දේශගුණික විපර්යාස සේම මී මැස්සන් සහ බඹරුන් වැනි පරාගනයට දායක වන සතුන්ගේ ගහණය අඩුවීම හේතුවෙන් තෙත් කලාපයේ වගාවන්හි අස්වනු සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ආචාර්යවරුන් පිරිසක් සිදු කළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත.
දේශගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මාන්තයට ඇති වී ඇති බලපෑම සම්බන්ධයෙන් තෙත් කලාපයේ ගම්මාන 600ක පමණ ගොවි ජනතාව හමුවී වසර එක හමාරක පමණ කාලයක් පුරාවට සිදු කළ පරීක්ෂණයකදී මේ කරුණු අනාවරණය වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රවීන්ද්‍ර විතානච්චි මහතා පැවසීය.
ගෙවුණු වසර 10ක 15ක පමණ කාලයක සිට මෙම අස්වනු අඩුවීම සිදුව ඇතැයි ද එම පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙන අතර වසර 30ත් 50ත් අතර කාලයක් පුරා ගොවිතැනෙහි නිරතවූවන් සමඟ තම කණ්ඩායම සාකච්ඡා කළ බවත්, වගා බිම්වල පමණක් නොව වනාන්තරවල ඇති පළතුරු ආදී පල දරන ශාඛවල පල දැරීම ද මේ වන විට අඩුවී ඇති බව එහිදී හෙළිවිණි යැයි රවීන්ද්‍ර විතානච්චි මහතා සඳහන් කළේය.
එළවළු සහ පළතුරු අස්වනු අඩුවීමට මෙම දේශගුණික විපර්යාස දැඩි බලපෑමක් එල්ල කරන අතර, නුවරඑළියේ මේ වන විට වසර පුරා වැසි ලැබීමෙන් අර්තාපල් වගාවටත්, වලපනේ ප්‍රදේශයට වැසි සහ සුළං වැඩිවීම නිසා පෙයාර්ස් වගාවටත් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි හෙතෙම කීවේය.
පහතරට තෙත් කලාපයේ සිංහරාජ වනාන්තරයට මායිම්ව ජීවත් වන ජනතාව එම වනාන්තරයට ගොස් එහි වැවෙන එනසාල් සහ කරඳමුංගු ආදිය රැගෙනවිත් විකුණා ජීවත් වන බවත්, වසර 50ක පමණ කාලයක් පුරා එසේ ජීවත් වන පිරිස් පවසන ආකාරයට එම අස්වනු සේම වනාන්තරයේ ඇති පලු, ඇටඹ, හිඹුටු සහ කීන ආදී පළතුරු ගස්වල ඵලදාව ද ගතවූ කාලයේ දී සැලකිය යුතු මට්ටමින් අඩුවී ඇති බවත් ආචාර්යවරයා සඳහන් කළේය.
මේ වන විට අඹ ගස්වල ද ඵලදාව අඩු වී ඇති අතර, මෙම පළතුරු ගස්වල මල් හට ගන්නා පෙබරවාරි-මාර්තු කාලයේ දී සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් පැවතියත් මේ වන විට එම තත්ත්වය වෙනස් වී වැසි ඇතිවීම හේතුවෙන් මල්වල පරාග සේදීමත්, පරාගනය සිදු කරන මී මැස්සන් සහ කුඩා කුරුල්ලන් වැනි සතුන්ගේ ගහණය අඩුවීමත් ඊට හේතු වී ඇතැයි ද ඔහු කීවේය.
Lanka Newsweek © 2024