Monday 7th of October 2024

English Tamil
Advertiesment


ගෝඨාගේ රසායනික පොහොර තහනමෙන් කෝටි 24,000ක පාඩුවක්


2023-03-04 14334

 

ගෝඨා රටට-කෘෂිකර්මයට කළ විනාශය මෙන්න..!

 

 

රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන්  වී සහ තේ නිෂ්පාදනය 2022 වසරේදී පහළ යෑම  නිසා රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට (24500) වැඩි පාඩුවක් සිදුවී ඇති බවට කරුණු හෙළිදරව් වී තිබේ.

මේ කරුණු අනාවරණය වී ඇත්තේ මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රධාන කණ්ඩායමක් සිදු කළ විශේෂ අධ්‍යයනයකදී වන අතර සෑම ගොවි මහතකුටම  මේ හේතුවෙන් 2022 වර්ෂයේදී සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇත. 

2022 වසරේ මහ කන්නයේ  වී නිෂ්පාදනය පෙර වසරේ මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂ තිස් දහස් එකසිය හැට හතරකින්ද, (36%) යල කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හයලක්ෂ විසි හය දහස්  පන් සිය  විසි හතකින්ද (30%) පහළ ගොස් ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව එම කන්න දෙකේ පහළ ගොස් ඇති වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන්  දහ හත් ලක්ෂ  පනස් හය දහස් හය සිය අනූ එකක් වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.  

මේ අතර රසායනික පොහොර තහනම හේතුවෙන් 2022 වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 47000 කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි එම අධ්‍යයනයේදී පෙනී ගිය බව පැවසූ මහාචාර්යවරයා එම තත්ත්වය ඊට පෙර වසරට සාපේක්ෂව 16% ක පමණ පහළ යෑමක් වන අතර තේ නිෂ්පාදනය එලෙස පහළ යෑමෙන් සිදු වූ මූල්‍යමය පාඩුව රුපියල් කෝටි  හය දහස් අසූ හතරක් ලෙස  ගණනය කර ඇතැයි ද කියා සිටියි.

මේ අතර 2022 වසරේදී රබර් අපනයනය 1.8% කින්ද, පොල් අපනයනය 5.9% කින්ද කුළු බඩු අපනයනය 18.9% කින්ද, එලවලු අපනයනය 6.6% කින්ද පහළ ගොස් ඇති බව ද පැවසූ වසන්ත අතුකෝරළ මහතා විශාල විදේශ විනිමයක් මේ හේතුවෙන් රටට අහිමි වූ  බවද සඳහන් කළේය.

මේ අතර පැවැති රජය කාබනික පොහොර ගෙන්වීම සඳහා 2022 වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් මස දක්වා රුපියල් කෝටි අට දහස් හාරසිය අසූවක්  පමණ වැය කර ඇතැයි එම අධ්‍යයනයේදී  වැඩි දුරටත් තොරතුරු අනාවරණයවී ඇත.

Advertiesment