Thursday 30th of April 2026

English Tamil
Advertiesment


2024 මාර්තුවේ දී රනිල් ජනපතිවරණයට යන බව විමල් කියයි 


2023-07-03 14879

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 2024 මාර්තු මාසයේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සූදානමක සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එම ජනාධිපතිවරණය අවසන් වන තුරු ප‍්‍රතිව්‍යුහගතකරණය කළ විදේශ ණය වාරික නොගෙවනු ඇති බවත් එතෙක් රටේ දැනට තිබෙන විදේශ සංචිතයෙන් පරිභෝජන අවශ්‍යතා සපුරා ගනු ඇති බවත් විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. 

"රනිල් වික්‍රමසිංහ මහත්තයා "අපායේ ඉන්ටවල්" වගේ පොඩි පොඩි සහන දෙන ආකාරයක් ද පෙනෙනවා. විදුලි බිල සියයට 60-70කින් වැඩි කරලා දැන් සියයට 14කින් පමණ අඩු කිරීමට සැරසෙනවා. ඒ සහනවලට කවුරුත් රැවටිය යුතු නැහැ.

මට ආරංචි විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා 2024 වසරේ මාර්තුවේදී පමණ ජනාධිපතිවරණයකට යන්න හදනවා. එතෙක් ඔහු ප්‍රතිව්‍යුහගතකරණය කළ විදේශ ණය වාරිකය ගෙවන්න යන්නෙත් නැහැ. ඒ නිසා බොහෝ විට රටේ තිබෙන ඩොලර් ටිකෙන් පරිභෝජන අවශ්‍යතා සපුරා ගෙන ඉස්සරහට යන්න පුළුවන් වේවි.

මෙවැනි උපක්‍රමයක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණය තෙක් අනුගමනය කරන නිසා අපි කවුරු සිතිය යුතු නැහැ මේ වළෙන් අපි ගොඩ ඒවි කියා. අපි කවුරුත් රනිල් වික්‍රමසිංහගේ මැජික්වලට නොරැවටී ඔහුගේ ආර්ථික මොඩලයේ වැරැද්ද දෙසයි බැලිය යුතුයි" යනුවෙන් ද විමල් වීරවංශ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

Advertiesment