතේ නඩුවක් පැවරු දින සිට දින 7 ක් ඇතුළත අදාල නඩුව කරුණු තහවුරු කිරීම සඳහා ගරු අධිකරණයේ කැඳවනු ලබයි. පැමිණිල්ල මඟින් තහවුරු කර සිටින කරුණු සම්බන්ධයෙන් ගරු අධිකරණය සෑහීමට පත් වන්නේ නම් නයිසයි තීන්දු ප්‍රකාශය ඇතුලත් කිරීම සිදු වන අතර එකී නයිසයි තීන්දු ප්‍රකාශයේ පිටපත විත්තිකරු වෙත භාරදී එකී නයිසයි තීන්දු ප්‍රකාශයේ දිනයේ සිට ෂති හයක් ඇතුළත අධිකරණය නියම කර ඇති දිනයකදී විත්තිකරු විසින් පෙනී සිටීමට අවසර ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කළ යුතු බව පනතේ 11(1) වගන්තියේ දක්වා ඇත.
විත්තිකරු විසින් අධිකරණයේ පෙනී සිටිමට අවසර ලබා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් මඟින් සිදු කළ යුතු බවට පනතේ 12 වන වගන්තියේ දක්වා ඇත. මෙම පනත යටතේ විත්තිකරුවකුට අධිකරණයේ පෙනී සිටිමට අවසර ලබා දීමේදී ගරු අධිකරණය විසින් මුදල් ඇපයක් නියම කරන අතර (13 වන වගන්තිය) එකී මුදල් ඇපය එකී මුදල් ඇපය නියම කිරීමේ දින සිට සති 2 ක් ඇතුළත මුදලින් අධිකරණයේ තැන්පත් කළ යුතු බව පනතේ 14 වන වගන්තියේ දක්වා ඇත.
විත්තියට හේතු දැක්වීමට අවසර ලබා දීමෙන් පසු මෙම නඩු කටයුතු සිවිල් නඩු විධාන සංග්‍රහයේ 384, 385, 386, 387 වගන්ති ප්‍රකාරව හා අවශ්‍ය වෙනස් කිරීම් සහිතව ලඝු කාර්ය පටිපාටිය යටතේ බවත්වා ගෙන යා යුතු බවට පනතේ 17 වන වගන්තිය නියම කර ඇත.
මෙම පනතේ 17(3)(4) වන වගන්තිය ප්‍රකාරව මෙම නඩු වලදී විත්තියට අවසර ලබාදී අවුරුද්දක් ඇතුලත නයිසයි තීන්දු ප්‍රකාශය හෝ නයිසයි තීන්දු ප්‍රකාශයේ කොටසක් නියත කිරීම හෝ නිදහස් කිරීම ගරු අධිකරණය විසින් සිදු කරනු ලබයි.
එසේම නයිසයි තීන්දු ප්‍රකාශයේ පිටපත විත්තිකරු වෙත භාරදී විත්තිකරු පෙනී සිටීමට හා හේතු දැක්වීමට අවසර ඉල්ලීමට අපොහොසත් වන්නේ නම් ඒ හේතු මතම නයිසයි තීන්දු ප්‍රකාශය හෝ නයිසයි තීන්දු ප්‍රකාශයේ කොටසක් නියත කිරීම හෝ නිදහස් කිරීම ගරු අධිකරණය විසින් සිදු කරනු ලබයි.
මෙම පනත යටතේ නඩු පැවරීම මඟින් බදු ගැණුම්කරුවකු බදු දේපලෙන් ඉවත් කර බදු දේපලේ සන්තය බදු දීමනාකරු වෙත හිමිකරදීම, හිඟ බදු වාරික මුදල් අය කර දීම, පැමිණිලිකරු වෙත දේපලේ සන්තකය ආපසු ලබා දෙන තෙක් සේවා ගාස්තු ඇත්නම් එකී සේවා ගාස්තු අය කර දීම, බදු දේපලේ නිරවුල් සන්තකය පැමිණිලිකරුට හිමිවන තෙක් ප්‍රමාණ කළ අලාභ අය කර දීම, එකී හිඟ බදු වාරික මුදල්, සේවා ගාස්තු හා ප්‍රමාණ කළ අලාභ සඳහා නෛතික පොළිය හා නඩු ගාස්තුද, එසේම ගරු අධිකරණයට අභිමත වෙනත් සහ වැඩිමනත් සහනද ලබා ගත හැකි බවට පනතේ 5(2) වගන්තිය දක්වා ඇත.
Lanka Newsweek © 2026