Monday 25th of May 2026

English Tamil
Advertiesment


ඩයනා කපෝතියි...සජිත්ට සහ රංජිත්ට එරෙහි පෙත්සම විසි වෙයි


2023-11-25 14875

 

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන්ට එම ධුර දැරීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති හෙයින් එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ප්‍රතික්ෂේප කළේය.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සමගි ජනබලවේගයේ තනතුරුවල කටයුතු කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ගොනු කළ පෙත්සමකට අදාළ තීන්දුව ලබා දෙමින් දිසා විනිසුරුවරයා මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

ඩයනා ගමගේ මහත්මිය ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් නම් කොට තිබිණී.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන බවත්, ඒ සම්බන්ධයෙන් ඔවුන් පැවරූ නඩු අධිකරණවල තවමත් විභාග වෙමින් පවතින බවත් සඳහන් කරන ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයින්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දැරිය නොහැකි බවද පෙන්වා දුන්නාය.

වගඋත්තරකාර සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන හෙයින් ඔවුන්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය සේම තනතුරු දැරීමට හැකියාවක් නොමැති බවට තීන්දු කොට ඔවුන් එම ධුරවල කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියාය.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී සිය තීන්දු ප්‍රකාශයට පත් කළ දිසා විනිසුරුවරයා පෙත්සම්කාරිය ඇතැම් කරුණු වසන් කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී ඇතැයි පෙන්වා දුන්නේය.

වගඋත්තරකරුවන් අදාළ ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ දිසා විනිසරුවරයා නඩුවට අදාළ උත්තර 2024 වර්ෂයේ පෙබරවාරි 12 වැනිදා ගොනු කිරීමට පාර්ශවකරුවන්ට නියම කළේය.

Advertiesment